Monday, February 8, 2016

කියවීමෙන් මිනිසා සම්පූර්ණ නොවෙයි. මිනිසා සම්පූර්ණ වන්නේ සිතීමෙනි.





මම සිතීමට කැමති, සිතීමට පොළඹවන දේවල් තුනක් මට තිබේ. එකක් ආදරයයි, අනෙක දේශපාලයයි, අනෙක මරණයි. මේ තුනම නිශ්චිතව තේරුම් ගත නොහැකි නිසා කිසියම් ආකාරයක වේදනා සහගත තෘප්තියකින් සිතීමට හැකිවීම මා තුළ ඇති කරන්නේ සතුටකි. යමක් අවබෝධ වන්නේ කියවීමෙන් නොව සිතීමෙන් බව මම සිතීමෙන්ම අවබෝධ කර ගෙන සිටින්නෙමි. සිතීම කියවීමටත් වඩා දරුණු අභ්‍යාසයකි. ඒ නිසා මම දැන් පොතපත කියවීම, චිත්‍රපට බැලීම කිසියම් ප්‍රමාණයකට සීමාකර %සිතීම^ වෙනුවෙන් මනස යෙදවීමට තීරණය කළෙමි.
කියවීමෙන් මිනිසා සම්පූර්ණ නොවෙයි. මිනිසා සම්පූර්ණ වන්නේ සිතීමෙනි.  බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ අතිශය ගැඹුරු වූ සිතුවිලි ධාරාවක පරිසමාප්තියට පැමිණීමෙනි. එම සිතුවිලි භාෂාව හරහා වචන, වාක්‍ය බවට පත් වී බුද්ධාගම නිර්මාණය වී තිබේ. ත්‍රිපිටකය යනු එම ගැඹුරු වූ සිතුවිලි, වචන, වාක්‍ය බවට පත්වී දැනුම ලෙස සුරක්ෂිතවීමකි. මට සිතෙන හැටියට අභිධර්මය යනු අතිශයය ගැඹුරු වූ සිතුවිලි ජාලයක් භාෂාව හරහා ප්‍රකාශ කිරීමට යාමෙන් මතු වූ අවබෝධයට අපහසු දැනුමකි. මේ දැනුම යට ජීවිතය පිළිබඳ මහා අවබෝධයක් සැඟවී තිබේ. ගිහි ජීවිතයේ සියල්ල යටපත්කර දමන්නේ මේ මහා අවබෝධය කරා යා හැකි මාර්ගයයි. ගිහි ජීවිතය අපව අවබෝධයන් කරා ගෙන යන්නේය. ගිහි ජීවිතය විසින් ඉල්ලා සිටින්නේ අවබෝධය නොව දැනුමයි. මිලක් හිමි වන්නේ අවබෝධයට නොව දැනුමටයි. ඒ නිසා අපි දැනුමේ වහල්ලුන් වෙමු.
ආදරය, ප්‍රේමය දැනුවත් වූ කල්හි අපි ආදරය සහ ප්‍රේමය ගනුදෙනුවකට, හුවමාරුවකට යුතුකම්වලට, වගකීම්වලට සීමා කර දමා ජීවත් වෙමු. ආදරය, ප්‍රේමය දැනුමෙන් ඔබ්බට පැන අවබෝධයේ සීමාවට  ළං වනවිට සිදුවන්නේ කුමක්ද? ගනුදෙනු, යුතුකම්, වගකීම් මඟ හැරී යයි. ඒවා ප්‍රේමය නොවන අවබෝධය වෙයි. එය සැබවින්ම අතහැරයාමක් බවට පත්වෙයි.
සිදුහත් කුමාරයා යශෝදරාව හා රාහුල පුතු අතහැර ගිහිගෙයින් නික්ම ගියේ දැනුමේ ප්‍රේමයට පිටුපාය. දැනුමේ පරාසයට අනුව එය නොහොබිනා කැත වැඩකි. යශෝදරාවත් කසාද බැඳ දරුවෙකුත් සාදා මහ රෑ ගෙදරින් පැන යාම අපි පිළිගත් දැනුමට අනුව බරපතළ වැරැද්දකි. අද කාලයට අනුව නම් සිදුහත් කුමාරයා කර ඇත්තේ උසාවි යන වැඩකි. රාහුලට, යශෝදරාවට නඩත්තු ගෙවීමට සිදුවන තරමේ වැරැද්දකි. දික්කසාද නඩුවකි. සිදුහත් කුමාරයාට වගේ අපිට කැලේ පනින්නට නොහැකිය. ජීවිතය හැර දමා යා නොහැකිය. ඒ සඳහා පිළිවෙළක්, ක්‍රමවේදයක් තිබේ.
ගිහි ජීවිතයේ සිට ජීවිතය අතහැර දමන්නේ කෙසේද? විකාර සහගත සිතුවිලි මගේ මනස අවුල් කර දමයි. එහෙත් මම නැවත සිතමි. අතිශය වේදනාවටද පත්වෙමි. එහෙත් මම ජීවත් විය යුතුය. විකාර සහගත ලෝකයක විකාර කරමින් ජීවත් වීමට මට මා විසින්ම බලකරයි. අනේ මම කෙතරම් අසරණ ප්‍රාණියෙක්ද, මට මා විසින්ම කරන බොරුව මටම තේරීම තරම් වේදනාවක් තවත් නැත.

No comments:

Post a Comment