Tuesday, February 9, 2016

මට අහිමි වූ සියලු මනුෂ්‍ය සම්බන්ධතා සුරැකිව තිබෙන්නේ අතීතයේය




තිබෙන්නා වූ සියලු කාලය සමග පරණ වනවිට අවුරුදු පමණක් අලුත් වෙයි. අලුත් වෙවී අවුරුදු පැමිණෙයි. අලුත් වී අවුරුදු පැමිණියත් අප පරණ වෙයි. මරණයට ළං වෙයි. ශරීරය දිරාපත් වෙයි. අප පමණක් පරණ වෙමින් අවුරුදු පමණක් අලුත් වීම මට නම් විශේෂයක් නොවෙයි. කුඩා කල අලුත් අවුරුද්දට මම බොහෝ සෙයින් ප්‍රිය වූවෙමි. ආච්චී තාච්චියේ කැවුම් බඳින විට වට්ටියෙන් කැවුම් හොරකම් කරගෙන කෑම ටෙලි නාට්‍යයක රූප රාමුවක් නොව මා ඇත්තටම කළ දෙයකි. අවුරුද්දට ලැබෙන කේක් ගෙඩි පූසෙක් මෙන් පහුරු ගා ගිල දමන මම කේක් ගෙඩිය තිබූ තැනම යළි තබන්නෙමි. ආච්චී පැමිණ කේක් ගෙඩිය පූසො කාලා කියා විසිකරන්න යන විට &පූසා කෑවට කමක් නෑ...* කියා මම කන විට වැඩේ මාට්ටු වෙයි. අලුත් අවුරුද්දට ලැබෙන කේක් ගෙඩි තුන හතරකටම මම වගකියන්නේය. මගේ බඩජහරිකම දන්නා අම්මා මට දඬුවම් කළත්, ආච්චි කිසි දවසක මට දඬුවම් නොකරන්නීය. නෑදෑ ගෙවල්වලට ගිය විට ලැබෙන කේක් කෑලි පවා කොළයක ඔතාගෙන ආච්චී මට ගෙනවිත් දෙන්නීය. අලුත් අවුරද්දට කෑම පිඟන් විස්සක් විසි පහක් නෑදෑ ගෙවල් අතර හුවමාරු වන්නේය. පිඟන්වලින් ලැබෙන කැවිලිවලටද මම වගකියන විට... &ඌ පෙරේතය නේ...* කියා ආච්චී කෑමට මට අවසර දෙන්නීය. ඒත් දිනක් පෙරේතකමට වැඩියෙන් ආහාර අනුභව කර හුස්ම ගැනීමට අපහසුවෙන් ඇඳ උඩ වැටී සිටින විට ප්‍රතිකාර කළේද ආච්චීය. ආච්චී මිය ගොස් මේ අවුරුද්දේ නොවැම්බර්වලට අවුරුදු විස්සකි.
රෝගී තත්ත්වයක් නිසා තෙල් කෑම මට සපුරා තහනම්ය. දැන් කැවුමක් කන්නේද සියලු දෙනාම නිදාගත් මහ රාත්‍රියේ හොර රහසේය.  තෙල් ආහාර හොරා කෑම ගරිල්ලා මෙහෙයුමක් වී තිබේ. බිරිඳ සියලුම තෙල් ආහාර නිවසේ තැන් තැන්වල හංගන්නීය. මීයෙකු මෙන් සඟවා තිබෙන තෙල් ආහාර මා සොයා ගන්නේ රාත්‍රී කාලයේය. රාත්‍රි‘යේ බඩු මුට්ටු, ටින් බෙලෙක්ක පෙරළී යන විට බිරිඳ වලස් නැන්දා මෙන් නැගිට මා දෙස බලා ගෝරණාඩු කරන්නීය. ආහාර සොයා යන මෙහෙයුම එතැනින් ඉවර වෙයි.  ඌ පෙරේතයානෙ....  කියා කන්න දෙන්නට ආච්චී අද නැත. දැන් ඉන්නේ අම්මාය. මහ ගෙදරට ගොස් මට අගුණ ආහාර ගිල දමන විට  ඔහොම කන්න හොඳ නෑ නේද* කියා අම්මා අසනවා පමණි. ඇය කෑමට විරුද්ධ නොවේ.  මම මෙච්චර පරිස්සම් කරනවා.... එයා ගෙදර ගිහිල්ලා ගිලල එනවා* කියා බිරිඳ කෑගසන්නීය. ඇතැම් දිනවල දුක සිතී බිරිඳ තෙල් ආහාරයක් ගෙන  අනේ මන්දා මේවා හොඳත් නෑ කෑවට* කියා මට දෙන්නීය. පුතා ඉපදීමට පෙර නම් බිරිඳ තෙල් නොමැතිව විවිධ ආහාර මට සාදා දුන්නාය. දැන් එවැනි චාන්ස් නැත. ගෙයින් එළියට පැමිණි පසු වඩේ තුන හතරකට, තෝසේ හතරකට වගකියන්නට මම දැන් පුරුදු වී සිටින්නෙමි.
මෙවර අලුත් අවුරුද්දටත් අපේ ගෙදර ගෑස් ළිපේ කැවුම් බැඳෙන්නේය. ආච්චී දර ළිපේ කැවුම් බඳිනවා තරම් ලකයක් නැත. එදා මිදුලේ දර ළිපේ කැවුම් බඳින විට අමුතු ගතියක් තිබුණේය. පුංචි අපි ළිප වටේ වාඩි වී කැවුමේ කොණ්ඩය ගන්නා හැටි බලා සිටියෙමු. කැවුම බැඳීම එකල පවුලේ සියලු දෙනාගේ ව්‍යාපෘතියයි. අද එසේ නොවේ. කවුරුත් නැතුව ගේ මුල්ලේ තනිව කැවුම් බැඳෙයි. අපි වෙන වෙන වැඩවලය. සමහරු ටී.වී. එක දිහා බලාගෙනය. සමහරු ෆේස් බුක් එකේය. තව අය ජංගම දුරකථනවල එල්ලීගෙනය. කැවුමක් බඳින්නා පමණක් තනි වී සිටියි.
අතීතයට මා ප්‍රියවන්නේ වර්තමානය අත්විඳින නිසාය. වර්තමානයද තව අවුරුදු විස්සකින් පමණ අනාගතයට ගොස් අතීතය වන කල මා එම අතීතයට ද කැමැති වනු ඇත. මට අහිමි වූ සියලු මනුෂ්‍ය සම්බන්ධතා සුරැකිව තිබෙන්නේ අතීතයේය. ඒ නිසා මම බොහෝ සෙයින් අතීතයට ප්‍රියවෙමි.

No comments:

Post a Comment