Saturday, February 6, 2016

රට බේරාගත යුත්තේ දූෂිතයන්ගෙන්ද ? බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන්ද ?




රූපවාහිනී දේශපාලන සංවාද ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනඥයෝ දෙදෙනෙක් ගැටී ඇන ගත්තෝය. එම සිද්ධියෙන් පොදු ජනතාව අප්‍රමාණ වින්දනයක් ලැබුවෝය. දේශපාලනය වර්තමානය තුළ ගමන් කරන දිශානතිය පිළිබඳව පොදු ජනතාව කම්පාවනවා වෙනුවට, එය විනෝදයක් ලෙස සලකා වින්දනය කිරීමට හුරු වී සිටිති.
ගහ ගැනීම හා මරා ගැනීම වින්දනය කරන සමාජය, මානුෂික සමාජයක් නොව ගෝත්‍රික සමාජයකි. ගෝත්‍රිකයන්ට මොළේ හයියට වඩා ඇඟේ හයිය වැදගත් වේ. දැන් දේශපාලනඥයාටද මොළේ හයියට වඩා ඇඟේ හයිය අවශ්‍ය වී තිබේ. දේශපාලනය මොළොන් නොව ඇඟෙන් කරයි. භාෂා ඥානය, බුද්ධිය, දැනුම, තර්ක විතර්ක කිරීමේ හැකියාව අහිමි මිනිසා ජයග්‍රහණය ඇඟෙන් බලාපොරොත්තු වෙයි. බුද්ධිය, දැනුම හිමි මිනිසා ජයග්‍රහණය මොළේ හයියෙන් බලාපොරොත්තු වෙයි.
දේශපාලනය මොළයෙන් ඇඟට මාරුවීම ගෝත්‍රික දේශපාලනය මිස වෙන දෙයක් නොවේ. මහත්වරුන් ලෙස ඇඳ පැලඳ මයික්‍ර‘ෆෝනය ගසා ගෙන මේස පුටු වල වාඩි වී සංවාද කරන මනුෂ්‍යයා ඉන් එකවිට නැගිට පුටු මේස පෙරලාගෙන ගහගන්නට යන්නේ ගෝත්‍රිකත්වය ඉස්මතු වීම නිසාය.
මේ නිකම් මිනිසුන් නොව ජනතා නියෝජිතයෝය. පළාතේ මහ ඇමති සහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දේශපාලන සංවාදයකට පැමිණ ගුටි ඇන ගන්නා විට ඔවුන්ට ඡන්දය දුන් ජනතාව ලැජ්ජාවට පත් නොවන්නේ නම්, පසුතැවීමට පත් නොවන්නේ නම් ගැටලුව ඇත්තේ ජනතාව තුළය. සමහරවිට ගුටි ඇන ගැනීමේ දක්ෂතාවය සලකා බලා ඊළඟ වර මනාපද වැඩි වීමට පුළුවන.
සිංදුවට, හමේ පාටට, ලස්සනට, රඟපෑමට, වාචාල කතාවට ජනතා ඡන්දය දෙති. ඒ නිසා හොරුද, මැරයෝද, දූෂිතයෝද සර්වජන ඡන්ද බලයෙන් මහජන නියෝජිතයෝ ලෙස පත්වෙති. දැන් අපගේ ජීවිත පාලනය කරන්නේ... අනාගත ඉරණම තීන්දු කරන්නේ මේ දූෂිතයෝය. මේ මැරයෝය. මේ චණ්ඩින්ය. රට බේරා ගත යුත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන්ද, නැතිනම් මේ දූෂිත මැරවරයන්ගෙන්ද යන්න ඔබ තේරුම් ගත යුතුව ඇත.

No comments:

Post a Comment