Sunday, February 7, 2016

හමුවීම දුකක් නම්, හමුනොවී සිටිය හැකිය. වෙන්වීම දුකක් නම් වෙන්නොවී සිටිය නොහැකියි




ජීවිතයේ සියලු මතකයන් දුක සමග  බැඳී පවතී. මතකයන් අයිති වන්නේ දුකට මිස වෙන කුමකටද? ඊයේ දවස පිළිබඳ මට ඇත්තේ දුකකි. හෙට දවස ගැන මට ඇත්තේ බියකි. ඊයේ මම නොමැරී සිටියෙමි. එහෙත් හෙට දින මට නොමැරී සිටීමට නොපුළුවන. මරණයට පත්විය හැකි ඊයේ දින මම පසුකර දැම්මෙමි. එහෙත් හෙට දින පසුකර  දැමිය හැකි යැයි මට සිතිය නොහැකිය. සෑම මොහොතකම, පැයකම, දිනයකම මරණය මා පසුපස හඹා එයි. ඒ නිසා මා නොමළ ඊයේ දින මතකයට මම ආදරය කරමි.
මරණය බිහිසුණු වේදනාවකි. දුකකි. මරණය නොමැරී සිටීමෙන් ජය ගැනීමට විද්‍යාඥයෝ පරීක්ෂණ කරති. නොමැරෙන මිනිසෙකු නිර්මාණය කර ගැනීමට විද්‍යාඥයෝ උත්සහ කරති. හඳට ගියත්, මේ සක්වළින් එපිට අභ්‍යවකාශයට ගියත් සදාකාලික ජීවිතය පිළිබඳ සහිනය මිනිසා අතහැර දමා නැත. මරණයට ඇති බිය විසින් ඇතිකරන සදාකාලික ජීවිතය පිළිබඳ අදහස, එසේත් නැති නම් මිනිසාගේ පරමායුෂ අවුරුදු දෙතුන් සීයක් හෝ දාහක් දෙදහක් දක්වා වැඩි කිරීමේ අදහසින් කෙරෙන පර්යේෂණ මේ මොහොතේ දියුණු රටවල සිදුවෙයි.
හමුවීම දුකක් නම්, හමුනොවී සිටිය හැකිය. වෙන්වීම දුකක් නම් වෙන්නොවී සිටිය නොහැකියි. හමුවූ සියල්ලෝම නියත වශයෙන්ම වෙන්වී යති. වෙන්වී නොයන කිසිවෙකුත් නැත. ප්‍රේමයෙන් වෙන්වීම දුකක් නම්, වරණයෙන් වෙන්වීම ඊටත් වඩා දුකකි. දුක පැමිණෙන්නේ කුමක් සමග දැයි කියා මම සිතුවෙමි. දුක්වන්නටත්, දුක පිළිබඳ සිතීමටත් දැනුමක් හා බුද්ධියක් අවශ්‍යය. දුකේ පරිමාව බුද්ධියෙ හා සිතුවිලිවල පරිමාව අනුව රැඳී තිබෙයි. ප්‍රේමයෙන් වෙන්වීමේ දුක මතකය සමග බැඳී තිබෙයි. මතකයන් අවනත කර දැමිය හැකිනම් ප්‍රේමයෙන් වෙන්වීමේ දුකක් තිබේද? පෙම්වතා හෝ පෙම්වතිය සමග ගතකළ ඊයේ දිනය හා ඒ මතකය ඔබට තිබේ. එහි වෙන්වීමක් නැති නම්, ඊයේ දින මතකය හෙට දින මෙන් බියක් නැති වෙනස් නොවන නිශ්චිත මතකයකි. ඉතිං ඇයි මම බයක් නැති වෙනස් වෙන්නෙ නැති අතීතයට  ආදරය නොකරන්නේ, අතීතය අනාගතය වගේ අවිනිශ්චිත නෑ. අනාගතය වෙන්වීමට මරණය එනතෙක් බලාගෙන ඉන්නවා. අතීතය එහෙම නෑ. හරියම සුන්දර මතකයත් ගල් කරගෙන... නිශ්චිත කරගෙන... ස්ථීර කරගෙන... ඉන්නවා. මොන තරම් සුන්දරද?
