Saturday, February 6, 2016

ටූඩී වෙච්ච ජන සමාජය ත්‍රීඩී කරගන්නේ කොහොමද



ඉස්සර නම් යාළු මිත්‍ර‘යෝ ත්‍රිමානව හම්බවෙනවා. දැන් යාළු මිත්‍ර‘‘යෝ හම්බවෙන්නේ ද්විමානව. ඉස්සර යාළුවන්ට දිග, පළල, ගැඹුර කියන තුනම තිබ්බා. දැන් යාළුවන්ට දිගයි පළලයි තියෙනවා, හැබැයි ගැඹුර නෑ. 3D වෙච්ච යාළුවෝ වෙනුවට ත්‍රීඩී වෙච්ච යාළුවෝ හම්බවෙනවා නම්, කොච්චර හොඳද. ත්‍රීඩී  යාළුවෝ බොක්කෙන්ම යාළුකම වෙනුවෙන් පෙනී ඉන්නවා. එයාලට යාළුකම ගැන ගැඹුරක් තියෙනවා. හැබැයි ස්ටිකර් කාටුන් වගේ වෙච්ච ටූ ඩී යාලුවෝ එහෙම නෑ. එයාලා යාළුකම වෙනුවෙන් බොක්කෙන්ම පෙනී ඉන්නේ නෑ. හරිම අවස්ථාවාදියි, කපටියි, කුහකයි, ප්‍රතිපත්තිගරුක නෑ. සමාජයක් විදිහට අපි හැමෝම වේගයෙන් ගැඹුර අහිමි කරගෙන ටූඩී වෙමින් යනවා.  ගැඹුරක් නැති සමාජයට හරයකුත් නෑ. ඔහේ සැකිලි රූප වගේ පාවෙනවා.
ආදරයෙදි, දේශපාලනයෙදි, කලාවෙදි, ආගම දහමෙදි අපි ත්‍රීඩී නෑ, අපි ඒවයෙදි ටූ ඩී. ආදරය කරන කොට ආදරය වෙනුවෙන් මොනතරම් දේවල් කරවද ? මොනතරම් දේවල් කියනවද? ඒ වුණාට ආදරයේ දී ගැඹුර අහිමි කරගෙන අද පෙම්වතිය හෙට වෙද්දි වෙන කෙනෙකුගේ පෙම්වතිය වෙලා. අර කලින් පෙම්වතාට කිව්ව බොරු ටික ආපහු ඒ විදිහට මේ පෙම්වතාටත් කියනවා. පෙම්වතුනුත් එහෙමයි. එක කොල්ලා එක පාර කෙල්ලෝ තුන් හතර දෙනෙකුට එකම බොරු ටික කිය කිය එකම විදිහට ලව් කරනවා.  කෙල්ලන්ටත් කොල්ලෝ තුන් හතර දෙනෙක් ඉන්නවා. විවාහකයොත් එහෙමයි. අනියම් ප්‍රේම සම්බන්ධතා වැහි වැහැලා. ආදරයේ ගැඹුර අහිමියි. හැඟීම් විරහිත  කාමුක ආදරයක් වෙනුවෙන් රොමැන්ටික් බොරු කියනවා ටූ ඩී ගෑනු මිනිස්සු. ටූ ඩී වෙච්ච එකෙකුට රොමැන්ටික් බොරු කියන එක සිම්පල්. ටූ ඩී ලව් රොමැන්ටික් බොරු. ටූ ඩී සෙක්ස්. ටූ ඩී පොරවල් තමයි රොමැන්ටික් බොරු කියලා ස්ත්‍රීන්ව රවට්ටගෙන කාමරවලට ගිහිල්ලා ටූ ඩී සෙක්ස් කරලා ඒවා ජංගම දුරකථනවල රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට්වලට දාන්නේ. ආදරයට ගැඹුරක් නෑ. සෙක්ස්වලට ගැඹුරක් නෑ. ටූ ඩී වෙච්ච ගෑනියෙක්ට හරි, ටූ ඩී වෙච්ච මිනිහෙක්ට හරි ආදරයෙන්, රාගයෙන් සතුටු වෙන්න පුළුවන් ටූ ඩී වෙච්ච එකෙකුටම විතරයි.
