Sunday, July 24, 2016

දේශප්‍රේමී ක්‍රිකට්      

 රට, ජාතිය ,දේශප්‍රේමය,අපේ කොල්ලෝ සිංහ පැටවූ ,අරවා මේවා විකාර මනස්ගාත සේරම විසිකරලා ක්‍රිකට් බලන්න ඕනේ කාලය ඇවිල්ල ගොඩක් කල්. ක්‍රිකට් නැරබීම දේශප්‍රේමී වැඩක් වෙනකොට ක්‍රිකට් වලින් මුදල් හම්බකිරීම ගෝලිය වැඩක් වෙලා .එතන රට ජාතිය සිංහ පැටවූ අරවා මේවා විකාර නෑ. කැප්පෙට්ටිපොළ වීරයා සුද්දට ගැහුව මානසිකත්වය ආරෝපණය කරගෙන ක්‍රිකට් බලන්නේ පිස්සෝ. .ගෝලීය මානසිකත්වයෙන් ක්‍රිකට් බලමු .එතකොට මුරලි ඔස්ට්‍රේලියාවට සපෝට් කලා කියල අවූල් වෙන්නේ නෑ . ක්‍රිකට් ගහන අය සල්ලිවලට රට ජාතිය සිංහ පැටවූ කතා විසිකරලා දාද්දි ඇයි උබලා ඕක කරේ තියාගෙන යන්නේ .පත්තර කාරයෝ tv චැනල් මුරලිගෙන්, මහේලගෙන් ,සන්ගගෙන්,ලසිත් මාලින්ගගෙන් දේශප්‍රේමය ඉල්ලීම විහිළුවක්.මම නම් ක්‍රිකට් බැලීම නවත්තලා ගොඩක් කල් . ක්‍රිකට් සම්බන්ද ගෝලීය චුන් එකවත් දේශීය චුන් එකවත් මට සෙට් නෑ

Thursday, July 21, 2016

ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙක් ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න.
සතුන් ලිංගිකව හැසිරෙන්නේ එළිමහනේය. ලිංගිකත්වය සතුන්ට කන බොනවා හා සමාන ක්‍රියාවලියකි. මිනිසුන් ලිංගිකව හැසිරෙන්නේ රහසිගතවය. හැං‘ගී ගෙනය. දොරවල් වසාගෙනය. මිනිසාට දැන් ලිංගිකත්වය ස්වභාවික නොවේ. එය සංස්කෘතියකි. සැඟවී රහසිගතව කරන ක්‍රියා නැරඹීමේ කුතුහලයක් මිනිසාට තිබේ. ඒ අතරින් ලිංගික සංසර්ගය ප්‍රධාන වේ. අනෙකාගේ ලිංගික ක්‍රියා නැරඹීමෙන්, ස්ත්‍රී නිරුවත දැකීමෙන් පිරිමි අසීමිත ප්‍ර‘මෝදයට පත් වෙති. ලිංගික ක්‍රීඩා ස්ත්‍රී නිරුවත දැකීමේ කැමැත්ත දර්ශන කාමය ලෙස හඳුන්වයි. ඉංග්‍රීසි භාෂාවෙන් එය Voyeurism ලෙස හඳුන්වයි. අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් දර්ශන කාමයෙන් පෙලෙන්නෝ වෙති. දර්ශන කාමය පුරුෂ මූලිකය.