මම ඊයේ දවස ගැන අද කතා කරන්නේ අවුරුදු ගාණක අතීතයක් සිහිපත්කරන මිහිහෙක් වගේ. ඊයේ මම ඔයාට පේර ගෙඩියක් කඩලා දුන්නා. ඊයේ අපි දෙන්නා එකට ඉව්වා. ඊයේ අපි චිත්‍රපටියක් බැලුවා. මම දන්නවා ඊයේ ගැන. ඉතිං මම නොදන්න අනාගතයක් ගැන සතුටු වෙනවට වඩා, දන්න අතීතය ගැන සිතමින් සතුටු වෙනවා. බිරිඳ හැම වෙලාවෙම අනාගතය ගැන හිතනවා. එයා ඉන්නෙ අනාගතයේ. එයා හෙට ගැන හීන දකිනවා. මම ඉන්නෙ අතීතයේ. මම ඊයෙ ගැන හීන දකිනවා. ඊයේ අපි හිටියෙ ආදරයෙන්. ඒත් හෙට අපිට ආදරයෙන් ඉන්න පුළුවන් වෙයිද? අනාගතය මට ඇති කරන්නෙම බිහිසුණු හැඟීමක්. ශුන්‍ය හැඟීමක්... වෙන්වීමට නියමිත අනාගතයට වඩා වෙන්වී සිටින
අතීතය සුන්දර නැද්ද? මම එහෙම කියනවා. වර්තමානය තමයි අතීතයට අයිති වෙන්නෙ. අනාගතය ලස්සන වුණොත් තමයි අතීතය ලස්සන වෙන්නෙ. ඔයාට අනාගතය ලස්සන කරගන්න කිසිම උවමනාවක් නෑ. අඩුගානේ තමන්ගේ ලෙඩදුක් ගැනවත් හිතලා ඔයා පරිස්සම් වෙන්නෙ නෑ. බිරිඳ හැමවෙලාවෙම ඔහොම කියනො. බිරිඳ කියන්නෙ භෞතික ලස්සනයක් ගැන, භෞතික නිරෝගිකමක් ගැන. මම කියන්නෙ වෙන දෙයක් ගැන. ඒක අධ්‍යාත්මික නොවුණට භෞතික නෑ. ඒක මොකක්ද කියලා කියන්න මට තේරෙන්නෙත් නෑ. හැබැයි මොකක්දෝ ලොකු වේදනාවක් හිතේ තියෙනවා. ලොකු දුකක් හිතේ තියෙනවා. යමක් අහිමිවීම, නැතිවීම පිළිබඳ දුක. ඒක දැනුමක්ද ? ඒක බුද්ධිය සමග බැඳිලා තියන දෙයක්ද? දුකක් බැඳෙන්නෙ අදහස් එක්ක. දැනුම එක්ක. බුද්ධිය එක්ක. මනුෂ්‍ය දුක සංකල්පයක් කරගෙන දුකට භාෂාවෙන් අර්ථයක් හදාගෙන, දුකට චින්තනයක් තියෙනවා. හරියට හිතුවොත් දුක කියන්නෙ ජීවිතය අවබෝධයට පත්කරන දර්ශනයක් තමයි. චතුරාර්යසත්‍ය‘යෙන් පළවෙනි සත්‍ය තමයි දුක පිළිබඳ සත්‍ය.
