Saturday, February 6, 2016

තේරුමක් තියන විදිහට තේරුමක් නැති ජීවිතයක් අප ගෙවාදමමින් ඉන්නවා



හැම දෙයක් ගැනම ගැඹුරින් හිතුවොත් තේරුමක් ඇති කිසිවක් නෑ
තේරුමක් තියන විදිහට තේරුමක් නැති ජීවිතයක් අප ගෙවාදමමින් ඉන්නවා. ජීවිතය තුළ මොනතරම් තේරුම් සහගත දේවල් නිර්මාණය කරලා තිබ්බත්, ඒ හැම දෙයක්ම ගැඹුරෙන් හිතුවාම තේරුමක් නැති දේවල් තේරුමක් නැහැ කියලා, තේරුම් අරගෙන ඉන්න දේවල් තේරුම් ඇති වැඩ විදිහට කරන්න සිද්ධ වෙන කොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා.
ඒත් මොනවා කරන්නද? ජීවත් වෙන්න තේරුමක් නැති වැඩ වුණත් තේරුමක් ඇති වැඩ විදිහට කරන්න සිද්ධ වෙනවා. මේ ලිවීමත් එහෙම වැඩක්ද කියලා මට හිතෙනවා. ඒත් මම ලියනවා. මෙච්චර දුරක් කියවගෙන ආව ඔබ මේක කියවනවා. ඕනෙ නම් මේ කියවීම මෙතනින් නවත්තලා දාන්නත් පුළුවන්. හැබැයි මට තව දිගට ඇති වාක්‍ය ගොඩක් ලියන්න වෙනවා. ඉතිං මම තේරුම් ඇති  වාක්‍ය හොයනවා. පණ්ඩිතයෙක් වගෙ පොරක්නෙ මං. ඒ නිසා මොනවා හරි ලියන්නත්  එපැයි. මිනිස්සු අපි ලියන දේ අනුව ලියන්නා පිළිබඳ අර්ථ හදාගන්නවා. ඌ නම් මාක්ස්වාදියෙක්, ආණ්ඩු විරෝධියෙක්, ජාතිවාදියෙක්, සීනිබෝලකාරයෙක්, පිස්සෙක්, පොරක් වෙන්න දඟලන එකෙක්, වලත්තයෙක්, උපාසකයෙක් කියලා විවිධ අර්ථ හදාගන්නවා.
මම නම නැතුව ලියන්නේ මේ ලිවීම ඇතුළේ මට හැංගෙන්න ඕන නිසා. කීපදෙනෙක් ඇරෙන්න මේක කියවන ගොඩක් අය මම කවුද කියලා දන්නේ නෑ. මම කවුද කියලා දැන ගත්තාම තමයි ඔබට මම ගැන අර්ථයක් හැදෙන්නේ. ඊට පස්සේ ඔබ ඒ අර්ථයෙන් තමයි මං දිහා බලන්නේ. දැන් ඔබට භෞතික මම දිහා නොබලා ලියවෙන මම කියවන්න පුළුවන්.
භෞතිකව මම කියන්නේ දිනෙන් දින විනාශය කරා ළං වෙන කුණු වෙන ශරීරයක් අයිති වෙච්ච මිනිහෙක්. ශරීරය විනාශය කරා ළං වෙනවා කියන එක අවබෝධයෙන් බලනකොට තේරෙනවා. හැබැයි අපි ශරීරය දිහා බලන්නේ විනාශ නොවෙන දෙයක් විදිහට හිතාගෙනය. ඒ විනාශය නොපෙන්වන්න. විනාශය මන්දගාමි කරන්න. ලස්සන පෙන්වන්න මොනතරම් දේවල් ශරීරයට කරනවද? හැබැයි ඒ කිසිම දෙයකින් ශරීරය විනාශ වෙන එක නවත්වන්න බෑ. අපි මරණයට නියමිත මිනිස්සු. මේ ශරීරය දර කොටන් වගේ සොහොන්වල පිච්චෙන හැටි මම දැකලා තියෙනවා. ඊට පස්සේ දැවී අළු බවට පත් වෙච්ච නැති අස්ථි කොටස් මුට්ටියකට එකතු කරලත් තියෙනවා.
කිසිම තේරුමක් නැති ජීවිතයක්.... තේරුමක් ඇති විදිහට, අර්ථයක් ඇති විදියට ජීවත් වුණත් අවසානයේ කිසිම තේරුමක් නැති ජීවිතයක් බවට පත්වෙනවා.
මට දැනෙන මේ හිස්බව කිසිවකින් පිරවිය නොහැකියි කියලා මම දන්නවා. ඒත් මම හිනාවෙලා සමාජ සම්බන්ධතා අතරේ ජීවත් වෙනවා. මට රැවටෙන්න එපා... මමත් ඔබට නොරැවටී ඉන්නවා....

No comments:

Post a Comment