Sunday, February 7, 2016

ලෝකේ ලස්සනම ගැහැනියගේ ශරීරය පලලා එහි අභ්‍යන්තරය පෙන්නුවත් අපි හෙට ඉඳන් ආපහු වෙන ලස්සන ගැහුනුන්ගේ ශරීර වලට ආදරය කරනවා

එකම ශරීරය සිතීමේ වෙනසට ඉඩ දෙන හැටි හරිම පුදුමයි නේද?

ලිවීම ගැන අදහසක් නැතුව ලියන්න වාඩිවෙලා මොනවද ලියන්නේ කියලා හිත හිතා ඉන්න කොට දන්නෙම නැතුව මොනවද ලියන්නේ කියලා හිත හිතා ඉන්න එක ගැන ලියවෙන්න පටන් ගත්තා. ඒ ලිවීම තමයි අච්චු අකුරු විදිහට ඔබ දැන් කියවන්නේ.
ඇයි ඔබ  මේ විදිහට මම ලියන වාක්‍ය කියවගෙන එන්නේ... එපා වුණොත් මගදී නතර කරලා දාන්න පුළුවන්. නැත්නම් ඉවර වෙනකම් කියවන්න පුළුවන්... මම හිතනවා ඔබ තාම කියනවා කියලා... ඔබට ඕනෙ කියවීම ඇතුලේ යම් දෙයක්...
ප්‍රවෘතියක්, නව කතාවක්, ඕපා දූපයක්... මෙනවා හරි දෙයක් කියවීම ඇතුලේ තියෙන්න ඕනෙ ඔබට ලියන්න... ලියන අයටත් එහෙමයි මොනව හරි දෙයක් තියෙන්න ඕනෙ ලියන්න... දැන් මම මේ මෙච්චර දුරක් ලියාගෙන ආවේ මොනවා හරි ලියන්න තිබිලද.... ඔබ කියයි නෑ කියලා. මම කියනවා මොනවා හරි දෙයක් නෑ කීවත්, මොනවා හරි දෙයක් තිබීම තමයි... එතකොට මොනවද තිබ්බේ. තිබ්බේ වෙන මොනවත් නෙවෙයි... මොනවා හරි දෙයක් නෑ කියන එක තමයි තිබුණ එකම දේ... ලියන්න. ඒක තමයි මේ ලියවෙන්නෙ...
අපි එකකින් නමා අනික දිහා බලන්නේ... ලිවීමෙන් ලිවීම දිහා නොබලා අනිත් හැම දිහාවම බලනවා. අනිත් හැම දෙයක් ගැනම ලියනවා. හැබැයි ලිවීම ගැන ලියන්නේ නෑ. මේක ලිවීම ගැන ලියන මොහොතක්. අපි හැම දෙයක් ගැනම හිතනවා. හැබැයි හැම දෙයක් ගැනම සිතින් සිතීම ගැන සිතන්නේ නෑ. සිත වෙන දයෙක් ගැන සිතුවට සිතට සිත ගැනම සිතන්න පුළුවන්ද? සිතේ ස්වභාවය සිතෙන්ම සිතලා තේරුම් ගැනීම හරිම අමාරු දෙයක්. ලෝකයේ තියෙන සියලුම දර්ශන, විද්‍යාවන්, ආගමික සංකල්ප සිතීම ඔස්සේ හදා ගත්තු දේවල්... හොඳට සිතුවොත් තේරෙනවා සිතීම තමයි හැම දෙයකම නිර්මාණකරුවා කියලා. ආදරය, වෛරය, කරුණාව, කාමය, ඊර්ෂියාව මේ සියල්ලේම හිමිකරු තමයි සිතීම.
අපි යමක් ගැන හිතන්නේ නැතුව ඉන්නෙත් හිතලා නිසා හිතන්නේ නැතුව ඉන්න බෑ. මොකද හිතන්නේ නැතුව සිටීමත් සිතීමක් නිසා.
ආදරය කියන්නේ සිතීම් ගොඩක එකතුවක්. ආදරය ගැන සිතනවද, සිතීම ආදරය ගේනවද කියලා සිතීමත් තේරුම් ගැනීම නොහැකි සිතීමක්. මම දන්නවා... සමහර විට ඔබට මේ කියවිම නීරස වෙන්න පුළුවන්.... මොකද සිතීම ගැන ලිවීම තේරුම් ගැනීමට නොහැකි විකාරයක්.
වෙසක් කාලයේ බුදු හාමුදුරුවෝ ගැන මම හිතන්න පටන් ගත්තා. බුදු හාමුදුරුවෝ සිත ගැන මොනතරම් දේවල් කියලා තියෙනවද? හැමෝම බුදු හාමුදුරුවෝ සිත ගැන කියපුවා අපිට කියලා දෙනවා. හැබැයි සිත ගැන කියවීම සිත හඳුනා ගැනීම අහිමිකර ගන්න අය තමයි අපිට සිත ගැන කියල දෙන්නේ.....
