Sunday, February 7, 2016

අපේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ ආගම දහම නෙමෙයි. රටේ දේශපාලන ආර්ථිකය





මම මෙය ලිවීමට කිහිපවිටක්ම උත්සහ කළෙමි. එහෙත් හිතේ ඇති වන දුකත්... වෛරයත් නිසා නිශ්චිත ලෙස වාක්‍ය පෙළ ගැස්සවීමට නොහැකිව ලිවීම අතහැර දමා සිටියෙමි. එහෙත් මෙය කෙසේ හෝ ලිවිය යුතු යැයි මම තීරණය කළෙමි.
දුප්පත්කම නිසා සඳුනි එල්ලිලා මැරැණා... අලුත් ඉස්කෝලෙට පහසුකම් ගාස්තු ගෙවන්න රැපියල් පන්සීයක් නෑ. සෙරප්පු දෙක හිල්වෙලා... දාගෙන යන්න සපත්තු දෙකක් නෑ... ඉස්කොලෙට අඳින ගවුම කහපාට වෙලා... දාගෙන යන්න ටයි එකක් නෑ... සඳුනි අම්මගෙන් ඉල්ලන්නේ පහසුකම් ගාස්තු ගෙවන්න රැපියල් පන්සීයක්. ඉස්කෝලෙ දාන්න සපතුත් දෙකක්... බෑග් එකක්... ටයි පටියක්... ෆයිනස් කිරි කපලා එක වේලක් කාල ජීවතය අමාරැවෙන් ගැට  ගහගෙන යන සඳුනිගේ අම්මා එක පාරටම කොහොමද මේවා අරන් දෙන්නෙ.... සඳුනි රැපියල් පන්සීයක්... සපත්තු දෙකක්... බෑග් එකක්... ටයි පටියක් හින්දා බෙල්ලේ වැල දාගෙන මැරෙනවා.... සඳුනිගේ මරණය පත්තර කාරයන්ට ඇහැට කඳුළු එන විදියේ ආටිකල් එකක් ලියන්න පුළුවන් හොඳ නිවුස් එකක්. ස්වර්ණවාහිනියේ ප්‍රවෘර්තිවලට සඳුනිගෙ බෙල්ලෙ වැලදා ගැනීම රඟපාලා පෙන්නුවද කියලා මම නම් දැක්නේ නෑ... සමාජ ‍ඛේදවාචකයක් විකුණන්න පුළුවන්වීමත් ඒ සමාජ ක්‍රමයේ ස්වභාවය කියාපාන දෙයක් තමයි. සමහර විට මාත් මේ කරන්නේ ඒ වගේ දෙයක්. සඳුනිගේ මරණය ගැන ලියලා හම්බවෙන සල්ලි වලින් ගෙදරට හාල් පොල් ගේනවා... ඒ හින්දා සඳුනි දුව මට සමාවෙන්න, මම අද ඔයාගේ මරණය ගැන ලියනවා. මට මේ විශ්ව චක්‍රයෙන් ගැලවෙන්න ඕනෙ. හැබැයි ගැලවෙන්න බෑ... හැමෝම හිර වෙන තැන මමත් හිර වෙනවා. හැමෝම විවේචනය කරන තැන මාත් විවේචනය වෙනවා. විවේචනයෙන් විවේචකයා නිදහස් නෑ... හාල්...පොල්... තුනපහ... බත් ගාස්තු... ඇඳුම්පැලඳු... සිමෙන්ති... කොට්ට... ටයිල්... වෙනුවෙන් අපි ලියනවා. ඇත්තටම මේක මහ විකාරයක්... ඒත් මම ඒ විකාරය ඇතුළේ ඉඳන් ලියනවා...සඳුනි දුව මට සමාවෙන්න.... ලිවීම නතර කළොත් මටත් වෙන්නේ බෙල්ලෙ වැල දාගෙන මැරෙන්න.
සඳුනි දුවගේ මරණය ගැන ඔබට මොනවද හිතෙන්නේ. ඔබ ආගම දහමට අනුව ජීවිතයේ සියලු දේම විග්‍රහකර ගන්න කෙනෙක් නම්, ඔබට මෙහෙම හිතෙයි. සඳුනි අරගෙන ආපු ආයුෂ ඉවරයි. ඉහත ආත්මවල කරපු අකුසල කර්මයක් තමයි ඔය ඵල දුන්නේ... අකල් මරණ වලට ගොදුරැ වෙන්නේ ඉහත ආත්මවල කරපු බලවත් අකුසල කර්මයක් හින්දා. දැන් ඉතිං මොනවා කරන්නද ජාති ජාතිත් මෙවන් අකල් මරණ වලට ගොදුරැ නොවී අමා මහ නිවන් සැප ලැබේවා ! කියනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ. ආගම දහම අනුව හිතන