Saturday, February 6, 2016

තනිකම, පාලුව සයිබර් අවකාශය විසින් අහෝසි කර දමා තිබේ

තනිකම, පාලුව සයිබර් අවකාශය විසින් අහෝසි කර දමා තිබේ

ස්ත්‍රියක් කෙරෙහි ආදරයක්... ආශාවක්... රාගයක් ඇති වන්නේ ඇගේ ශරීරය දැකීමෙනි. එම ආදරය, ආශාව, රාගය සංසිඳවා ගන්නේ එම ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීමෙනි. ස්ත්‍රී ශරීරයක් බඳා වැලඳ ගැනීම හා සංසර්ගයේ යෙදීම වෙනුවෙන් පිරිමි අප කරන බොරුවේ ප්‍රමාණය අපද නොදනී. එසේම ඇයත් නොදන්නීය. ආශාවේ හා රාගයේ භෞතික ස්පර්ශය වෙනුවට දැන් සයිබර් අවකාශයේ මානසික ස්පර්ශයක් ගොඩනැගී තිබෙයි. දැන් ලිංගික තෘප්තිය ලබා දෙන්නේ ද්විමාන හා ත්‍රිමාන තිර මාධ්‍යයයි. ශරීර දෙකක් භෞතිකව හමුවීම වෙනුවට මානසිකව හමුවීමත් පරිකල්පනීය ලිංගික සතුටකි. ඒ වෙනුවෙන් තාක්ෂණයේ දියුණුවක් .... ඔබේ නිරුවත මට පෙන්වන, මගේ නිරුවත ඔබට පෙන්වන්නනම්, සයිබර් අවකාශය තුළ නීති රීති, සංස්කෘතිය, සදාචාරයට අහුනොවන ලිංගික බැඳීම... කාමයෙහි බැදීම... නව ආකාරයක්.... මේ නව තත්ත්වයට සමාජය තවමත් සවිඥානික නැත. සයිබර් අවකාශය විසින් නව රූපකායක් සහිත මානවයෙක් නිර්මාණය කරමින් සිටින්නේය. බලා අවසන් කළ නොහැකි නිල් චිත්‍රපට තොගයක් සයිබර් අවකාශයෙන් ගේ ඇතුළේ පරිගණකයට පැමිණෙයි. ඔබ වෙනුවෙන් නිරුවත් වීමට සිටින ස්ත්‍රීන් දහස් ගණනක් චැට් රූම් වලට වී ඔබ ලොග් වන තුරු බලා සිටියි. මම සම්පූර්ණ ස්ත්‍රී නිරුවත් ශරීරයක් දුටුවේ දහවැනි වසරේදී මිත්‍ර‘යෙක් පංතියට ගෙනා පත්තර පිටුවකිනි. අපි එය එකිනෙකා අතට යවමින් රහසින් බලමින් රස වින්දෙමු. ඒ එක්දහස් නවසිය අනූහතරේදීය. එකල තිබුණේ අසභ්‍ය යැයි හඳුන්වන පුවත්පත්ය. කාම සඟරාය, අනූහතරේදී අන්තර්ජාලය ගැන අපි දැනගෙන නොසිටියෙමු. නිල් චිත්‍රපටයක් නැරඹුවේ අනූනවය අවුරුද්ද අගදීය. එකල බහුලව තිබුණේ වී.එච්.එස්. කැසට්ය. එම කැසට් දමන්නේ ඩෙක් එකටය. දැන් වී.එච්.එස්. කැසටුත් නැත... ඩෙකුත් නැත... එකල නිල් චිත්‍රපටයක් නරඹන්නට අපි සෑහෙන වෙහෙසක් දරන්නෙමු. දෙමාව්පියන් නැති මිත්‍ර‘යෙකුගේ නිවසක් තෝරා ගෙන එම නිවසට ගොස් දොරවල් වසා සද්දය අඩුකර සාමූහිකව නිල් චිත්‍රපට නැරඹුවෙමු.
