Saturday, February 6, 2016

අපි හැමෝම නරක යටපත් කරගත්ත හොඳ මිනිස්සු




මාරු වීම හැමෝටම සතුටක් ගේනවද... සතුටු වෙන්න නම් මාරු වෙන්නම ඕනෙද? කියන ප්‍රශ්නය ශිෂ්ටාචාරයේ ජීවත් වන මනුෂ්‍යයාට තියෙන පොදු ප්‍රශ්නයක්. සමහරු බිරිඳව, පෙම්වතියව, සැමියාව, පෙම්වතාව මාරු කරලා සතුටු වෙනවා. තවත් සමහරු මාරු වුණාම දුක් වෙනවා. තවත් සමහරු ගෙවල්, වාහන, ෆෝන් මාරු කරලා සතුටු වෙනවා. එකම දේ එකම විදිහට පවතින කොට මිනිස්සුන්ට එපා වෙනවා. මිනිස්සු ස්වභාවයෙන්ම මාරුවට කැමතියි. හැබැයි ඒ මාරුව හිතෙන හිතෙන විදිහට කරන්න බෑ. සැමිය හරි, බිරිඳ හරි එපා වුණා කියලා ලේසියෙන් මාරු කරන්න බෑ. නඩු කියලා, වන්දි ගෙවල තමයි මාරු වෙන්න ඕනේ... ඇඳුම් මාරු කරනවා වගේ හැම මාරුවම ලේසි පහසු නෑ. පෙම්වතිය මාරුවෙලා ගියාම පෙම්වතා අඬනවා, වැළපෙනවා, මැරෙනවා. පෙම්වතා මාරුවෙලා ගියාම පෙම්වතියත් එහෙමයි. දෙන්නටම එකම වෙලාවෙදි, %දැන්නම් මාරු කළොත් හොඳයි^ කියලා හිතෙන්නෙ නෑ. ඒත් කෙනෙක්ට දැඩිව ඕන වෙලාවෙදි... ගොඩක් ආදරය කරන වෙලාවෙදි තමයි අනිකට මාරු වෙන්න ඕනෙ කියලා හිතෙන්නේ. ඒ හින්දා මාරුව දරා ගන්න බැරුව සියදිවි නසා ගන්නවා.
අපි ජීවත් වෙනකොට එක දෙයක් තේරුම් ගන්න ඕනෙ. අපි මොනතරම් ආදරෙන් ජීවත් වුණත්, හරිම අනපේක්ෂිත හැඟීමකින් ජීවත් වෙන ජීවී කොට්ඨාසයක් කියන එක. පෙම්වතා හරි, පෙම්වතිය හරි හම්බවෙන පළමු දවස මොනතරම් තෘප්තිමත්ද? හැබැයි ඒ පළමු දවසේ හැඟීම දෙවැනි දවසේ ඉඳන්ම දියවෙලාම යන්න පටන් ගන්නවා. ප්‍රේමය ඇතුළේ... විවාහය ඇතුළේ තෘප්තිය දියවෙවී යනවා. ඊට පස්සේ ලෝක ලැජ්ජාව හින්දා... දරුවෝ හින්දා... පවුල් ජීවිත ගත කරනවා. ආගම, දහම, සංස්කෘතිය, සදාචාරය, නීතිය නොතිබුණා නම් මනුෂ්‍යයාගේ නියම ස්වභාවය එළියට පනිනවා. අපි හැමෝම හොඳ මිනිස්සු නෙමෙයි, නරක යටපත් කරගත්ත හොඳ මිනිස්සු. අපිට හම්බ වෙන්නේ... අපි ගනුදෙනු කරන්නේ නරක හංගගත්ත හොඳ මිනිස්සු කියලා හිතාගෙන ඉන්න මිනිස්සු එක්ක. මගේ නරක මම දන්නවා, ඔබ දන්නෙ නැති වුණාට. මට වෙලාවකට හිතෙනවා මම මාර රඟපෑමක් නේද මේ කරන්නෙ කියලා. අපි පොඩි කලේ ඉඳන් ළමයින්ට උගන්වන්නේ හොඳට රඟපාන හැටි, ජීවිතය කියන්නේ රඟපෑමක් කියලා කියන්නෙ ඒකනේ.
අපි මේ රංගනය අතාරිනවා මැරුණාම. මැරෙණකම් නළු නිළියන්ට වඩා හොඳටම අපි රඟපානවා. මේ දවස්වල පක්ෂ මාරු කරලා දේශපාලකයෝ සතුටු වෙනවා. අපි ඒව බලාගෙන සතුටු වෙනවා... දුක් වෙනවා... වෛර කරනවා... මිනිස්සු තරම් වෙන කිසිම ජීවියෙක් මේ තරම් මාරු වෙන්නෙ නෑ. මාරුව මාරයි කියලා තමයි හිතන්න වෙන්නේ.

No comments:

Post a Comment