Friday, February 12, 2016

හැබෑ මූණ පෙන්නන කිසිම මිනිහෙකුට ශිෂ්ටාචාරය තුළ පැවැත්මක් නෑ





අපි හැම වෙලාවෙම ව්‍යාජයක් එහෙම නැත්නම් බොරුවක් නඩත්තු කරන්න සෑහෙන්න මහන්සි වෙනවා. අපේ ඇත්ත ආශාව වෙනුවට බොරු ආශාවක් සමාජයට පෙන්වමින් ජීවත් වෙනවා. බුද්ධිමතා හැම වෙලාවෙම තමන්ගේ බුද්ධිමත් බව පෙන්නන්න පුදුම වෙහෙසක් දරනවා. සම්භාව්‍ය නාට්‍යකාරයෝ, කලාකාරයෝ තමන්ගේ සම්භාව්‍ය බව පෙන්නන්න මොනතරම දේවල් කරනවද?.
මම දන්න මගේ යාළු මිත්‍ර‘යෝ ඉන්නව එයාලා ෆේස් බුක් එකේ ශෙයා(ර්) කරන්නේ දාර්ශනික දේවල් විතරයි. හැබැයි ඇත්ත ඊට වඩා වෙනස් ෆේස් බුක් එකේ ඉන්න ලස්සන ස්ත්‍රී රූප දිහා බලනවා. වීඩියෝ බලනවා. හැබැයි ඒවා ශෙයා(ර්) කරන්නේ නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. ඒක තමන් මවාගෙන ඉන්න දාර්ශනික වෙස්මූණට හානියක් කියලා එයාලා දන්නවා. අවිඥානික ආශාව නියෝජනය නොකරණ දේවල් තමයි ශෙයා(ර්) කරන්නේ. හැබැයි තමන්ගේ ඇත්ත නමින් නැති ව්‍යාජ නම්වලින් තියන ෆේස්බුක් පිටු අවිඥානික ආශාව පෙන්නනවා. වැඩිපුරම කාමය තියෙන්නේ ඒ පිටුවල හැබෑ නමින් ඉන්නේ උපාසකයෝ නම් බොරු නමින් ඉන්නේ වනචරයෙක්. බොරු නමින් ඉන්න වනචරයා අපිට කවදාවත් මුණ ගැහෙන්නෙ නෑ. අපිට හම්බ වෙන්නේ උපාසකයෝ දාර්ශනිකයෝ, උගත්තු, බුද්ධිමත්තු විතරයි. ඔබගේ පෙම්වතා, පෙම්වතිය, බිරිඳ, සැමියා, හොර නම්වලින් පෙනී සිටින අය විය නොහැකිද, සමාජයට පෙන්වන වෙස්මූණ යට තව වෙස්මූණු තියෙනවා. සැබෑ මුහුණ වෙස්මූණක් වෙලා තියෙනවා. මම වෙස්මූණක් දාගෙන ඔබව රවට්ටනවා. ඔබ වෙස්මූණක් දාගෙන මාව රවට්ටනවා. මම හිතනවා ඔබ රැවටුනා කියලා. ඔබ හිතනවා මම රැවටුණා කියලා. අනිත්මේදී නොරැවටිලා තියෙන්නේ රැවටීම විතරයි. මේක වෙස්මූණු ශිෂ්ටාචාරයක් වෙස් මූණු නැතුව අපිට පවතින්න බෑ. සමාජ සම්බන්ධතා පවත්වා ගන්න බෑ. අනෙකා මගෙන් වෙස්මූණක් ඉල්ලා සිටිනවා. හොඳ වෙස්මූණ දාගන්න, ප්‍රේමණීය වෙස් මූණ දාගන්න, පෞරුෂය පෙන්නන්න වෙස්මූණ දාගන්න, ආඩම්බරකම, හැදියාව, දේශප්‍රේමය, ඔය හැම දේටම හරියන වෙස් මුණ අපි ගාව තියෙනවා. හැබෑ මූණ පෙන්නන කිසිම මිනිහෙකුට ශිෂ්ටාචාරය තුළ පැවැත්මක් නෑ. වෙස්මූණක් දාගන්න බිරිඳක්, සැමියෙක්, පෙම්වතෙක්, පෙම්වතියක්, හාමුදුරුනමක්, ගුරුවරයෝ, දේශපාලඥයෝ, මවක්, පියෙක් අපි ඉදිරියේ ඉන්නවා. වෙස්මූණ අයින් කළොත් මේ සියලු භූමිකාවන් ඉවරෙට ඉවරයි. මම කියන්නේ වෙස්මූණ ගලවලා ජීවත් වෙන්න කියලා නෙමෙයි ව්‍යාජයක් ඇත්ත කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා කියලා. අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ ඇත්ත ආශාව නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. එහෙම උනාම ඇත්තටම ආදරය කරනවා කියලා දෙයක් නැතුව යනවා. ඇත්තටම කියලා දෙයක් නැති උනාම එතන බොරුව ඉතුරු වෙනවද, ඇත්තටම කියලා දෙයක් නැති උනාම බොරුවට කියලා දෙයකුත් නැතුව යනවා. කිසිම දෙයක් නැති තැන තිබෙනා දෙය අප නොදන්නා නිසා ඇත්ත හා බොරු පසුපස අප ගමන් කරනවා.

No comments:

Post a Comment