අතීතයේ දී ස්ත්‍රී නිරුවත පිරිමි රහසින් රස වින්දෝය. යතුරු සිදුරෙන්, බිත්ති උඩින්, වහලයේ උළු අතරින් අනෙකාගේ ලිංගික ක්‍රියා නරුඹූහ. දිය රෙද්ද ඇඳ නාන ස්ත්‍රීය දෙස බැලූහ. මේ සියල්ල නරඹන ඇසෙහි රෙකෝඩරය වූයේ මතකයයි. ඇසෙහි පටිගත වීම අනෙකාට පෙන්විය නොහැකි විය. අනෙකාට භාෂාවෙන් පමණක් කියන්නට පුළුවන් විය. අරුන් දෙන්නා ගඟ ගාව මෙහෙම හිටියා. මම ඇහැටම දැක්කා කියා පවසන්නට පමණක් පුළුවන් විය. වාචික සාක්ෂි මිස වීඩියෝ සාක්ෂි නොමැති.විය. එහෙත් කැමරාව සොයා ගැනීමත් සමග දර්ශකාමයට නව ආකාර, නව තත්වයන් ගොඩනැගුනේය.. දැන් අපේ පියවි ඇසින් දර්ශන කාමය සොයා යා යුතු නැත. කාමරවල, රහසිගත තැන්වල සිදුවන ලිංගික ක්‍රීඩා නැරඹීමට මානව ශරීරය අනතුරේ හෙළිය යුතු නැත. රහසිගත කැමරා අපගේ ආශාවන් ඉටුකර දෙන මෙවලමක් බවට පත්ව ඇත. කැමරා ඇස දර්ශන පටිගත කර ගනියි. පසුව එම දර්ශන සී.ඩී., ඩී.වී.ඩී හරහා පමණක් නොව, අන්තර්ජාලයට එක්කිරීමෙන් ලක්ෂ කෝටි ගණනකට නැරඹීමේ හැකියාව තිබේ. අතීතයේ ගැහැනු නාන දෙස හොරෙන් බැලීමට ඇබ්බැහි වූවෝ සිටියහ. ඔවුහු දර්ශනකාමය ලබාගැනීමට ගොස් ගම්මුන්ගෙන් හොඳ හැටි ගුටි කෑවෝය. වනචර මානසික ලෙඩ්ඩු ලෙස හංවඩු ගැසුවෝය... එහෙත් අද නාන කාමරයක සුරූපී ස්ත්‍රීයක් නිරුවතින් නාන දර්ශනයක් සියුම් කැමරාවක් මගින් පටිගත කොට අන්තර්ජාලයට එක් කළහොත් එය නරඹා නොසිටින පිරිමියෙක් සිටියිද? ගැනු නාන දෙස බැලූ මිනිහාට පහර දෙන ආකාරයට අන්තර්ජාලයෙන් ගැහැනු නාන දර්ශන නරඹන්නාට පහර දෙන්නට කෙනෙක් නැත. නින්දා ගැරහුම්ද නැත. ගුරුවරයාද, පූජකයාද, වෛද්‍යවරයාද, උපාසකයාද, නීතිඥයාද, රස්තියාදුකාරයාද යන සියල්ලෝම රහසිගතව ස්ත්‍රී නිරුවත, ලිංගික ක්‍රීඩා අන්තර්ජාලය හරහා, ඩී.වී.ඩී හරහා නරඹා සතුටු වෙති. දර්ශනකාමිහු සියල්ලෝ මානසික රෝගීන් ලෙස හඳුන්වනවා නම්, නීරෝගි ලිංගික හැකියාවෙන් යුත් සියලු පිරිමි මානසික රෝගීන්ම වෙති. දර්ශනකාමය අද වෙළෙඳ පොළකි. නිල් චිත්‍රපට කර්මාන්තය එහි අග්‍රඵලයයි. මනුෂ්‍යයා දර්ශන කාමයෙන් තොර කළ හැකිද, දර්ශන කාමය පාලනය කළ හැකිද? දර්ශන කාමය පාලනය කළ හැකි වුවද, සම්පූර්ණයෙන් නැති කර දැමිය නොහැකිය. එසේ අවශ්‍ය නම් අප නැවත ඇඳුම් ගලවා ගල් යුගයට යා යුතුය. සතුන් විය යුතුය. දර්ශන කාමයට අඩගසන්නේ සංස්කෘතියයි. සියලු හැඟීම් සඟවන, පාලනය කරන සංස්කෘතිමය ජීවිතයයි.
