Sunday, February 7, 2016

රහසිගත කැමරා බසයේ, වැසිකිළියේ, කාමරයේ, නාන කාමරයේ සැඟ වී ඔබ දෙස බලා සිටනු ඇත.



පෞද්ගලිකත්වයේ සීමාවන්ද කැමරාව විසින් ආක්‍රමණය කර තිබේ
වාරියපොළ නංගී කොල්ලෙකුට පහර දෙන ආකාරය ඒ අසල සිටි එක් අයෙක් වීඩියේ කර අන්තර්ජාලයට මුදාහැරීයේය. වාරියපොළ නංගීත්, ගුටි කෑ අයියාත් රටේම ජනප්‍රිය චරිත බවට පත් වුණ අතර, අවසානයේ එකී පහරදීම පොලීසිය, උසාවිය දක්වා ගොස්, කන්තා සංවිධාන පෙළ ගැසුණු මහා ව්‍යාපෘතියක් බවට පත් වුණේය. ගැහැනියක් පිරිමියෙකුට පහර දුන් එක් සිද්ධියක් බවට පත් වීමට තිබූ සිද්ධියක්, ලෝකයේම කතාබහට ලක්වන සිද්ධියක් බවට පත් වුණේය. සමහරු නංගී හරි යැයි කියති; තව සමහරු නංගී වැරැදි යැයි කියති. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ සංවාදයක් මතු කිරීමට තරම් වාරියපොළ සිද්ධිය ප්‍රබල වුණේය. මේ සිද්ධිය රටේ පමණක් නොව ලෝකයේම අවධානයට ලක්වන සිද්ධියක් බවට පත්වේ යැයි පහර දුන් නංගීත්, ගුටි කෑ අයියාත් හීනෙකින්වත් නොසිතන්නට ඇත. මනුෂ්‍ය ජීවිතවල සංසිද්ධීන් මෙතරම් ප්‍රබල වීමට කැමරාව තීරණාත්මක සාධකයක් වුණේය. අපේ ජීවිතවල සියලුම ක්‍රියාකාරකම් කැමරාව විසින් ආවරණය කර ලොවටම අනාවරණය කරන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබේ. පෞද්ගලිකත්වයේ සීමාවන්ද කැමරාව විසින් ආක්‍රමණය කර තිබේ. හන්දියට ගියත්, කඩේට බඩු ගන්න ගියත්, පාසලට ගියත්, ටියුෂන් පංතියට ගියත්, පන්සලට පල්ලියට ගියත්,  පාරේ ඇවිදගෙන ගියත් සී.සී.ටී.වී. කැමරා අප දෙස බලාගෙන සිටියි. වර්තමානයේ මිනිසාට සැඟවීමට නොහැකිය. ඇසක් ලෙස ක්‍රියාකරන කැමරා පද්ධතිය මනුෂ්‍ය ජීවිතය දෙස බලාගෙන සිටින්නේය. ඇමරිකාවේ ජීවත් වන ලංකාවේ තරුණයෙක් මුදල් මංකොල්ල කෑමට පැමිණි සොරෙකුට පහර දීම සී.සී.ටී.වී.කැමරාවක සටහන් වීම නිසා වීරයෙක් වුණේය. සොරුන්ට පහර දෙන ගැහැනු මිනිසුන්ට පහර දෙන සිද්ධියක් කැමරාවක සටහන් වීම, එය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම වෙනමම සංස්කෘතික, දේශපාලන මතවාදී තත්ත්වයක් ගොඩනැගීමට හේතු වී තිබේ. එක් දිනක් මම කුඩා කල අම්මා සමග මහරගම පොළට යන විට එක් ගැහැනියක් මිනිසෙකුට බිමදමාගෙන පහර දෙන ආකාරය දුටුවෙමි. එකල ජංගම දුරකථන නොතිබුණේය. කැමරාව සුලභ භාණ්ඩයක් නොවුණේය. එදා එම සිද්ධිය කවුරුන් හෝ ජංගම දුරකථනයෙන් වීඩියෝ කලා නම්, වාරියපොළ නංගීගේ පහර දීම මොන පහර දීමක් දැයි හිතෙනු ඇත. තාක්ෂණික වෙමලම්, ජනමාධ්‍ය අවකාශය පුළුල්වීම මනුෂ්‍ය ජීවිතයේ තීරණාත්මක වෙනසක් කර තිබේ. ඉස්සර ස්ත්‍රී පුරුෂයෝ රහසින් ලිංගික තෘප්තිය ලැබුහ. ඔවුහු කාමරවල, අහුමුල්වල, ගස්ගල්යට ලිංගික තෘප්තිය ලැබුවෝය. වර්තමානයේ ලිංගික තෘප්තිය ලබන ගමන් ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කරන්නේය. නිරුවත් ස්ත්‍රිය &අනේ ! ගන්න එපා, යාළුවන්ට පෙන්නයි* කියමින් නිරුවත දෑතින් වසාගෙන කෑගසන්නීය. එහෙත් පුරුෂයා නෑ... නෑ... කාටවත් පෙන්නන්නෙ නෑ කියමින් වීඩීයෝ කරන්නේය. ඇතැම් ස්ත්‍රීන් දෑතින් මූණවසාගෙන නිරුවත පෙන්වන්නේ මිනිහෙකු හඳුනා ගැනීමේ ප්‍රබලම අවයවය මුහුණ නිසාය. අවසානයේ එම දර්ශන අන්තර්ජාලයට පැමිණ ලක්ෂ ගණන් නරඹන අසභ්‍ය දර්ශන බවට පත්වන්නේය. සමහරු රහසේ වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහරින්නේය. එවිට එම දර්ශන නරඹන ඇගේ දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, නෑදෑයන්ට, හිතවතුන්ට ඇතිවන හැඟීම කෙබඳුද ?
ඇගේ ජීවිතයට අත්වන ඉරණම කුමක්ද? තමා රහසින් ලබන ලිංගික තෘප්තියට වඩා සතුටක් එම දර්ශන සමාජගත කිරීමෙන් ලැබීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? මම අහවල් ගැහැනිය  සමග හිටියා කියා මිතුරන්ට එම දර්ශන පෙන්වමින් පොරවල් වීමට ඇතැම් තරුණයෝ කැමැත්තක් දක්වති. එම ආශාව ගෝත්‍රික ආශාවකී. වනචාරී ආශාවකී. වනාන්තරය හා බැදුන ආශාවකී.
මේ දිනවල ඇමරිකාවේ ප්‍රසිද්ධ නිළියන්ගේ රහසිගත නිරුවත් ඡායාරූප ගොන්නක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. එම නිළියන්ගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ එම නිරුවත් ඡායාරූප රුසියාවේ හැකරයෙකු විසින් ලබාගෙන අන්තර්ජාලයට මුදාහැර තිබේ. දැන් එම ඡායාරූප හා වීඩියෝ දර්ශන ලෝකය පුරා ව්‍යාප්ත වී තිබේ. නිරුවත කාමුක ආශාව ගෝලීයකරණය වී තිබේ. අනෙකාගේ නිරුවත දැකීමේ ආශාව පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගොස් තිබේ. රහසිගත කැමරා බසයේ, වැසිකිළියේ, කාමරයේ, නාන කාමරයේ සැඟ වී ඔබ දෙස බලා සිටනු ඇත. සැඟවෙන්නේ කෙසේද?

No comments:

Post a Comment