දුකෙන් මිදීමට නම් දුක හඳුනාගන්න ඕනෙ. එතකොට නිර්වානයට පත්වීමට දුක පිළිබඳ අවබෝධය අවශ්‍යයි. දුක විමුක්තිය ලබාගැනීමේ දාර්ශනික සත්‍යයක්. සමාජවාදී රාජ්‍යයක් තුළ කම්කරු ජනයා විඳින දුක් පීඩාවන්ට විරුද්ධ අරගලයක් තමයි සමාජවාදය තුළ තිබෙන්නෙ. අධ්‍යාත්මික විමුක්තියටත්, සමාජීය විමුක්තියටත් පදනමක් වැටෙන්නේ දුක මුල්කරගෙන. හැබැයි බුදු දහමේ ඉගැන්වෙන දුක පිළිබඳ සත්‍ය සමාජවාදී සමාජයක් තුළ නැති වෙන්නෙ නෑ. බුදු දහමේ දුක පිළිබඳ සත්‍ය දෙවිවරුන්ටත්, බ්‍රහ්මයන්ටත්, ප්‍රේතයන්ටත්, මනුෂ්‍යයන්ටත් අදාළයි. සමාජ තන්ත්‍රයේ වෙනසකින් ඒ දුක නැති වෙන්නෙ නෑ. මොකද බුදු දහමට අනුව ඉපදීමත් දුකක්. මේ දුක පිළිබඳ චින්තනය, දර්ශනය, සමාජ පෙරළිය මිනිසුන්ගේ භාෂාමය සංකල්ප මගින් ප්‍රකාශ වන  දෙයක්. ඒකයි මිනිස්සුන්ට තරම් සතුන්ට දුකක් නැත්තේ. සතුන්ගේ දුක ස්වභාදහම සමගම බැඳිලා තියෙනවා. සතුන්ගේ දුක අභාවයන් මිසක් විශේෂයන් නෙවෙයි. මිනිස්සුන්ගේ දුක විශේෂයයි. නිර්මාණශීලීයි. සතුන් වෙනුවෙනුත් දුක් වෙන්නේ මිනිස්සුම තමයි. හරක් මරන්න එපා කියලා හරක් පිටකොටුවට ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නෙ නෑ. හරකගේ ජීවිතය වෙනුවෙන් දුක් වෙන්නේ මිනිස්සු. ඒ කියන්නේ සත්ත්ව හිංසනය පිළිබඳ අදහස තියෙන්නේ මිනිස්සුන්ට. සතුන්ට එහෙම අදහසක්... සංකල්පයක් නෑ. කැලෑවෙදි කොටියෙක්, මුවෙක් මරාගත්තම ඒ දිහා බලාගෙන ඉන්න හාවා කියන්නෙ නෑ කොටියා පාපකර්මයක් කරගත්තා කියලා. ප්‍රාණඝාතය අකුසල් කර්මයක්, මුවා මරපු හින්ද කොටියා අපායට යනව කියලා කවුරුත් කියන්නෙ නෑ. හැබැයි මිනිහෙක් සතෙක් මැරුවොත් තව මිනිහෙක් කියනවා ඔයා කළේ පව් වැඩක් කියලා.
ඇයි ඒ පව්-පින්, හොඳ-නරක කියන සංකල්ප මිනිස්සුන්ට හදලා දීලා තියෙන්නෙ. ඒ හින්ද සතුන්ට දුක ඇති වෙන්න ලොකු මතකයන්... සංකල්ප නෑ. මිනිස් ඇසුරෙ ඉන්න බල්ලෝ, පූසෝ ඇයි තමන්ගේ ස්වාමියා මැරුණම නොකානොබී දුකෙන් ඉන්නව කියලා මිනිස්සු කියන්නෙ. එහෙම සතුන් ගැන සංවේදී කතා තියෙනො. හැබැයි පොදුවේ එහෙම තත්ත්වයක් සතුන් අතර නෑ. තමන්ගේ සහකාරයා  හරි, සහකාරිය හරි දාල ගියා කියලා සත්තු සියදිවි නසා ගන්නෙ නෑ. අපි අහලවත් තියෙනවද බැල්ලි බල්ලව දාල ගිහින් කියලා. බල්ලා ගඟේ පැනලා මැරුන කියලා. කපුට කපුටිව දාල ගියා කියලා. කපුටි ගහෙන් බිමිට පැනලා මැරෙනවා. කාට හරි කියන්න පුළුවන් එහෙම මැරුණත් අපි දන්නේ නෑනෙ කියලා. අපි දන්නේ මානව භාෂාවෙන් ලෝකය විග්‍රහ කරගෙන කියන විදියට අපේ සිතුවිලිවලින් ලෝකය දිහා බලන්න. සතුන්ගේ දුක අපේ දුක නොවෙනන්න පුළුවන්. සතුන්ගේ දුක හඳුනගන්න නම්, සතෙක්වෙලා ආපසු මිනිහෙක් වෙන්න ඕනෙ. නැත්නම් මිනිස්සුන්ගේ විද්‍යාවෙන් සත්තු ගැන කියන දේ පිළිගන්න ඕනෙ.
කොහොම හරි කමක් නෑ. මම කියන්නෙ මිනිස්සුන්ට වගේ සත්තුන්ට දුක පිළිබඳ ලොකු අදහසක් නෑ කියලා. දුක පිළිබඳ ආගමික අදහසකින්, දුක පිළිබඳ දේශපාලන අදහසකින්, දුක පිළිබඳ සංස්කෘතිමය අදහසකින් තමයි අපි දුක දිහා බලන්නෙ. දුක විග්‍රහකර කරන්නෙ, දුක විඳින්නෙ දුකින් මිදෙන්න.
දුක විදීමක් හා සිතීමක්. විදින දුක සිතීම හරහා තමයි සංකල්ප ගොඩනැගෙන්නේ. ඉපදීමත් දුකක් වුණේ විදීම සිතීම ඔස්සේ සංකල්ප ගතකරපු හින්දා. විදින දුක ගැන සිතීම හා සංකල්ප නැතිකර ගත්තොත් දුක පිළිබඳ අදහසක් නැතුව යනවා. බුදු හාමුදුරුවෝ දුක ගැන හිතුවා. තෘෂ්ණාව නිසා මිනිස්සු මැරි මැරී ඉපිද දුකට පත්වෙනව කිව්වා. දුකෙන් මිදෙන මාර්ගය පෙන්නුවා. විඳින දුක අදහසක්, සංකල්පයක්, දර්ශනයක්, ආගමික චින්තනයක් විදිහට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ නොකළ නම්, ගෞතම බුදුන්වහන්සේ කෙනෙක් නෑ. සමාජ විකාශය පිළිබඳව කාල්මාක්ස් ගෙනාපු භෞතිකවාදී ඉතිහාසය ප්‍රාග් කොමියුනිට්ස් සමාජයේ ඉඳන් කොමියුනිට්ස් සමාජය දක්වා විකාශනය වෙන හැටි විද්‍යාත්මක පහදාදීමකින් නොපෙන්නුව  නම්, කාල්මාක්ස් කෙනෙක් නෑ.  වහල්, වඩවසම්, ධනවාදී සමාජවල පීඩිතයාගේ ශ්‍රමය සූරාගන්නා හැටි,  පීඩාවට පත්වෙන හැටි, ඒ කියන්නේ දුකට පත්වෙන හැටි, සමාජවාදී වහලා තමන් විඳින දුක දුකක් විදිහට හඳුනගෙන නොහිටියා වෙන්න පුළුවන්. වහලාට තමන් විඳින දුක ගැන අදහසක්, සංකල්පයක් කවුරු හරි දෙන්න ඕනේ. නැත්නම් සත්තු වගේ ස්භාවය තුළ ඔහේ ඉන්න පුළුවන්. මේ ධනවාදී සමාජය ඇතුළේ පීඩිත පංතියේ මිනිස්සු දුකක් විඳින්නේ කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ දුක පිළිබඳ අදහස ඉබේ පහළ වෙන්නෙ නෑ. ඒ අදහස දෙන්න ඕනෙ. සමහරුන්ට නම් දුක පිළිබඳ අදහස දුන්නත් බාර ගන්න කැමති නෑ. මේ අපි ලබාඋපන් හැටි කියලා දුක් විඳ විඳ ඉන්නවා. එක්කෝ දුක පිළිබඳව ආගමික පැත්තෙන් අවබෝධයට ළං වෙන්න ඕනෙ. නැත්නම් දුක නැති කර ගැනීමේ දේශපාලනික ක්‍රියාවලියකට උදව් වෙන්න ඕනෙ. පීඩිත පංතියේ මිනිස්සු