Saturday, February 6, 2016

මම සිතන පිළිවෙළට අනුව නම් ආගම්වාදයත්, ජාතිවාදයත්, කුලවාදයත් කරපින්නාගෙන සිටින්නේ උමතු භාවයකින් පෙළෙන පිස්සෝය



මම සිතන පිළිවෙළට අනුව නම් ආගම්වාදයත්, ජාතිවාදයත්, කුලවාදයත් කරපින්නාගෙන සිටින්නේ උමතු භාවයකින් පෙළෙන පිස්සෝය.  එම පිස්සන් රැළට රටත්, ලෝකයත් විනාශ කිරීමට පුළුවන. හිට්ලර් ලෝකයේ උතුම්ම අර්ය ජාතිය  ජර්මන් ජාතිය යැයි කියා යුදෙව් ජාතිකයන් ලක්ෂ ගණනක් අමානුෂික ලෙස මරා දැම්මේය. ප්‍රභාකරන් දෙමළ ජාතිය වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් වදින අතර තුරු සිංහල ගම්බිම් වලට වැද අහිංසක සිංහල මිනිසුන්ද, ළමා ළපටින්ද අමානුෂික ලෙස මරා දැමූ අතර, බෝම්බ පුපුරුවා ජීවිත ද, දේපොළද විනාශ කළේය. ජාතිවාදය... ජාතිය පිළිබඳ හැඟීම... ස්වභාවික මානුෂ්‍යා තුළ ඇති වන හැඟීමක් නොව, කිසියම් පුද්ගලයෙක්, කණ්ඩායමක්, පක්ෂයක්, ව්‍යාපාරයක්, සේනාවක විසින් ගොඩනගන මතවාදයයි. අහිංසක ළමා ළපටියෝ ගස්වල ගසා මැරූ..මිලේච්ඡ මානව ඝාතක ප්‍රභාකරන් ද, හිට්ලර් ද වෙනුවෙන් පෙනී සිටින ජනතාවත්,.. මේ අමානුෂික අධම ඝාතකයන් වීරයන් ලෙස සලකන ජනතාවක් ගොඩනැගෙනේ සාදන ලද ජාතිවාදී මතවාදය පිළිගැනීම හේතුකොට ගෙනය.
අවුරුදු තිහකට අධික කාලයක් යුද්ධය පැවැති සමයේ සිංහලයාට මුස්ලිම් ජාතිකයා සමග ප්‍රබල ප්‍රශ්නයක් නොතිබුණේය. සිංහල මිනිහාටත්, මුස්ලිම් මිනිහාටත් ප්‍රශ්නයක් වී තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුදාහල අමානුෂික ප්‍රචණ්ඩත්වයි. යුද්ධය අවසන් වූ දෙදහස් නමය වසර වන තෙක් සිංහල දේශප්‍රේමී බෞද්ධයාට හෝ සිංහල බෞද්ධ බලවේග කිසිවකට මුස්ලිම් ජාතිය හෝ සංවිධාන ප්‍රශ්නයක් වී නොතිබුණේය. හලාල් සහතිකයක් මුල්කර ගනිමින් ඇරඹි මුස්ලිම් විරෝධය... මතවාදය සමාජය තුළ ඉබේ පැන නැගුණු දෙයක් නොව, කිසියම් කණ්ඩායමක් විසින් ගොඩනගන ලද ඒ මතවාදයට අනුව සිංහල සමාජය සංවිධානය කරන යාන්ත්‍රණයකින් යුක්ත වන්නේය. බොදුබල සංවිධානය කියා දෙයක් නොවන්නට මුස්ලිම් විරෝධී හැඟීම් සිංහලයන් තුළ ඇති නොවන්නට ඉඩ නොතිබුණි. දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ. අලුත්ගමදීත්, බේරුවලදීත් එහි උච්චතම ප්‍රතිඵලය අපි අත්වින්දෙමු. දැන් දෙපිරිසම එකිනෙකාට අන්තවාදය නියෝජනය කරනවා යැයි කියාචෝදනා කර ගනියි. මුල්ම ගල් පාර ආවේ මුස්ලිම් පැත්තෙන් යැයි කියති. ගල්පාර කොහෙන් ආවත් ඇවිලීමට නියමිතව තිබූ අමානුෂික මරි මෝඩගොන් තකතීරු ජාතිවාදී අමන පහරදීම්, මරාදැමීම්, ගිනිතැබීම් ආරම්භ වී තිබේ. උන්මන්තක ජාතිවාදී සිංහල බෞද්ධයාගෙනුත්, මුස්ලිම් අන්තවාදීයාගෙනුත් ඇසීමට මට ප්‍රශ්නයක් තිබේ.
