Sunday, February 7, 2016

සීරියස් විය යුතු තැන් වල මිනිස්සු කොමඩිවෙති... කොමඩි විය යුතු තැන මිනිස්සු සීරියස් වෙති...



 ඉතුරු සල්ලි දෙනවා
 දුන්නේ?
 රුපියලක් අඩුයිනේ?
 රුපියලක් නෑ මත්තයා මේ බලන්න
 බොරු කියන්න එපා අයිසේ. තමුසෙලා මාරු සල්ලි තියාගන්න එපැයි. අසාධාරණ වැඩ කරන්න එපා. ඔය විදිහට දවසට රුපියල ගාණේ කීයක් ගහනවද?*
 නෑ මහත්තයා... රුපියල අඩුවෙන් ඕනෙ තරම් මිනිස්සුන්ව අපි එක්කගෙන යනවා... ආ මහත්තයා මේ රුපියල් පහ අරගෙන බහින්න*
 මට තමුසෙගෙ රුපියල් පහ වැඩක් නෑ ඕයි... අසාධාරණ වැඩ කරන්න එපා හරිද ?
මගියෙක් රුපියලේ අඩුව වෙනුවෙන් කොන්දොස්තර සමග ඇල්ලූ රණ්ඩුව බසයේ සිටි මම බලාගෙන සිටියෙමි. නිවසට පැමිණ බිරිඳ සමග පැවසුවෙමි. 
 ඒ මිනිහා හරි. ඔය කොන්දොස්තරලා මහ එපා කරපු එවුන්. අසාධාරණය වෙනුවෙන් ඒ මනුස්සයා කට ඇරියා. ඔයා නම් රුපියල් දහයේ ඉතුරු තිබ්බත් ඉල්ල ගන්නෙ නැතුව බස් එකෙන් බහිනවා. ඔය විදිහට හැම මනුස්සයාම කට අරිනවා නම්, කොන්දොස්තරලා ඔය වගේ හොර වැඩ කරන්නෙ නෑ* කියා බිරිඳ කීවාය.
 රුපියලට දෙකට කොන්දොස්තර එක්ක මරා ගන්න අපේ මිනිස්සු, මහා පරිමාණයේ හොරකම් කරන එවුන්ට සර් කියනවා. ඡන්දෙත් දීලා... රට පාලනය කිරීමේ බලයත් දෙනවා. කෝටි ප්‍ර‘කෝටි ගණන් මහජන දේපළ හොරා කන රාජ්‍ය දේපොළ මංකොල්ල කන එවුන්ට විරුද්ධව ඔය රුපියලට මරා ගන්න මිනිස්සු කටක් අරිනවද ? නෑනේ... ඇයි ඒ ?* කියා මම බිරිඳගෙන් ඇසුවෙමි.
 ඔයා කියන්නේ රුපිය හොර කන එක හරි. කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන එක වැරදියි කියලද ?* කියා බිරිඳ මගෙන් ඇසුවාය. &හරි වැරැද්ද ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පොඩි වැරැද්දට ලොකුවට විරුද්ධ වෙන මිනිස්සු ඇයි මේ මහා පරිමාණ වැරදි වලට විරුද්ධ වෙන්නේ නැත්තේ. කොන්දොස්තරගෙන් රුපියල අරගෙන ඔය මිනිහා මොනවා කරන්නද ? රුපියලට කෑගහනන මිනිස්සු මේ අයුක්තිසහගත, අසාධාරණ විදිහට රට පාලනය කරන මහජන දේපොළ හොරාකන එවුන්ට ආයි ඡන්දෙ දෙන්නේ... කොන්දොස්තරට වඩා මුන් හොඳ හින්ද ? මට නම් රුපියල හොරාකන කොන්දොස්තර මේ හැතිකරේට වඩා වටිනවා. කොන්දොස්තර රුපියල ගහලා හවසට ළමයින්ට කන්න දෙයක් ගෙනියනවා ඇති. බුලත් විට කනවා ඇති. සිගරට් බොනවා ඇති. නැත්නම් ඩ්‍රයිවර් එක්ක බෙදා ගෙන ගෙදර ගෙනියනවා ඇති* කියා මම කීවෙමි.
