Monday, February 8, 2016

ලියන කෙනා ගැන නෙමෙයි, ලියන දේ ගැන හොයන්න

 



මම  මම  ලියන්නේ නම නැතුව. මගේ නම නැතුව  මම  ලිවීම ගැන මම ගිය සතියේ ලිව්වා. මම කවදාවත් හිතුවෙ නෑ නම නැතුව  මම  ලිවීම වෙන කාටහරි ප්‍රශ්නයක් වෙයි කියලා. හැබැයි මගේ නම නැතිවීම දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පසුගිය සිකුරාදා උදේ දහයට විතර නම වැටෙන්නේ නැති අංකයකින් කෝල් එකක් ආවා. මට කතා කළේ මම කිසිදා දැක නැති, මට හමුවී නැති, තරුණයා පත්තරය කියවන, පාඨකයා හොඳින් දන්න සමන් එදිරිමුණි.
සමන් කියනවා  මම  කියලා මම ලියන මේ ලිපිය සමන් ලියන්නේ කියලා ගොඩක් අය හිතනවලු.  සමන්ට ඒක ලොකු කරදරයක් වෙලා. සමන්ට විතරක් නෙමෙයි, සමන් කියන විදිහට තරුණයා පත්තරේට ලියන තවත් එක් කෙනෙක්ටත් ඒ කරදරේම තියෙනවලු. එයත් දැන් මට කතා කරයි කියලා සමන් කිව්වා. සමන්ගේ ෆේස් බුක් එකට, ජංගම දුරකථනයට මේ ගැන අහලා පණිවුඩ එවනවලු.
 මම  කියන මේ ලිපිය ලියන්නේ සමන් එදිරිමුණි හෝ තරුණයා පත්තරේට නම දාලා ලියන වෙන කිසිවෙකුත් නෙමෙයි. ඒ හින්දා  මම  කියවන පාඨකයන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ලිපියෙන් මතුකරන අදහස් ගැන සමන් එදිරිමුණිගෙන් ප්‍රශ්න කරන්න ගන්න එපා කියලා.  මම  යනුවෙන් ලියන මේ ලිපි පෙළ පාඨකයන් උනන්දුවෙන් කියනවා ඇති කියලවත් මම හිතුවෙ නෑ. ඒ හින්දා මේ ලිවීම නතර කරලා දාන්න ඕනේ කියලත් මම හිතුවා. ඒ ගැන මම තරුණයා පත්තරේ සංස්කාරකතුමාටත් පැවසුවා. හැබැයි ඔහු ඒකට කැමති වුණේ නෑ. මුල් කාලයේ  මම   ලිපි අවසානයේ ඊමේල් ලිපිය සඳහන් කළත් ඒකට ලොකු ප්‍රතිචාරයක් තිබුණෙත් නෑ. වැඩිම වුනොත් හතර පස් දෙනෙක් අදහස් දක්වලා තිබුණා, එච්චරයි. මම හිතුවෙම  මම  නම් බල්ලෙක්වත් කියවන්නේ නැතුව ඇති කියලා. හැබැයි දැන් මම හින්දා  මම   නොලියන සමන් එදිරිමුණිට ප්‍රශ්නයක් වෙලා. මොකද %මම^  ලිපිපෙළ පසුගිය කාලේ දේශපාලන මතයන් ඉදිරිපත් කිරීමට යොමුවෙච්ච නිසා %මම^   කියලා මම ලියන්නේ මට හිතෙන දේ, මම විශ්වාස කරන දේ, මට දැනෙන දේ, මම විඳින දේ. %මම^ හරහා ආදරය ගැන, දේශපාලනය ගැන, කලාව ගැන, ආගම ගැන මම ලියලා තියෙනවා. ඒවා මහ ලොකු ලිවීම් කියලා මම නම් හිතන්නේ නෑ. ඇත්තටම මේ මොහොතේ මම ලියන්නේ මට ජීවත්වීමට මුදල් අවශ්‍ය නිසා. මම ඒ ගැන මීට පෙරත් කියලා තියෙනවා. හැබැයි සල්ලිවලට ආත්මය පාවලා දෙන වැඩ කරන්න මට බෑ. මේ දවස්වල එක් එක් දේශපාන පක්ෂවලට කඩේ යන විදිහට නාට්‍ය ලියලා දෙන්න  කියලා ආරාධනා ආවා. මම ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කළා. මේ කාලෙ තමයි කීයක් හරි හොයා ගන්න පුළුවන්. ඒ හින්දා ඔය මොනවහරි ලියලා දීලා