Wednesday, February 24, 2016

භෞතිකයට තෘප්තියේ කෙළවරක් හොයාගන්න බෑ.



ඔබට මේ මොහොතේ අවශ්‍ය කුමක්ද? ගෙයක්, වාහනයක්, විවාහයක්, විදේශගත වීමක්, ලැප් එකක්, ටැබ් එකක්, ණය බරෙන් නිදහසක් වීමක්, විශාල මාසික වැටුපක් නැතිනම් දරුවෙක්ද? කිසියම් මොහොතක මේ සියලු අවශ්‍යතා සම්පූර්ණ වුණා කියලා හිතන්න. ඒත් ඔබ තෘප්තිමත්ද? භෞතික අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර ගත් මහා ධනපතියන් ජීවත් වෙන්නේ තෘප්තියෙන්ද? නෑ... එයාලටත් ප්‍රශ්න තියෙනවා.
භෞතිකයට තෘප්තියේ කෙළවරක් හොයා ගන්න බෑ.. සර්ව සාධාරණ සමාජයක් නිර්මාණය කළාට පස්සේ සියල්ල විසඳෙනවද?  අවශ්‍යතාවයක් පූර්ණ තෘප්තියකින් අවසාන වෙනවද? ඒත් නෑ... භෞතිකයට ජීවිතේ අර්ධයන් තෘප්තිමත් කරන්න පුළුවන්. ඉතුරු අර්ධය තෘප්තිමත් කරන්න නම්, ආධ්‍යාත්මික කොටස ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ... භෞතික විමුක්තිය සාමාජීය කාර්යයන්... ආධ්‍යාත්මික විමුක්තිය ආත්මීය කාර්යක්... පුද්ගලයෙක් සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරනවා වගේ... ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙනුත් අරගල කරන්න ඕනේ... හැබැයි තවම එහෙම තත්ත්වයක් ගොඩනැගිලා නෑ... පොලීසියෙන් ගුටි කකා මහ පාරේ අරගල කරන විප්ලවවාදියාට තමන්ගෙ ආධ්‍යාත්මය පිළිබඳ කියවීමක් නෑ. විප්ලවයෙන් සියල්ල සම්පූර්ණ වෙනවා වගේ අදහසක් එයාට තියෙන්නේ... අනෙක් පිරිස තමයි සමාජ සම්බන්ධතා සියල්ල අතෑරලා දාලා වනගත වෙලා භාවනා කරමින් ආත්මීය විමුක්තිය සොයන පිරිස. ඔවුන්ට භෞතික සමාජය අදාළ නෑ... සමාජ අසාධාරණය, අයුක්තිය අදාළ නෑ... සියල්ල අතහැර භාවනාවට යොමුවෙලා පුද්ගල විමුක්තිය ලබාගැනීම තමයි එකම අරමුණ... විප්ලවාදියා එක අන්තයක.... භාවනානුයෝගියා තව අන්තයක... දෙන්නටම එක කොටසක් අතහැරෙනවා.... භෞතිකයට මුවා වුණාම විඥානවාදය පේන්නෙ නෑ. විඥානවාදයට මුවා වුණාම භෞතිකවාදය පේන්නෙ නෑ... මේ මොහොතේ ශිෂ්ටාචාර ගත මිනිසා මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩයන්න නම් භෞතික විඥානවාදයක් අවශ්‍ය වෙනවා. භෞතික විඥානවාදයේ හැඩය කොහොමද කියලා කියන්න තරම් මට අවබෝධයක් නෑ...
අපි තේරුම් ගන්න ඕනෙ.... සමාජ විප්ලවයකින් විමුක්තිය හොයන භෞතිකවාදයටවත්, පුද්ගල විමුක්තිය හොයන විඥානවාදයටවත් ශිෂ්ටාචාරගත මිනිසා මුහුණදී තිබෙන අර්බුදයට විසඳුමක් නෑ කියලා.... සියල්ල අතහැර භාවනාවට යොමුවෙන්න කිව්වට එහෙම කරන්න පුළුවන්ද? සිදුහත්ට පුළුවන්... මොකද එයා රාජ කුමාරයෙක්.... සිදුහත් ගිහිගෙය අතෑරලා ගියා කියලා යශෝදරාට රාහුල එක්ක ගඟේ මුහුදේ පනින්න ඕන වෙන්නෙ නෑ.... හිතේ දුක ඇරුණාම වෙන දුකක් නෑ... හැබැයි අපිට එහෙම පුළුවන්ද? පහළ මධ්‍යම පන්තියේ ජීවිතගත කරන අපිට සියලු මානුෂික සම්බන්ධතා අතහැරලා වනගත වෙලා භාවනා කරන්න පුළුවන්ද? එහෙම අයත් ඇති. මට නම් බෑ... ඉපදිච්ච දවසේ ඉඳන් ජීවත් වෙන්න, කන්න-බොන්න, අඳින්න, ගෙයක් හදාගන්න, අපා දුක් විදින අපිට මට ජීවිතේ කලකිරුණා. මම යනවා මහන වෙන්න  කියලා පැනලා යන්න නම් මට බෑ... භෞතික ජීවිතය ඇතුළේ තාම අරගලයක් විප්ලවයක් තියෙනවා... ඒක අස්සෙ තමයි ආධ්‍යාත්මික විමුක්තිය පිළිබඳ හැඟීම ජීවිතයට එබිකම් කරමින් ඉන්නේ.

No comments:

Post a Comment