මේ දිනවල අන්තර්ජාලය පුරා එක්තරා බැංකුවක් යැයි පැවසෙන තරුණක් හා තරුණියකගේ ලිංගික ක්‍රීඩාවක් වේගයෙන් පැතිරෙන අතර, ඔවුන්ගේ අන්‍යතාවයක්ද හෙළිදරවු කරමින් විවේචන විචාර සහිතව සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ. චිත්‍රපටයක් විචාරය කරන ආකාරයෙන් එම දර්ශන විචාරයට ලක්කළ හැකිය. චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක නම් එහි රඟන නළු නිළියෝ තමා ඉදිරියේ කැමරාවක් තිබෙන බව දනියි. එහෙත් මෙම දර්ශනයන් හි තරුණියකැමරාවක් සඟවා තිබෙන බව නොදනියි. කැමරාව රහසිගතව සඟවා තබා තිබෙන්නේ පිරිමියාය. ඒ අනුව කැමරාව ස්ථානගත කිරීමමම පුරුෂවාදිය. තමන් විඳින ලිංගික තෘප්තිය කැමරාවකින් රෙකෝඩ් කර නැවත නැවත එය නරඹා දර්ශනකාමී සතුටක් අදාළ පුද්ගලයා ලබාගන්නවාද? එසේත් නැත්තම් එම දර්ශනය අනෙකාට පෙන්වා මම අහවල් තරුණිය සමග මෙහෙම සිටියා කියා සතුටක් ලබාගන්නවාද? කැමරාව මැදිහත් වීම සමග දර්ශන කාමය සංකීර්ණ වී තිබේ. කෙසේ හෝ අතිශය පෞද්ගලික මෙම දර්ශන අද ලක්ෂ ගණනකගේ දර්ශනකාමය පිනවන වීඩියෝවක් වී තිබේ. වීඩියෝ දර්ශනය නරඹා නිකන් නොසිට එම තරුණයාගෙත්, තරුණියගෙත් පැටිකිරිය සොයා ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කිරීමෙන් එම යුවළ මුහුණ දෙන ගැටලුව බෙහෙවින් කනගාටුදායකය. මේවා සයිබර් ගැටලුය. අවසාන වශයෙන් මෙසේ පැවසීය යුතුය. ඔබගේ ලිංගික සතුට අතරට තුන් වැන්නෙකු ලෙස කැමරාව සම්බන්ධ කර නොගන්න. පුරුෂ මූලික කැමරා දර්ශන ඉදිරියේ වඩාත් අපහසුතාවයට, ලැජ්ජාවට පත් වන්නේ ස්ත්‍රියයි.
මම
mamatharunayablogspot.com
මා විසින් තරුණයා පුවත්පත ට ලියු ලිපියකි .කුමන හෝ හේතුවක් නිසා පුවත්පතේ පල නොකරන ලදී


අපේ සමහර හාමුදුරුවරු හිතාගෙන ඉන්නේ මහණකම කියන්නේ ජොබ් එකක් කියලා. සිවුර කියන්නේ යුනිෆෝම් එකක් කියලා. ගිහියොත් හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු මරණෙට, දානෙට, පිරිතට, බණට වඩින්න ඕනේ පිරිසක් විතරයි කියලා.... මහනකම කියන්නේ මෙහෙම දෙයක් නෙවෙයි නේ... චීවරය දාරගෙන ඉන්න හමුදුරුවරු ආත්ම විමුක්තිය, නිර්වාණය හොයා ගන්න වෙහෙසෙන්න එපැයි. මහණවීමේ මූලික අරමුණ විය යුත්තේ එක නේ.... හැබැයි හාමුදුරුවරුන්ට නැත්තෙත් එකම නේ... ගිහි ජීවිතේ අතෑරලා චීවරය දරාගෙන පන්සලේ ජීවත් වෙන්නෙ ඇයි? ගිහි සැපය අත්හරින්නනේ... හැබැයි සමහර හාමුදුරුවරු හිතාගෙන ඉන්නවා ගිහියන්ගෙ මරණයකදි පාංසකූලය දෙන්න, පිරිත් ටිකක් කියන්න, දානෙට වඩින්න, බෝධි පූජාව තියන්න, කවි බණක් කියන්න, රට ජාතිය රකිනවා කියලා දේශප්‍රේමී කතාවක් කරන්න, දේශපාලනය කරන්න, නිදහස් අධ්‍යාපනය රැකගන්න, ගිහියන්ට බණක් කියන්න මහණකමේ හිටියාම ඇති කියලා ... රස්සාවල් කරන මිනිස්සු තමන්ගෙ රැකියාවෙ වගකීම දරනවා වගේ තමයි හාමුදුරුවරු ඔය වැඩ ටික කරන්නේ. ඔය සේරම අතුරු වැඩ නේ.... ප්‍රධාන කාර්ය වෙන්න ඕනේ නිවන කරා යාම නේ... නැවත ඉපදීම අහෝසි කරදමන මාර්ගය සොයා ගැනීම නේ....