මේ දෙකම කරන්නෙ නෑ. දෙවියන්ගෙන් සැප සම්පත් ඉල්ල ඉල්ලා ධනවාදී පාලකයන්ටම කතිරේ ගග හා දුක් විඳ විඳ ඉන්නවා. එක්කෝ දුක පිළිබඳව ආගමික අවබෝධයට ළං වෙන්න. එහෙමත් නැත්නම් මේ ධනවාදී පාලකයෝ පන්නන්න ඡන්දය දෙන්න. ඔබ ඔය දෙකම නොකර තව දුරටත් පීඩනයෙන්, දුකෙන්, තරහෙන් ඉන්න එක තේරුමක් නෑ. දුක පිළිබඳ ආගමික අදහස අවබෝධ කරගන්න අමාරු වුණත්, දුක නැති කිරීමේ දේශපාලනික අදහස නම් තේරුම් ගැනීම අමුරු නෑ. ඔබ ආර්ථික වශයෙන් දුක් විඳින්නේ ඔබේම වරදක් හින්ද නෙමෙයි. ඔබට මාසයක් ජීවත් වෙන්න පුළුවන් සාධාරණ වැටුපක් නොලැබෙන්නේ මම ගිය ආත්මේ කරපු පවක් හින්දා නෙමෙයි. රටේ නීතිය, යහ පාලනය නැති වෙන්නේ පාලකයන්ගේ වරදින් මිසක්, ඔබේ වරදින් නෙමෙයි. ඔබ කරන එකම වරද තමයි මේ සියලු වැරදි වලට හේතුවන පාලකයන්ට ඡන්දෙ දෙන එක. තමන්ව දුකට පත්කරන පාලකයන්ට කතිරේ ගහන්නේ ඇයි. ඔබ තවදුරටත් දුක් විඳින්න කැමති හින්දද?
දුකින් මිදීමේ අදහසක් ඔබ තෝරාගන්න. ඒ සියල්ල ඔබගේ බුද්ධිය සමග තිබෙන ගනුදෙනුවක්. දුක ගැන මම මට හිතෙන අදහස ලිව්වා. දේශපාලනිකව නම් සමාජවාදය නැතත් මේ පාලනය ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියන අදහසේ මම දැඩිව ඉන්නවා. හැබැයි දුක පිළිබඳ අධ්‍යාත්මික අවබෝධයට ළං වෙන්න තරම් මගේ මනස, බුද්ධිය විශාල නෑ.
දුක පිළිබඳ අවබෝධය දුක පිළිබඳ අවබෝධයටත් අයිති නෑ. දුක පිළිබඳ සත්‍ය අධ්‍යාත්මිකව අවබෝධ කර ගැනීම, දැනුම ලෙස පැමිණෙන දහම් කරුණු වලට වඩා එහාගිය දෙයක්. ඒක දැනුමෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ගැඹුරින් සිතා කළ යුතු දෙයක්. වැසිකිළි වළේ අසූචි නමින් ජීවත් වෙන පණුවන්සේ අයිති මේ නරාවළේ වැටී එහිම ජරාව නමින් ජීවත් වෙන්නෝ අපි වෙමු.  ගැඹුරු සිතීම්වලට මේ නරාවළේ ඉඩ නැහැ. ජීවිතය පවත්වා ගැනීමට අඹුදරුවන් නඩත්තු කිරීමට මොනව හෝ කරමින් අපි සිටිමු. මොනව හෝ ලියමින් සිටිමු. මේ මොහොතේ මගේ ජීවිතය අඳුරු වැසිකිළිවලට වැටුණු පණුවෙකුට සමානයි.

No comments:

Post a Comment