මිනිස්සුන්ට වෙන් කළ යුතු දෙයක් ගැන අදහසක් එන්නේ නෑ තමයි. වෙන ආගමක නම් සියලු දේ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කියලා දෙවියෝ ජීවිතේ ගොඩදාලා දෙනකම් යාඥා කරකර ඉන්නවා. ආගම දහම ඔළුවට අරගෙන සියලු දේ ආගම දහම අනුව බලන මිනිහෙකුට මීට වඩා දෙයක් හිතෙන්නෙත් නෑ... හිතන්නත් බෑ... අපේ ජීවිතවල සියලු දේ කර්මය අනුව... කුසල් අකුසල් අනුව, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්‘ධ වෙනවා නම් ඇයි අපි කතිරෙ ගහලා පාලකයෝ පත්කර ගන්නේ... අපේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ ආගම දහම නෙමෙයි. රටේ දේශපාලන ආර්ථිකය. අපි ජීවත් වෙන්න ඕන විදිහ, මැරෙන්න ඕන විදිහ තීරණය කරන්නේ දේශපාලනයයි, ආර්ථිකයයි විසින් නිර්මාණය කරන මේ සමාජ ක්‍රමයයි. සඳුනි මැරැනේ... සඳුනිව මැරැවේ මේ සමාජ ක්‍රමය.... මේ සමාජ ක්‍රමය හැදුවේ කවුද දෙවියන් වහන්සේද... නෑ... අපිම ඡන්දෙ දීලා... අපිම බලයට පත්කර ගත්ත දේශපාලන නායකයෝ... මේ අසාධාරණ අයුක්ති සහගත සමාජ ක්‍රමය හදන්න ලයිෂන් එක දීලා තියෙන්නේ... වෙන කවුරැවත් නෙමෙයි... මේ අපිමයි. මිනිස්සු හරි පුදුම ජාතියක් කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත බව දැකදැක විඳවිඳ එය තුළම පීඩාවට ලක්වෙවී එයම අනුමත කරකර ඡන්දය දෙන එක... මේක ඇත්තටම විකාරයක්... ඇයි මිනිස්සුන්ට හිතන්න බැරි මීට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ, අපි ඡන්දය පාවිච්චි කරන්න ඕනේ කියාල... මම දන්නවා දැන් ඔබගේ හිතට එන ප්‍රශ්නය... අපි එහෙනම් මොන පක්ෂයටද කතිරේ ගහන්න ඕනේ කියන එකනේ... කතිරය ගහන්න ඕනේ දේශපාලන පක්ෂය මොකද්ද කියන එකත් මේ මොහොතේ අවුලක් තමයි... කාටද පුළුවන් අපිව මේ නරාවළෙන් ගොඩගන්න....
දුප්පත්කම නිසා සඳුනි දුව මැරැණා... හොඳට මතක තියාගන්න. නොමැරී මැරි මැරී ජීවත් වෙන සඳුනිලා මේ මහපොළොව උඩ තව ජීවත් වෙනවා කියලා. මේ සමාජ ක්‍රමය ‍පවත්වාගෙන යන කිසිම දේශපාලන ව්‍යාපාරකට මිනිස්සුන්ගේ ජීවිත මේ නරකාදියෙන් ගොඩගන්න බෑ... මේ සිස්ටම් එක පිළිඅරගෙන ජීවත් වෙන දේශපාලන නායකයන්ට සාමාන්‍ය, මිනිස්සුන්ට මේ මොහොතේ කරන්න පුළුවන් මෙච්චරයි. ගෙවල් හදන ඇමතිට දැනට ජීවත්වෙලා ඉන්න සඳුනිගේ අම්මාටයි, තාත්තටයි ගෙයක් හදලා දෙන එක... එතකොට පර‍ලොවට වැඩක් කර ගන්න... ලබන ආත්මේ දිව්‍ය සැප ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිංවතුන්ලාට ඔය මොනව හරි කෑම බීම ටිකක් සඳුනිලාගේ ගෙදරට ගිහිල්ලා දෙන එක... දුප්පත් පවුලකට මොනවා හරි පිහිටක් ලබාගන්න නම් ආත්ම ගෞරවය ලැජ්ජාව පැත්තකට දාලා පත්තරේ ෆොටෝ එක්ක දුක ගැන කියලා ආටිකල් එකක් දාන්න ඕනේ.  නැත්නම් ටීවී එකේ දාන්න ඕනේ... ගෙවල් හදන ඇමතිට කියලා ගෙයක් හදාගන්න නම්, විභාගයක් හොඳට පාස් වෙන්න ඕනේ... නැත්නම් පදක්කමක් හරි සම්මානයක් හරි ගන්න ඕනේ....
