Saturday, February 6, 2016

ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි නායකයෙක් අඟහරු ලෝකයෙන් එන්නේ නැත



ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි නායකයෙක් අඟහරු ලෝකයෙන් එන්නේ නැත
හිඟන්නෙක් එක් දිනකට හිඟා කෑමෙන් රුපියල් පන් හය දාහක් උපයන විට, ජැන්ඩියට ඇඳ පැලඳ හෑන්ඩ් ෆෝන්, ලැප්, ටැබ්, බ්ලුටූත්, ටච් ෆෝන්, එකී මෙකී නොකී සියලුම සන්නිවේදන උපකරණ ජීවන විලාසිතාව බවට පත්කර ගත් මිනිසාගේ දිනක වැටුප හිඟන්නා දිනකට සොයන මුදලට වඩා අඩු පිරිවැයකි.
ලංකාව තුළ හිඟන්නාටද ජීවිතයක් තිබේ. හිඟන්නා ස්වකීය රැකියාව වෙනුවෙන් බාහිර ආටෝපයට වියදම් කරන මුදලක් නැත. එහෙත් උදේ සවස රැකියාවට යන්නාට ස්වකීය ආත්ම ගෞරවය වෙනුවෙන්, තත්ත්වය රැක ගැනීම වෙනුවෙන් මුදල් වියදම් කළ යුතු වේ. බස් ගාස්තු ඇඳුම් පැලඳුම්, මඟුල් ගෙවල්, මරණ ගෙවල් මිතුරන් සමග සෙට්වීම්, ගෙවල් කුලී, දරුවන්ගේ ටියුෂන් පංති, ආධාර කොල දාන මාන, අසනීප වූ විට බෙහෙත්, දොස්තරලා චැනල් කිරීම් ආදී මෙකී නොකී සියල්ල රැකියාවට යන මිනිසාට අදාළ වේ. සොච්චම් වැටුපක් ලබන මේ මිනිසා ගෙවන්නේ මොන ජීවිතයක් දැයි මට ද නිතරම සිතෙයි. ධනපතියාටද, හිඟන්නාටද ජීවිතයක් උරුම කර දී තිබෙන මේ සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව තව දුරටත් පවත්වා ගෙන යාමට මේ දුක් විඳින ජනයාම කතිරය ගසන්නේ ඇයි කියා මට නොවැටහෙයි.
%බටහිර රටවලට දණ නොනමන රාජ්‍ය නායකයෙක් අපට සිටිනවා^ යැයි සමහරක් පවසා උදම් අනති. කොටින්ගෙන් රට බේරාගත් අභීත නායකයෙක් අපට සිටිනවා කියා තවත් සමහරක් ප්‍රීති වෙති. රට පුරාම ආශ්චර්ය දෝරේ ගලාගෙන යයි. කාපට් පාරෙන් පටන් ගෙන අධිවේගී මාර්ගයට පැමිණ වරාය, ගුවන්තොටුපොළ සාදා, දැන් අහස උසට නෙළුම් කුලුණක්ද තැනෙයි. මේ සියලු ආශ්චර්ය මැද මිනිසුන්ගේ ජීවිත වේගයෙන් දුක්ඛිත අවලස්සන තැනකට ඇද වැටෙමින් තිබෙන්නේය.
ඔය අතරේ සිංහල ජාතියත්, බෞද්ධාගමත් අන්තවාදීන්ගෙන් ආරක්ෂා කරගත යුතු බව නොයෙකුත් සංවිධාන අටවාගත් අය බෙරිහන් දෙති. බටහිරට යටත් නොවන කොටින්ගෙන් රට බේරාගත් දේශප්‍රේමී ජන නායකයාට සිංහල ජාතියත්, බෞද්ධාගමත් බේරා දෙන්න යැයි නොකියා මේවා අපට කියන්නේ ඇයි දැයි මට නොතේරෙයි. අන්ත අපා දුක් සහිත ජීවිතයක් ගෙවන මිනිසා ජාතිවාදී ගැටුම් සඳහා පොළොඹවන මතයක් පෝෂණය කරන්නේ ඇයි? රාජ්‍ය නායකායා හමුවී සිංහලයාටත්, බුදු දහමටත් සිදුවන අසාධාරණ විනාශය පෙන්වාදී එය වළක්වා ගත නොහැකි නම්, ඔය සංවිධාන කළ යුත්තේ මහ පාරට බැස පොදු ජනයා උසිගැන්වීම නොව තමන්ගේ  කාර්ය කළ හැකි රාජ්‍ය නායකයෙක් පත්කර ගැනීමට පොදු ජනයා පෙළ ගැස්සවීමයි. එහෙත් ආණ්ඩුව ආරක්ෂා කරමින් ජාතිවාදී මත ජනයා අතර වපුරවමින් මේ සංවිධාන බලාපොරොත්තු වන්නේ කුමක්ද?
දැනට පොදු ජනයා ගෙවා දමමින් සිටින ජීවිතයට වඩා අංශු මාත්‍රයකින් හෝ හොඳ ජීවිතයක් ලබා දිය හැකි දේශපාලන, ආර්ථික මතවාදයන් නියෝජනය කරන පක්ෂයන් වටා ජනයා ඒකරාශී විය යුතුය. මේක තමා අපේ ලැබීම... දෛවයෙන් උරුම වෙච්ච දේ... ශක්‍රයාටවත් වෙනස් කරන්න බෑ... මේ අපි ලබා උපන් හැටි... ගිය ආත්මේ පින් කරලා නෑ... ඒකයි මේ විදිහට දුක් විඳින්නේ.... වැනි අදහස් මගින් වාසිය ලැබෙන්නේ රට පාලනය කරන දේශපාලන නායකයන්ටය. සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය වෙනසක් කළ හැකි දේශපාලන ආර්ථික මතවාදයක් තුළ පොදු ජනයා රාශි ගත වීමෙන් හා එම මතය ඡන්ද බලයෙන් ජයග්‍රහණය කරවීමෙන් සමාජයත්, පොදු ජනයාගේ ජීවිතත් ලස්සන වෙයි. දෛවය වෙනස් වෙයි. ලබා උපන් හැටි වෙනුවට නව ජීවිතයක් ලැබෙයි. එවිට සියල්ලෝම නැතත්, බහුතරය පින්වන්තයෝ බවට පත්වෙති.
මේ කාලයේ ජනප්‍රිය කියමනක් තිබේ. එනම්, %මේ අණ්ඩුව පරාද කරන්න පුළුවන් හරි හමන් විපක්ෂයක් නෑනේ... ජනාධිපතිතුමා අභියෝග කරන්න පුළුවන් නායකයෙක් නෑනේ^ යන්නය. පිටසක්වලින් විපක්ෂයක් පැමිණෙන්නේ නැත. ජනාධිපතිතුමාට අභියෝග කළ හැකි නායකයෙක් අඟහරු ලෝකයෙන් එන්නේ නැත. තෝරා ගත යුතු දේශපාලන, ආර්ථික වැඩපිළිවෙළ සහිත නායකයන් සිටින්නේ මේ භූමියේමය... මේ දේශපාලනයේමය... ප්‍රශ්නය තිබෙන්නේ ජනයාගේ තෝරා ගැනීමේ පිළිවෙළය. විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ මොනවා කිව්වත්, මොන දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ ගැන පැවසුවත්, ජනයා එය තෝරා නොගෙන මේ නරා වළේම බැස ගෙන අපා දුක් විඳිමින් සිටීම ඉහළින්ම අනුමත කරන්නේ නම්, ගැටලුව තිබෙන්නේ ජනතාව තුළය.

No comments:

Post a Comment