ජීවිත කාලය පුරා හරිහම්බ කර ගත් ගෙවල් දොරවල්, යාන-වාහන, ව්‍යාපාරික ස්ථාන වලට ගිනිතබා හය හතර නොතේරෙන කිරිසප්පයින්ට කොන්ක්‍රීට් ගල් පහරවල් එල්ල කර කපා කොටා ඔබ ලැබූ විමුක්තිය කුමක්ද? ඔබ ලැබූ ආශ්වාදය කුමක්ද? මුස්ලිම් ජාතිකයන්ට පහරදීමෙන්, මරා දැමීමෙන්, ගිනිබත් කිරීමෙන් සිංහල ජාතියේ ජීවන තත්ත්වය උසස් වනවාද? පඩිය වැඩි වෙනවාද? බඩුමිල අඩු වෙනවාද? අවංක සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පාලනයක් ලැබෙනවාද? නැත, ජාතිවාදී සිංහලයාට ලැබෙන බම්ඹුවක් නැත. ලැබෙන එකම දේ වන්නේ බොරු ප්‍රෝඩාවෙන් පපුව පුම්බා ගත හැකි දේශප්‍රේමී බයිලා කතා පමණි.
දුර්ජන, අසත්පුරුෂ ජන නායක පාලකයන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමට පාවිච්චි කරන දේශප්‍රේමය, ජාතිවාදය, ආගම්වාදය ඇඟට ගත් මෝඩ, මී හරක් රැළ ජන සමාජයම විනාශ කරමින් සිටින්නෝය... දේශප්‍රේමයෙන් හා ජාතිවාදයෙන් චූන් වන මේ අමන රැළ දුර්ජන පාලකයන්ට කතිරය ගසා දැන් නිකන් සිටින්නේද නැත...කැති, පොරෝ, මන්න, කඩු, තුවක්කු ගෙන පිස්සු බල්ලන් සේ හැසිරෙයි.
ෆේස්බුක් පිටුවල ජාතිවාදී උන්මන්තකයන්ගේ ප්‍රතිචාර දකින විට සුළු ජාතීන්ට ලංකාවේ ජීවත්වීමටත් බය හිතෙන්නෝය. මේ උන්මන්තකයෝ ජාතිවාදී වස ශරීර ගත කරගෙන සිටිති. මානුෂිකත්වයෙන් තොර වී සිටිති... ඕනෑම ජාතියක මිනිසෙකු මානව වාදීන් මිස ජාතිවාදීන් නොවිය යුතුය. ජාතිවාදයෙන් ලැබෙන අවසන් ප්‍රතිඵලය විනාශය මිස වෙන කිසිවක් නොවේ.
1983 අවුරුද්ද මට සිහිනයක් මෙන් මතකය. එදවස මා තුන් හැවිරිදි වියේ පසුවූ ළදරුවෙකි. ජූලි කලබල ඇති වූ දින මම අපේ පුංචි කෙනෙකු සමග භූමිතෙල් බෝතලයක් ගේන්නට කඩයට යන අතර තුර කහපාට විශාල ටිපරයක නැගුණ මැරයෝ පිරිසක් ‍හෙල්මට් දමාගෙන අතේ පොලු මුගුරු සහිතව පරණ පාරේ යමින් සිටියෝය. පුංචි මගේ අතින් අල්ලා ගෙන දුවගෙන යනු දුටු ඒ මැරයෝ “බය වෙන්න එපා නංගී, අපි සිංහල මිනිස්සුන්ට මොනවත් කරන්නේ නෑ* කියා කීවෝය. මමත්, පුංචිත් දෙමළ වූවානම් අද අප ජීවිතුන් අතරද නැති බව මා වටහා ගත්තේ වැඩිවියට පත් වූ පසුවයි. පන්නිපිටියෙන් පටන් ගන්නා පරණ පාර හයිලෙවල් පාරට සම්බන්ධ වන තෙක් පැවති දුරෙහි නිවාස කිහිපයක් එකල කඩා බිඳ විනාශ කර දමා තිබූ සැටි මට හොඳට මතකය. අම්මාගේ අතේ එල්ලී පරණ පාර දිගේ පන්නිපිටිය යන අතර තුර මේ විනාශකර දමා තිබෙන නිවෙස් දකින මම “ඇයි අම්මේ ඒ ගෙවල් කඩා තිබෙන්නේ* කියා අසමි. “ඒ දෙමළ මිනිස්සුන්ගේ ගෙවල්* කියා අම්මා දුකෙන් කී සැටි මට අද මෙන් මතකය. අසූ තුන අවුරුද්දේ නොවැම්බර් මස නංගී ඉපදෙන විට ඇගේ නළලේ හරි මැද්දට වන්නට රතුපාට පැල්ලමක් තිබුණාය. පසු කලෙක අම්මා පැවසූවේ අසූතුනේ ජූලි කලබල ඇති වූ දිනෙක මහරගමට ගොස් සිටියදී නළලට කඩු පහරක් එල්ල කරන ලද දෙමළ ජාතිකයෙක් ලේ පෙරාගෙන අම්මා ඉදිරියට දුවගෙන ආ බවයි... අම්මාගේ සිතේ දැඩිව රැඳුණු ඒ ලේ දහරාව නංගීගේ නළලේ සටහන් වී තිබුණ බව ඇය පවසන්නීය.