ගිහියන්ටත් වඩා ආසාවල් හිතේ පුරෝගෙන මහණකමේ ඉඳීමේ තේරුමක් තියෙනවද? සියලුම ගිහි ආශාවන් හිතේ තියාගෙන නිවන් දකින්න පුළුවන්නම්, බුදු හමුදුරුවෝ චීවරය දරා ගත්තු හාමුදුරුවරු කියලා පිරිසක් වෙනම නිර්මාණය කරන්නෙ නෑනේ.... මේ කාලේ හාමුදුරුවරු හැමදේම කරනවා. හැබැයි නිවන් දකින වැඩේ අතාරිනවා. කට පාඩම් කරගෙන බණ කියනවා. ගිහියන්ට උපදෙස් දෙනවා. ගිහියොත් ඔහේ සාදු! සාදු!! කියනවා, එච්චරයි .
මගේ හිතෙන් ඈතම ඈත කොනක මහණදම් පිරීමේ ආශාවක් තියෙනවා... විවාහ වෙන්න කලින්, දරුවෝ හදන්න කලිනුත් ඒ ආශාව කැමැත්ත හිතේ තිබුණා..... ඒත් මහණ දම් පුරන්නේ කොහොමද හිතේ මේ තරම් ආශාවල් තියාගෙන... ස්ත්‍රීන්ට ආසයි, යාන වාහන, ගෙවල් දොරවල්වලට ආසයි. රසවත් කෑම කන්න, බොන්න, අඳින්න, පලඳින්න ආසයි. මේ සියලු ආශාවල් හිතේ තියාගෙන මහණ වුණාම මොකද වෙන්නේ. ගිහි ආසාව සිවුර අස්සෙන් එළියට එනවා. දැන් ඔය ජනප්‍රිය වෙන්න බණ කියන හාමුදුරුවරු ශරීරය මේන්ටේන් කරන විදිහ බලන්න... ලස්සන උපාසිකා ස්ත්‍රීන් පන්සලට ආවම අමුතු වෙලා ඇඹරෙන හැටි බලන්න. ගිහි ආශාවන් සිවුරේ ඉඳන් එළියට දාගන්න ක්‍රම බුදු දහමට එකඟ විදිහට හාමුදුරුවරු හදාගෙන තියනව නේ... ගිහි ආශාවන් සිවුර දාගෙන ඉටුකර ගන්න ඕනේ නම්, ශාසනය රකින්න කියලා මහණ වෙන්න එපා... සමහර හාමුදුරුවරුන්ගේ හැසිරීම් දිහා බැලුවාම බුදු හමුදුරුවෝ හිටියා නම් කියනවා, මෙහෙම හාමුදුරුවෝ නම් චීවරය දරාගෙන ඉන්නේ... මා විසින් පිහිටවපු බුද්ධ ශාසනය විනාශ වී ගියත් මෙවැනි හිමිවරුන්ගෙන් නම් ශාසනයට පලක් නෑ කියලා... අර මඩකලපුව පැත්තේ චණ්ඩි හාමුදුරුවෝ අමුතිත්ත කුණුහරුපයෙන් බැණ බැණ මිනිහෙකුට පහර දෙන දර්ශන යූටියුබ් එකෙන් තාමත් බලන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ සිවුර දරාගෙන අමුතිත්ත කුණුහරුප කියාගෙන සිංහල බෞද්ධකම මඩකලපුවෙ රකින හින්දා අපේ මිනිස්සු උවහන්සේට හරි