Saturday, February 6, 2016

ජීවිතය මායාවට සම්බන්ධ වන්නේ කොතනින්ද?



මම යනු කවුද?

ජීවිතය මායාවක්  කියා මා සිතන්නට පටන් ගත්තේ කවදා සිට දැයි මට නිශ්චිතවම කිව නොහැක. දැන් මම ඒ පිළිබඳ සිතීම දැඩිකොට ඇත්තෙමි.
ජීවිතය සත්‍යයක් නම් එය සදාකාලිකව පැවතිය යුතුය. එහෙත් ජීවිතය වෙනස්වෙමින් විනාශය කරා ඇඳී යයි. එවිට ජීවිතයේ සත්‍යය එම වෙනසට සාපේක්ෂව ගොඩනැගෙයි. ඒ අනුව සත්‍ය පිහිටවෙයි. සත්‍ය වෙනස්වීම මත වෙනස් වෙනවා නම් එය තව දුරටත් සත්‍යයක් නොවේ. සැබෑ සත්‍ය වෙනස් විය නොහැක. වෙනස් වන සත්‍ය ළංවෙන්නේ මායාවට මිස ඇත්තට නොවේ.
සත්‍ය යනුවෙන් නිශ්චිත දෙයක් නොපැවතීම ළං වන්නේ මායාවටයි. ජීවිතය මැජික් එකකි. එහෙත් මැජික් එක අපට පෙන්නන්නෙ නැති නිසා අපි ජීවිතය මැජික් එකක් ලෙස නොසිතමු. මැජික්කරු දන්නා, අපි නොදන්නා දෙයක් නිසා අපි පුදුම වී මැජික් දෙස බලා සිටිමු. එහෙත් ජීවිතය දෙස අපි පුදුම වී නොබලන්නේ ජීවිතයේ මැජික් පහදා දෙන්නට කෙනෙක් නැති නිසාය. අපි මැජික් එක ඇත්තක් ලෙස සිතා ජීවත් වන්නෙමු.
මනුෂ්‍ය ශරීරය මැජික් එකකි. කුඩා දරුවා  වැඩිහිටියෙකු වීම මැජික් වැඩකි. දරුවෙකු කුස තුළ පිළිසිඳ ගැනීම මැජික් එකකි. විද්‍යාත්මක පහදාදීම මැජික් කරන හැටි පහදාදීම හා සමානය. ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග එකතු වී, සංසේචනය වී යුක්තාණුවක් බවට පත්ව ගර්භාෂයේ තැන්පත් වීම විද්‍යාත්මක පහදා දීමයි. ශුක්‍රාණුව යනු කුමක්ද? එය පිරිමි ශරීරයේ හට ගන්නේ ඇයි? ඩිම්බය යනු කුමක්ද? එසේ සංසේචනය වන්නේ කුමන නියමයකට අනුවද?. ශුක්‍රාණුවේ පරමාණු අංශුව දක්වා පරීක්ෂණයෙන්, නිරීක්ෂණයෙන්, නිගමනයෙන් විද්‍යාත්මක පහදාදීම් ඉදිරිපත් කළද එය එසේ සිදු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරක් විද්‍යාවෙන් නොලැබෙයි. මනුෂ්‍ය ශරීරය කෑලි කෑලිවලට කපා අවසාන පරමාණු අංශුව දක්වා බෙදා වෙන්කර හඳුනාගත්තද මම යනු කවුද? යන ප්‍රශ්නයට සැබෑ සත්‍ය පිළිතුරක් විද්‍යා‍වෙන් නොලැබෙයි. විද්‍යාවට පහදා දිය නොහැකි මායාවක් ඉතුරු වෙයි. ශරීරයේ සියලු අවයව හඳුනාගෙන ඒවායේ ලෙඩවීම්වලට බෙහෙත් සොයා ගත්තද මම යනු කවුද? මම යනුවෙන් පවතින මේ ශරීරය මට අයිතිද? යන ප්‍රශ්නවලට සැබෑ උත්තර වෛද්‍ය විද්‍යාවෙන් නොලැබෙයි.
ජීවිතය මායාවට සම්බන්ධ වන්නේ කොතනින්ද? අප මේ සත්‍ය ලෙස සිතා සිටින ලෝකය සිහිනයක්ද? මම සිහිනයක් ඇත්ත ලෙස සිතමින් ජීවත් වන්නේද? මාගේ මේ ශරීරයට පෙට්‍රල් හලා ගිනි තැබුවහොත් දැවී අළු වී යයි. දැන් මගේ ශරීරය නැත. සත්‍ය ලෙස පවතින දෙයක් නම් ගිනි ගැනීමෙන් අතුරුදන් වූයේ කෙසේද? මායාව තේරුම් ගැනීමේ යතුර විනාශ වී යාම මරණවට පත්වීම තුළ සැඟවී තිබේ.

No comments:

Post a Comment