දේශපාලනයේදිත් අපි ත්‍රීඩී නෑ. ගැඹුර පෙන්නේ නෑ. ඕනේ හොරෙක්, දුෂිතයෙක්, පාදඩයෙක්. ඔය මොනවා හරි බෙදුවම, ළමයෙක්  උඩ දලා ඔළුව අතගෑවම ඌට කතිරේ ගහනවා. මතුපිටින් පෙන්නන බොරුවට රැවටෙනවා. එහෙම නැත්නම් ඒ විදිහට රැවටෙන්න ආසවෙනවා. ටූ ඩී දේශපාලඥයෝ බොරුවට දේශප්‍රේමය වෙනුවෙන් තප්පුලනවා. රාජ්‍ය දේපොළ හොරා කනවා. හැබැයි ගැඹුරක් නැති ටූ ඩී මෝඩයට මේවා වැඩක් නෑ. ඇයි ඔහුට ගැඹුරක් නෑනේ. ඒ හින්දා ගැඹුරක් පෙන්නේ නෑ. පෙරේතයෝ, බුහුභූතයෝ හොල්මන් වගේ අන්දමන්ද වෙලාතමයි හැම වෙලාවෙම ඉන්නේ.... බත් පැකට් එකටයි, භාගෙ බෝතලේටයි ඡන්දෙ දෙන්නේ මේ වගේ අන්ද මන්දයෝ තමයි. මේ අන්ද මන්දයෝ ටික ඉන්නකම් කවදාවත් රටක් ගොඩගන්න බෑ. මුන් වගේ අන්ද මන්දයන්ට ගැඹුරක් පෙන්නලා දෙන්නත් බෑ. ඒ හින්දා ජනවාරි අට වැනිදායින් පස්සෙත් අන්ද මන්ද වෙච්ච ටූඩී කාරයන්ට සින්න වෙච්ච රටක් තමයි අපිට ඉතුරු වෙන්නේ...
ආගම දහමෙදිත් ටූඩී, ත්‍රීඩී නෑ. ආගම දහමේ ගැඹුර ටූඩී වෙච්ච එවුන්ට පේන්නේ නෑ. ටූඩී වෙච්ච මෝඩයෝ තමයි බුදුදහම රකින්න පොලු මුගුරු ගල් අරගෙන අන්‍ආගමිකයන්ට ගහන්න යන්නේ. ටූඩී වෙච්ච සංවිධාන තමයි මේවට ජනයා පොළඹවන්නේ. බුදු දහමේ ගැඹුර ගැන අංශු මාත්‍රයකින් හරි දන්න මිනිහෙක් ගල් ගෙඩි අරගෙන යුද්ධ කරන්න වගේ යන්නේ නෑ. බුදු දහමේ ගැඹුර  සම්පූර්ණයෙන්ම අමතක කරලා පිච්ච මල් පූජා, දෙමව්පිය වන්දනා වගේ දේවල් කර කර ටූඩී මිනිස්සුන්ට තවත් ටූඩී කර කර ඉන්නවා. චණ්ඩි බණ, වාචාල බණ, සෙක්ස් බණ කියන්නෙත් ටූඩී වෙච්ච හාමුදුරුවෝ... ගැඹුර කියන උත්තම ගණයේ හාමුදරුවෝ නිහඬයි. උන්වහන්සේලාගේ බණ අහන්න ටූඩී මිනිස්සු පොර කන්නේ නැහැ. ටූඩී මිනිස්සුන්ට ඕනේ ෆන් එකක් ගන්න පුළුවන් බණ ටිකක් අහන්න. බුදු දහමේ ගැඹුර අහිමි කර ගත්තු විකාරයෝ ශාසනෙත් ඉන්නවා. ගිහි සමාජයෙත් ඉන්නවා. මේ විකාරකාරයන්ගෙන් බුදු දහම බේර ගන්න ඕනේ.
කලාවක් ටූඩී වෙලානේ. ගැඹුර අහිමි කලාවක්නේ අපිට තියෙන්නේ. ඉන්දියන් කතා කොරියන් කතාවලට පිස්සු වැටිච්ච අය කොච්චර ඉන්නවද ? ටෙලි නාට්‍යවල දැන් ගැඹුරක්, හරයක් ඇත්තෙම නෑ. චරිත ඔහේ මද පිටින් වැනෙනවා. හැඟීම් නෑ, දෙබස් විතරයි. තොරතෝංචියක් නැතිව කියන දෙබස්වලට, හැඟීමකට ඉඩක් ඇත්තෙම නෑ. කලාකාරයොත් ටූඩී වෙලා. උන් සේරම ආණ්ඩුවට කඩේ යනවා. කිහිප දෙනෙක් ඇරුණම සේරම රජතුමා වන්දනා කරනවා. කීයක් හරි හොයාගන්නවා ඇරුණම සමාජයට මොකද වෙන්නේ..... අපි මේ පාදඩ ක්‍රමයට විරුද්ධව නැගී සිටින්න ඕනේ වගේ අදහස් ඇත්තේම නෑ. මුන් කරන නිර්මාණ වගේම තමයි මුන්ගේ ජීවිතත්; ගැඹුරක් නෑ; හරයක් නෑ; තේරුමක් නෑ.
ටූඩී වෙච්ච ජන සමාජය ත්‍රීඩී කරගන්නේ කොහොමද ?. මටත් වෙලාවකට හිතෙනවා මමත් ටූඩීද කියලා. ත්‍රීඩි ගැන අදහසක් නැති සමාජයක කාලයක් ජීවත් වුණාම දන්නෙම නැතුව ටූඩී වෙනවා.

No comments:

Post a Comment