කැමතියි. අමුතිත්ත කුණුහරුප කිය කියා මිනිස්සුන්ට ගග හා සිංහලකමයි, බෞද්ධකමයි රැකලා මොකටද? එහෙනම් සිවුර ගලවලා පැත්තකින් තියලා ඔය වැඩේ කළා නම් හරි. එහෙම කළා නම් හිරේ දානව නේ.. බුද්ධ චීවරයට තියෙන ගෞරවය, බලයට නේ සිවුර දාගෙන මේ වැඩ කරන්නේ... අපි හැමෝට සිවුරට බයයි නේ... ගෞරවයටත් වඩා පව් සිද්ධ වෙයි කියලා බයයිනේ... මොනවා වුණත් හාමුදුරුවොනෙ කියලා බය පක්ෂපාතීව සලකන ගතියක් අපේ සංස්කෘතියෙම තියෙනව නේ... හාමුදුරුවරු ගිහියන්ට බණ දේශනා කරනවා. ගිහි ජීවිතේ යහමගට ගන්න හදනවා. හැබැයි ශාසනේ මොන තරම් පිරිහිලාද? මඩකලපුවෙ හාමුදුරුවෝ සිංහල බෞද්ධකම රකිනවා. හැබැයි නිවන ගැන ආත්මවිමුක්තිය ගැන අංශු මාත්‍ර හැඟීමක් උන්වහන්සේ ළඟ තියෙනවා කියලා පේනවද? සිවුර දරා ගැනීමේ මූලික අරමුණෙන් ඈත්වෙලා අතුරු වැඩ කරන අය තමයි මේ...
තව එක් කෙනෙක් ඉන්නවා තමන් රහත් වෙලා කියලා ලොකු පුටුවක ඉඳන් බණ කියන හාමුදුරුකෙනක් මේ හාමුදුරුවො කියනවා අරලියගහ මන්දිරේ පොල්කොටන් දෙකක් දාපු වැසිකිළියක් තියෙනවා කියලා කිව්වනම් මිනිස්සු සතුටු වෙනවලු. මිනිස්සුන්ට තියෙන්නේ හිඟන සම්ප්‍රදායක්ලු. රජා, රජා විදිහට ඉන්න ඕනෙලු. ගෙදරින් බත් ගෙනල්ලා කන්නෙ ග්‍රාමසේවකලු.මේ හාමුදුරුවෝ හිතාගෙන ඉන්නේ ලංකාවෙ තාමත් රට පාලනය කරන්නේ රජෙක් කියලා. රජතුමාගේ වැසිකිළිය ඒ.සී. කරලා කොමඩ් එක රත්තරන්වලින් හදලා තියෙන්න ඕනේ කියල. රාජ සම්ප්‍රදායට අනුව රජ දරුවෝ අසීමිත සැප විඳින්න ඕනේ කියල.. රාජගේ සහෝදරයෝ රටේ සම්පත් කොල්ල කන්න ඕනේ.කියල.. රජාගේ නැදෑයෝ රටේ ඉහළ තනතුරුවලට පත්වෙන්න ඕනේ.කියල.. එහෙම නැත්නම් රට අරාජික වෙනවා. රජා, රාජ බලයෙන් රජ සැප වින්දට මහජන ඡන්දයෙන් පත්වෙන පාලකයෙකුට රාජ සම්ප්‍රදාය ගෙන යන්න කිසිම අයිතියක් නෑ... මහජන දේපොළ අයතා විදිහට භාවිත කරන්න අයිතියක් නෑ... උන්වහන්සේගේ බණ ටික හොඳයි යටත්වැසියන්ට. පුරවැසියන්ට ඒ බණ හරියන්නෙ නෑ ... උන්වහන්සේටත් තියෙන්නේ රාජකීය අමාරුවක් ... මල් උඩින් ඇවිදින්න... බුෆේ දානේ වළදන්න... සුරූපි ළඳුන්ට කියලා මල් පෙති ඉහගන්න, දානෙ බෙදා ගන්න... මං කියන්නේ ඔය හාමුදුරුවන්ට සිවුර ගැලෙව්ව නම් ඔය වැඩ ටික ඔය විදිහට කරගන්න බෑ... සිවුර පොරවගෙන තමයි ගිහි ආශාවන් ටික බුදු දහමට එකඟ විදිහට මුදාහරින්නේ... මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන් මේ සේරම දේවල් කළාට මම මේ කිසි දෙයක් අල්ලගෙන නෑ.. සේරම අතෑරලා ඉන්නේ කියලා. මේක තමයි බුදුන්ගේ ශාක්‍යවංශික සම්ප්‍රදාය. හිඟන ජෛන සම්ප්‍රදාය නෙමෙයි මම අනුගමනය කරන්නේ කියල මම නිවන් දැකලා ඉන්නේ කියලා කියන්න පුළුවන් . අතීතයේ ග්‍රීසියේ හිටියා විතන්ඩවාදියෝ කියලා හඳුන්වපු පිරිසක්. ඕන විදිහකට තර්ක කරලා එයාලට දිනන්න පුළුවන්. සල්ලිවලට තර්ක කරලාත් දිනනවා.
ඒ වගේම තමයි මේ හාමුදුරුවොත්,මේ හාමුදුරුවන්ගේ සියලු වැඩ බුදු දහමට එකඟයි කියලා මේ හාමුදුරුවන්ට පෙන්නන්න පුළුවන්... නිවන විද්‍යාවක් නොවන නිසා පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනවලින් ඔප්පු කරලා පෙන්නන්න බෑ.... නිවන මීටරයකට අහුවෙන්නෙත් නෑ... මේ හාමුදුරුවොත් රහත් කියලා කිව්වාම පිළිගන්න අය පිළිගන්නවා. අපි විවේචනය කරනවා. මම එක ප්‍රශ්නයයි අහන්නේ... පොදු ජනයාට තේරෙන විදිහට බුදු දහමේ ගැඹුර හරය පහදලා පොත්පත් ලියපු, බුද්ධ ධර්මය ගැන විශාල අවබෝධයක් තිබුණ රේණුකානේ චන්ද විමල හාමුදරුවෝ ජීවත් වුණේ ජෛන හිඟන සම්ප්‍රදායට අනුවද? උන්වහන්සේ අපවත් වුණාම උන්වහන්සේගේ කැමැත්ත අනුව අවමඟුල් උත්සවයක් නොගෙන මිනී පෙට්ටියක ශරීරය නොදා අපවත් වුණු ඇඳ පිටින් ඔසවාගෙන ගිහිල්ලා දර සෑයක සිරුර දවාලූයේ ජෛන හිඟන සම්ප්‍රදායට අනුවද? මේ ප්‍රශ්නයට උත්තරය විදිහට මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන් ඔව්, ජෛන හිඟන සම්ප්‍රදාය තමයි ඕක කියලා.