එහෙත් අද තත්ත්වය කුමක්ද? තමන්ගේ ජංගම දුරකථනයෙත් නිල් චිත්‍රපට නැරඹීමේ හැකියාව තිබේ. සාමූහිකව කණ්ඩායම් වශයෙන් නිල් චිත්‍රපට නරඹනවට වඩා පෞද්ගලිකව නිල් චිත්‍රපට නැරඹීමේ පහසුකම් ගොඩ නැගී තිබේ. දෙදහස් හතර යනු අනූහතර හෝ අනූනවය, දෙදාහ නොවේ. මානව සම්බන්ධතා තීරණාත්මක ලෙස වෙනස් වී තිබෙන කාලයකි. ස්පර්ශය භෞතිකයෙන් මානසික ගනුදෙනුවකට පැන තිබේ. කිසිදා හමුනොවන කිලෝමීටර් දස දහස් ගණනක් ඈත සිටින ස්ත්‍රීන් සමග චැට් කරමින් සජීවීව ඇගේ නිරුවත් ශරීරය දැකීමෙ අවස්ථාව හිමිවීම ආශ්චර්යයකි. අතීතයේ මානව ශරීරයක් හමුනොවන විට තනිකමක් දැනේ... පාලුවක් දැනේ.. දැන් සයිබර් අවකාශයට ඔබ ගියවිට ඔබේ තනිකම, පාලුව මකා දමන්නට ඕනෑ තරම් මානව ශරීර තිබේ. තනිකම, පාලුව සයිබර් අවකාශය විසින් අහෝසි කර දමා තිබේ. මානව සම්බන්ධතා මහපොළවෙන් සයිබර් අවකාශයට පැන තිබීම ගැන වඩාත් අවුල් වී සිටින්නේ අපගේ වැඩිහිටයන්ය. ඔවුනට මේ නව තත්ත්වය තේරුම් ගැනීමට නොහැකි වී තිබේ. තරුණවියේ අවසාන ගැට්ටේදී අපේ පරම්පරාව ද සයිබර් ලෝකය තේරුම් ගත්ත ද, අතීත මානව සම්බන්ධතාවන් තුළින් මතු වූ සොඳුරු හැඟීම් හොල්මන් කිරීම නිසා කිසියම් වික්ෂිප්ත භාවයකට ඔවුහු පත්ව සිටින්නෝය. ජන ජීවිතයට රූපවාහිනිය කිසියම් ආකාරයට බලපෑමක් එල්ල කළ ද, රූපවාහිනිය මෙන් දස දහස් ගණන් බලපෑමක් අන්තර්ජාලය මගින් සිදු වන්නේය.
ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාගේ රූපය සජීවීව තැන තැන ත්‍රිමාණව මවා පෙන්වීමට සූදානම් වෙයි. එවිට ද්විමාන දැවැන්ත කටවුට් වෙනුවට රටේ තැන තැන ජනාධිපතිතුමා සිටගෙන ඔබට කතා කරනු ඇත. සිනා සෙනු ඇත. මේ තාක්ෂණයට ළමයින් උඩ දමා බඩ විරිතිය හැකි ද කියා නම් මම නොදනිමි. කෙසේ හෝ මෙතෙක් කාලයක් ද්විමානව නිශ්චලව පෝස්ටර් කටවුට්වල සිටි දේශපාලනඥයා සජීවීව සිටින ආකාරයෙන් ත්‍රිමාණව මැවී පෙනෙණු ඇත.
මරණයෙන් පසුව ද මෙසේ ත්‍රිමාණ මවා තැබිය හැකි බව කියවෙයි. ස්පර්ශය අහිමි වූ ත්‍රිමාණ ශරීර නිවසේ තබා ගත හැකි වීම කෙතරම් පුදුම සහගත අත්දැකීමක් බවට පත්වේවිද? අනාගත දෙමාපියන්, සැමියන්, බිරින්දෑවරුන්, පෙම්වතුන්, දරුවන් ආදීන් මිය ගියද ඔවුන්ගේ ත්‍රිමාණ ශරීර හා කිසියම් ප්‍රමාණයකය හෝ එම ශරීරවල ක්‍රියාකාරී ස්වභාවයක් සමග නිවසේ රඳවා ගැනීමට හැකිවෙනු ඇත. එය අපි අද දවසේ ඡායාරූපයක්, වීඩියෝවක් තබා ගන්නවා හා සමාන ක්‍රියාවලියක් වනු ඇත. වර්තමාන රූපවාහිනිය වෙනුවට අනාගතයේ මෙවන් තාක්ෂණයකට යොමු වූ විට තමා කැමති නළු නිළියන්, සතුන් ගහ කොළ නිවසේ මැවෙනු ඇත. එවිට මානව සම්බන්ධතා කෙසේ වෙතත් ඇත්ත යන්න සිතා ගැනීමට පවා නොහැකි වෙයි.

No comments:

Post a Comment