ගාණක් කපා ගනින් කියලා සමහර යාළුවෝ කිව්වට, මට හිතට එකඟව එහෙම කරන්න බෑ. බස් එකේ යන්න සල්ලි නැති වුණත් ආත්මය පාවා දෙන වැඩ කරන්න මට හිතෙන්නෙ නැහැ. ඒත් මම වේදිකාගත කරපු නාට්‍ය ඇතැම් කොටස් දේශපාලන වේදිකාවල රඟපානවා කියලා මම දන්නවා. ඒ වැඩේ කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ නාට්‍ය‘යේ රඟපාපු නළුවොම තමයි. මම ඒ අයට කිව්වා ඔයාලා වෙන ඕනෙ තැනක මගේ නාට්‍ය‘යේ දෙබස්, සිංදු කියලා සල්ලි හෙව්වට මට කමක් නෑ. හැබැයි මම එකඟ නැති දේශපාලන වේදිකාවල නම් කියන්න එපා කියලා. ඡන්දෙ ඉල්ලපු අපේ සමහර නළුවෝ මම ලියපු අදහස් තමන්ගේ අදහස් වගේ වේදිකාවල කිව්ව බවත් මම දන්නවා. මේ දවස්වල තව එක්කෙනෙක් ජනාධිපතිවරණයටත් ඉල්ලනවා.
තවදුරටත් මේ ගැන ලියන්න ගියොත් අමු අමුවේ මාව හෙළිදරව් වන නිසා ඒ ගැන මම ලියන්නේ නැහැ. මම %මම^ නම නැතුව ලියන්නේ දේශපාලඥයන්ට තියෙන බය හින්දා නෙමෙයි. මම මෛත්‍රීපාලටවත්, රාජපක්ෂටවත් කඩේ යන්නෙ නෑ. කිසියම් දුරකට හරි මම විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භාවිතය විතරයි. ඒ වුණත් මං ඔවුන් සමග කිසිම ආකාරයක සම්බන්ධයකුත් නෑ. ඒ හින්දා ඕනෙම දේශපාලන මතවාදයක්, ව්‍යාපාරයක් විවේචනය කිරීමේ නිදහස මට තියෙනවා.
මම මේ ලිවීම නම නැතුව ලියන්නේ පෞද්ගලික කාරණා, පෞද්ගලික දේවල් ඇතැම් ලිපි සඳහා හේතුවන නිසා. ඒවට සම්බන්ධ මනුෂ්‍යයන් සමාජ සම්බන්ධතා අතරේ ජීවත් වන නිසා මම කවුද කියලා නිශ්චිතව දැන ගත්තාම මම හරහා ඔවුන්ව හෙළිදරව් වීම වළක්වා ගන්නයි මම නම නොදා ලියන්නේ. මම මගේ අම්මා ගැන, මගේ බිරිඳ ගැන, මගේ යාළුවෝ ගැන ලියන කොට මගේ නම නැති නිසා මම වගේම ඔවුන්ට මේ ලිවීම් ඇතුළේ හැංගිලා ඉන්න පුළුවන්. මම අතීතයේ ආදරය කළ ස්ත්‍රී ශරීර අද විවාහවෙලා සාර්ථක පවුල් ජීවිත ගත කරනවා. එයාලා ගැන මගේ නම දාලා ලිව්වොත් එයාලගේ පවුල් ජීවිතවලට ඒවා ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මම නම නැතුව හැංගෙන්නේ ඒ හින්දා. හැබැයි ඒකෙන් මේ ලිපියට කිසිම සම්බන්ධයක් නැති සමන් එදිරිමුණිට මෙය කියවන ඔබ කරදර කරනවා නම් මට ඒ ගැන තියෙන්නේ කනගාටුවක්. මම ඔබෙන් ඉල්ලන්නේ එහෙම කරන්න එපා කියලා.
ලියන්නේ කවුද කියලා නෙමෙයි, ලියන්නේ මොනවද කියලා ඔබ හිතන්න.. ලියන කෙනා ගැන නෙමෙයි, ලියන දේ ගැන හොයන්න... ලියන කෙනා ගැන හෙව්වට ඔබට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ලියන දේ ගැන හෙව්වොත් ඔබගේ බුද්ධියට සංවේදීභාවයට මොනවා හරි දෙයක් ලැබෙයි.

2 comments:

  1. තරුණයා පුවත්පත aye denna

    ReplyDelete
  2. Youth එකට kisima thanak na dan.. e pepper walin hari aye denna

    ReplyDelete