ඔව් කියපු ගමන් ප්‍රශ්නේ අහපු මම පරාදයිනේ... මම මේ ප්‍රශ්නෙ අහන්නේ ඔව් කියන පිළිතුර බලාපොරොත්තුවෙන් නෙමෙයිනේ... මගේ ප්‍රශ්නය ඇසීමෙන් මේ හාමුදුරුවන්ගේ ක්‍රියා පිළිවෙත වැරදියි කියන්නයි මට අවශ්‍යය. හැබැයි ප්‍රශ්නෙට ඔව් කීමෙන් එයා දිනනවා, මම සවුත්තු වෙනවා. ඕවා තමයි විතන්ඩවාදී තර්කවල ස්වරූපය. රේණුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවන්ගේ ජීවන විලාසය ජෛන හීන සම්ප්‍රදාය තමයි කියලා මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්නේ. බුදු හාමුදුරුවන්ගේ පිරිනිමන් මංගල්‍ය පවත්වපු විදිහ දන්නෙ නැද්ද? අන්න බුද්ධ සම්ප්‍රදාය, අන්න රාජකීය සම්ප්‍රදාය කියලා මේ හාමුදුරුවන්ට කියන්න පුළුවන්. රටේ බහුතර ජනයා දැඩි ආර්ථික අපහසුතා මධ්‍ය‘යේ ජීවත් වෙනකොට රාජකීය සම්ප්‍රදාය රැකිය යුතුයි කියලා සිහි බුද්ධිය තියෙන, විචාරය බුද්ධිය තියෙන මිනිහෙකුට කියන්න පුළුවන්ද? බුදුන් වහන්සේ ජීවමානව භෞතික ශරීරයක් නොමැති නිසා උන්වහන්සේ දේශනා කළාය කියා පවතින ඇතැම් දේ පිළිගන්න වෙලා තියෙනවා. අන්න ඒ දේවල් එක්ක තමයි ගොඩක් අය සෙල්ම් කරන්නේ. . මේ හාමුදුරුවන් රහත් කිව්වාම ඒකට බය වෙලා පව් සිද්ධ වෙයි කියලා අන්ධ භක්තියෙන් ඉන්න අය කොපමණ ඉන්නවද .
තව එක දෙයක් ලියලා ලිවීම නවත්තනවා. ගොඩක් හාමුදුරුවරු දැන් ෆේස් බුක් ඉන්නවා. ඒක ගැටලුවක් නෑ... තාක්ෂණයත් එක්ක හාමුදුරුවෝ ඉන්න ඕනේ... ඔන්න ලස්සන ගෑනු ළමයෙක් ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දානවා. කොල්ලන්ට වගේ හාමුදුරුවරුන්ට ඔයා ලස්සනයි, සෙක්සි, කියුට් කියලා කමෙන්ට් දාන්න බෑනේ... ඉතිං හාමුදුරුවෝ අර ගැහැනු ළමයට කමෙන්ට් එකක් දානවා ගුණ යහපත්කම මූණෙන් පේනවා කියලා. බුදු දහමට මුවා වෙලා ආශාව මුදාහරින විදිහ තමයි ඒක. කොල්ලෙක්ට නම් ජීවිතේට ඔහොම කමෙන්ට් එකක් දාන්නෙ නෑ.. ගෑනු ළමයත් හිනා මූණක් දාලා හාමුදුරුවන්ට රිප්ලයි කරනවා. කවි බණ කියන මේ හාමුදුරුවන්ගේ ෆේස් බුක් පිටුවට මම ගොඩවුණා. ඒ හාමුදුරුවන්ට වෙන මොකක්දෝ ආශාවක් තියෙනවා කියලා බැලුවම පේනවා. අර නළු නිළියන්ට තියෙන ආශාව වගේ එකක්. අනේ හාමුදුරුවනේ ඔය සිවුර ගලවලා ගිහි ජීවිතයට ඇවිල්ලා ලස්සන කෙල්ලක් කසාද බැඳලා පවුල් ජීවිතේ පරිප්පුවත් කාලා ආපහු මහණ වෙන්න... බුදු සරණයි, ගුණයහපත්කම මූණෙන් පේනවා, පින් පාටයි කියලා ලස්සන උපාසිකා කෙල්ලන්ට කමෙන්ට් කරනවාට වඩා ඒක හොඳයිනේ... ගිහි ආශාව හිතේ තෙරප ගෙන සිවුරු දාගන්න එපා. ගිහියෝ වගේ හතර අතේ විවිධ ඉරියව්වලට ෆොටෝ අරන් ෆේස් බුක් දාලා ඔබ වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
mamatharunaya.blogspot.com