දුප්පතුන්ට පිහිට වීමේ යන්ත්‍රයක් , පිං යන්ත්‍රයට අනුව අපිට කුසල් රුස් කිරීමට දුප්පතුන් සිටියි. සඳුනිලා වැනි දුප්පතුනට සපත්තු බෑග් ඇඳුම් දන් දීමෙන් ධනවතුන්ට පිං රුස්කර ගත හැකිය.  දේශපාලඥයන්ට ඡන්ද රුස්කර ගත හැකියි. මානව හිතවාදී විය හැකිය.  දානපති විය හැකිය. දුප්පත්  සඳුනිලාට නොපමාව කුසල් කිරීමෙන් ලබන ආත්මයේ සැපවත් ජීවිතයක් ලබාගත හැකිය. ජීවිත නරකාදියක් බවට පත් වූ දුප්පතුන්, දුප්පත් බවින් මිදීමට සමාජ ක්‍රමයේ වෙනසක් වෙනුවට පන්සල්, දේවාල ගානේ යමින්, දෙවියන් යදිමින්, බෝධි පූජා තබමින්, කුසල් රුස් කරයි.
මාගේ බිරිඳ ඇය රුකියාව කරන ස්ථානයට පැමිණ තරැණියන් ගැන මෙසේ කීවාය. ඔයා දන්නවාද එයා මාසෙකට ලක්ෂ පහක් වියදම් කරනවලු. එයා අහවල් හොටෙල් එකේ කොල්ලන් එක්ක බොන එක බීම වීදුරැවක ගාණ රැපියල් අටදාහලු. දෙකට දාසය දාහයිලු. රැපියල් අට දාහක බීම වීදුරැවකට වියදම් කරන මිනිසුන් සිටින රටක පහසුකම් ගාස්තු ගෙවීමට රැපියල් පන්සීයක් නොමැතිව සඳුනිලා බෙල්ලෙ වැලදමාගෙන මරණයට පත්වන රටක අපි ජීවත් වෙමු. මෙවැනි අසාධාරණ සමාජ ක්‍රමයක් කුමකටද කියා මම ඔබෙන් අසමි.
සඳුනි බෙල්ලේ වැල දමාගෙන එල්ලී සිටිනු දකින ඇගේ අක්කාගේ කෑගැසීමෙන් රුස්වන අසල්වාසීන් ඇය ඉන් මුදවාගෙන රෝහල වෙත ගෙනයාමට උත්සහ කරයි. එහෙත් වාහනයක් නැත. සඳුනිගේ පණ ගැහෙන ශරීරය තබාගෙන ඔවුන් බලා සිටින්නේ පැයකට වරක් පැමිණෙන බසය පැමිණෙන තෙක්ය. පණ ගැහෙන ශරීරය දෙස බලමින් බසය එනතුරැ බලා සිටින්නේ ආසියාවේ ආශ්චර්ය නිසාද කියා මම නොදනිමි. සඳුනිගේ පණ ගැහෙන ශරීරය තුරැලු කරගෙන බසය එනතුරැ බලා සිටින්නේ බදු සහන යටතේ ගෙන්වා ගත් කාර් රේස් පදින රටකය. බසය පැමිණුනද ඒ ලදරම් බසයද මගදී කැඩෙයි. අපි ජීවත් වෙන්නේ බිලියන ගණන් වියදම් කර හයිවේ හදන රටකය. පණ ගැහෙන සඳුනි රෝහලට ගෙන යන විට මිය යන්නේ හයිවේ හදන රටේය. ව්‍යායාම මංතීරැ හදන රටේය. හංස බෝට්ටු පදින, උද්‍යාන හදන රටේය. කැසිනෝ වලට බදු සහනය. සඳුනිලාට මරණයේ සහනය හැර වෙන සහනයක් නැත. දැන් ප්‍රවාහණ ඇමතිට සඳුනිලාගේ ගමට හොඳ බස් රථ දෙකතුනක් ලබා දිය හැකිය.

සඳුනි දුව සිනහ වෙමින් සිටින ඡායාරෑපය දෙස මම බලා සිටිමි. සඳුනිලාට වඩා හොඳ ජීවිතයක් මම ගත කළද, මම සඳුනිලාගේ පංතියේ මිනිසෙක් වෙමි. ඒ නිසා ඇගේ මරණය මට දැනෙයි. ඇයගේ මරණයෙන් මාව වේදනාවකට පත්වෙනවා හා සමානව මේ සමාජ ක්‍රමයට වෛර කරමි. මනුෂ්‍යයක් ලෙස ජීවත්විය හැකි සමාජ ක්‍රමයක් ගැන සිහින දකිමි.

No comments:

Post a Comment