 අනේ නිකං ඉන්න. ඔයා දන්නෙ නෑ ඔය ඩ්‍රැයිවර්ලා, කොන්දොස්තරලා කන-බොන හැටි. උන් හොඳට හම්බ කරනවා. රුපියල ගහගෙන උන් ගෙවල් දොරවල් හදනවා ඇති* කියා බිරිඳ කීවාය.
 අපේ රුපියලෙන් කොන්දොස්තර ළමයා ගෙයක්-දොරක් හදාගන්නවා නම් හොඳයිනේ. මොකද කොන්දොස්තරලා අපේ රුපියලට විදලා පිටරට ඇපල් වතු ගන්නද? සමාගම් කොම්පැණි සල්ලි වලට ගන්නද ? නෑනේ... මේ දේශප්‍රේමී දේශවාමක පාලකයෝ අපේ රුපියලකට විතරද විදින්නේ... බදු ගගහා මොන තරම් මුදලක් එකතු කරගන්නවාද? අනේ ! ඒවාට නම් කවුරුත් විරුද්ධ නෑ. දුවලා ගිහිල්ලා කතිරේ ගහන්නේ* කියා මම කීවෙමි.
 ලොකු හොරු ගැන හිතලා පොඩි හොරා හරියි කියලා කියන්න එපා* කියා බිරිද කීවාය.
 පොඩි හොරා හරියි කියලා කියන්න මට ඕනෙ නෑ. මම කියන්නේ ලොකු හොරාට හොරා කන්න බලය දීලා, පොඩි හොරාට විරුද්ධ වෙන පොදු ජනයා වැරදියි කියලා*
 ඔය තරම් ආණ්ඩුව එක්ක තරහා ආණ්ඩුවේ දේශපාලනඥයෝ ඔයාට මොනව කළාට ද ?* කියා බිරිඳ ඇසුවාය.
 මට මොනවත් කරන්න ඕනෙද ? දේශපාලනඥයෝ වැරදියි කියන්න... හැම මිනිහම තමන්ට මොනවා හරි වුණොත් තමයි විරුද්ධ වෙනිනේ. අනෙකාට මොනවා වුණත් කමක් නෑ... මට මොනවත් උනේ නෑනේ. මේ කාලේ හැම මිනිහම තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටියම ඉවරයිනේ කියන තැන තමයි ඉන්නේ.  මේ තරම් නිෂ්ක්‍රීය වෙච්ච මිනිස්සු ටිකක් ලංකා ඉතිහාසයේම ඉඳලා නැතුව ඇති* කියා මම කීවෙමි.
 හොඳම දේ තමයි මිනිස්සු කරන්නේ... මේ කාලේ නිහඬව ඉන්න එක තමයි හොඳම දේ... මොකද කවුරු බලයට ආවත් මීට වඩා වැඩි දෙයක් වෙන්නෙ නෑ...* කියා බිරිඳ කීවාය.
කවුරු බලයට ආවත් ජනතාව පරාදයි. අපි හම්බ කරගත්තොත් අපිට කියා සිතමින්, සියලු සමාජ අසාධාරණකම් ඉවසමින් සිටින මිනිසා රුපියලේ අසාධාරණය වෙනුවෙන් හඬ නගන්නේය.
මට නම් මෙය මහ හඬින් හිනා විය හැකි කොමඩියකි. එහෙත් රුපියල ඉල්ලා රණ්ඩු වීම සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන සටනක් ලෙස සිතන මිනිසුන්ට මෙය කොමඩියක් නොවන්නේය. ඔවුනට එය සීරියස්ය. සීරියස් විය යුතු තැන් වල මිනිස්සු කොමඩිවෙති. කොමඩි විය යුතු තැන මිනිස්සු සීරියස් වෙති. ඉතිං මෙය කුමන සමාජයක් දැයි මම තවමත් සිතමින් සිටිමි.

No comments:

Post a Comment