අසූතුනේ ජූලි කලබල පැවති කාලයේ මානුෂික හැඟීමෙන් යුතු සිංහල බෞද්ධයෝ හැකි තරම් දෙමළ ජාතික මිතුරන්ව ආරක්ෂා කළෝය. තමන්ගේ නිවෙස් වන රඳවාගෙන ආරක්ෂාව ලබා දුන්නේය. මම දන්න හඳුනන ඥාතිවරියක් ඇය සමග එකට සේවය කළ දෙමළ ජාතික මිතුරියක් ආරක්ෂාව පතා තමන්ගේ නිවසට රැගෙන ආවාය. ඇයගේ නම පුෂ්පාය. පුෂ්පා වසර ගණනාවක් යනතුරු පවුලේ එකියකසේ ඥාතිවරියගේ නිවසේ ජීවත් වුණාය. ඇගේ ද්‍රවිඩ මුහුණත් මට හොඳ හැටි මතකය.
අසූතුන අවුරුද්දේ ඇති වූ ජාතිවාදී ගැටුමෙන් පසු උතුරේ ආරම්භ වූ කොටි සංවිධානයට එරෙහිව සටනට ගිය මුල්ම හමුදා සාමාජිකයන් අතර මගේ පියාද සිටියේය. තාත්තා කොටි සමග යුද වදිද්දී නිවසට වී සිටි අම්මා තාත්තා ගැන සිතමින් අඬන සැටි මම අනන්තවත් දැක ඇත්තෙමි. තාත්තා සටන් බිමේ සිට එවූ කෙටි ලිපියක් මම මෑතක් වනතුරු පරිස්සම් කරගෙන සිටියෙමි. එම ලිපියේ සටහන්ව තිබුණේ  කොයි මොහොතක හරි මම මැරෙන්න පුළුවන්, ළමයි දෙන්නට හොඳට උගන්වන්න කියාය.
කුඩා කළ මට සිතුනේ ද තාත්තා යුද්ධයෙන් කොයි මොහොතක හෝ මැරෙණු ඇතැයි කියායි. ඒ වේදනා සහගත සිතුවිල්ල ළමා වියේ සිටි මා අප්‍රමාණව වේදනාවට පත් කළේය. යාපනයේ සිට නිවාඩුවට ගෙදර පැමිණෙන තාත්තා කරේ එල්ලාගෙන ආ ලොකු බෑගලයට ඇඳුම් දමන විට තාත්තාගේ නිවාඩු ඉවර වී ඇති බව මට වැටහෙන්නේය. තාත්තා අප හැර දමා යන දුකට ප්‍රසිද්ධියේ නොහඬන මා රහසින් හඬා වැලපෙන්නේය. දුවගෙන ගොස් බොරුවට බිම වැටී මිබ වැටුණු වේදනාවට හඬන බව පෙන්වමින් තාත්තා ගැන සිතමින් අඬන්නේය. එකල පාසලේදීත් මට විශේෂ අනුකම්පාවක් හිමි වුණේ තාත්තා කොටි සමග යුද කළ නිසාය.
යුද්ධයෙන් තාත්තාගේ ජීවිතය අහිමි නොවූවද, යුද්ධය නිසා දරුවන් දහස් ගණනකට පියවරුද, බිරින්දෑවරු දහස් ගණනකට ස්වාමි පුරුෂයින්ද, දෙමාපියන්ට තමන්ගේ පුතුන්ද අහිමි වුණෝය. දැන් අපි ඒකීය රටක් ලැබීමේ ආශ්වාදය විඳිමින් ජීවත්වන්නෙමු. මියගිය රණවිරුවන් සිහිකරන්නෙමු. සියලු සමාජ අසාධාරණත්වය විඳිමින් රාජ්‍ය දේපොළ හොරා කන්ට මැරයන්ට, චණ්ඩින්ට, දූෂිතයන්ට කතිරය ගසමින් නෙබෙදුන ඒකීය රටක ජීවත්වීමේ සුවය හොඳ හැටි ලබන්නෙමු.
යුද ජය අපට ලබා දී තිබෙන දෙයට වඩා අහිමිකර දී තිබෙන ප්‍රමාණය විශාලය. නැවත අපට යුද්ධයක් අවශ්‍ය නොවේ. ජාතිවාදී උන්මන්තකයන් ජාතික වීරයන් වීමේ වලිප්පුව සාදා ගෙන නැටුවාට අපට කම් නැත. මේ ව්‍යාජ නළුවන්ගේ දේශප්‍රේමි පම්පෝරි කතා ආසා කඩු පොලු අතට ගන්නා පච මෝඩයකු නොවී සිටීමට ඔබට පුළුවන් විය යුතුය. සැබෑ අරගලය අන්‍ය ජාතිකයාට පහර දීම නොවේ. සැබෑ අරගලය වන්නේ ජාති භේදයෙන් තොරව අපි සියලු ජාතීන් පීඩාවට පත් කරන, මේ ක්‍රමයට සමාජ අසාධාරණයට එරෙහිව අරගල කිරීමයි. එසේ නොහැකි නම් කා බී තමන්ගේ වැඩක් බලාගෙන ගෙදරට වී නිදා ගැනීම යහපත් වන්නේය.

No comments:

Post a Comment