සිත දියුණු කර ගැනීම අහිමි කර ගන්න හාමුදුරුවන්නට දැන් ඕන වෙලා තියෙන්නේ පන්සල දියුණු කර ගන්න. බෝධිය වටේ රන් වැටක් ගහන්න. බුදුගෙට ටයිල් අල්ලන්න. පන්සල වටේට ලොකු තාප්පයක් බැඳගන්න. ලයිට් වටේට දාගන්න. තීන්ත ගා ගන්න. අද පන්සල කියන්නේ ඉඳිකිරීම් ගොඩක් තියෙන තැනක්. මිනිස්සු කැමතී පන්සල දියුණු කරන හාමුදුරුවන්ට. ධර්මයෙන් හිත දියුණු කරන හාමුදුරුවන්ට කැමති මිනිස්සු හරිම අඩුයි.
මිනිස්සු ගෙදර ඉන්නේ නැතුව පන්සලට යන්නේ ගෙදර නැති අධ්‍යාත්මික සුවයක් පන්සලේ දී දැනෙන හින්දා. හැබැයි පන්සලත් ගෙවල් වගේ වුණොත් මොකද වෙන්නේ. දැන් දැන් පන්සල් ගෙවල් වගේ හැදෙනවා. ගෙයක් හදා ගන්න මිනිස්සු වෙහෙසනවා වගේ පන්සල හදා ගන්නත් හාමුදුරුවෝ ගිහියෝ වගේ වෙහෙසනවා. ආගමකින් මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ ආධ්‍යාත්මික සුවය, දැන් ආගම විසින් මිනිස්සුන්ට අහිමි කරන්නෙත් ආධ්‍යාත්මික සුවය. සමහර හාමුදුරුවරු පවුලේ උපදේශකයෝ වගේ ළමයි හදන්න ඕන ප්‍රමාණය, ගැහැනු ඇදිය යුතු ඇඳුමේ දිග පළල ඕවා ගැන තමයි වැඩිපුරම කියන්නේ. ස්ත්‍රිය අඳින ඇඳුම ගැන හරියට වද වෙන, ඒ ගැන විවේචනය කරන හාමුදුරුවරු කොච්චර ඉන්නවද? බුද්ධ දර්ශනය ළමයි හැඳීම, පවුල් හැඳීම, වැඩිහිටියන්ට සැලකීම, ජාතීන් බෝ කිරීම, සුදු ඇඳුම් ඇඳීම ගැන කියවෙන දර්ශනයක් නෙවෙයි, ඊට එහා ගිය දර්ශනයක් සහිත දහමක්... හාමුදුරුවරු නිවන ගැන කතා කරනවට වඩා මිනිස්සු කැමතියි හාමුදුරුවරු ජාතිය බෝ කිරීම ගැන කතා කරන එකට. ගෑනුන්ගේ ඇඳුම් ගැන කතා කරන එකට. මේ ළඟදී දවසක මම ටී.වී. එකේ බණ කියන ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ගේ බණක් ඇහුවා. ඒක බණක් නෙමෙයි... මිනිස්සුන්ට විනෝදයක් ගෙන දෙන කියවීමක්. එතන දී හාමුදුරුවෝ කියනවා සමහර ගෑනු තට්ටම් පේන්න ඇඳුම් අඳිනවලු. අතපය කේක් ගෙඩි වගේ එළිය දාගෙන යනවලු. එතකොට ඒ ස්ත්‍රිය තමා දිහා බලන අයට කියන්නේ මාව ඇවිත් කාපිය කියලලු. ඒ නිසාලු ස්ත්‍රීන් දූෂණය වෙන්නේ. හාමුදුරුවෝ කියන විදිහට ස්ත්‍රීන් අඳින ඇඳුමේ තමයි ලොකුම අවුල තියෙන්නේ. ගෑනු සම්පූර්ණයෙන් ඇඟ වසා ගත්තම ප්‍රශ්නෙ ඉවරයි. හැබැයි අද කාලේ ගෑනු ඔය කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තමන්ට ඕනෙ විදිහට අඳිනවා. ගෑනු අඳින ඇඳුම් ගිහි පිරිමින්ගේ විතරක් නෙවෙයි හාමුදුරුවන්ගෙත් ඔළුව අවුල් කරනවා. ඒ අවුලට විසඳුම තහනම නෙමෙයි. මේ තරම් සිත අවුල් කරන ලස්සන ශරීර ඉදිරියේ හිත අවුල් කර නොගෙන ඉන්නේ කොහොමද?... අන්න ඒ ගැනයි ආගම දහමෙන් උගන්වන්න ඕනෙ.
මගේ මිත්‍ර‘යෙක් ඉන්නවා. ඔහු විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්න ආදරීණීය පියෙක්. වැදගත් රස්සාවක් කරන මහත්මයෙක්. ඔහු දරුවෝ දෙන්නටයි, බිරිඳටයි පණ වගේ ආදරය කරනවා. හැබැයි ඔහුට අනියම් සම්බන්ධයක් තියෙනවා. ඔහු හැම වෙලාවෙම මරාන්තික බියකින් පසු වෙනවා ඔහුගේ ඒ අනියම් සම්බන්ධය බිරිඳට අහුවෙයි කියලා. ඔහු පුදුම රඟපෑමක් කරනවා අනියම් සම්බන්ධය ලෝකයෙන් හංඟ ගන්න. හැබැයි බිරිඳට අහුවෙච්ච දවසට ඔහුගේ පවුල් ජීවිතය ඉවරයි.
අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගන්න, පවත්වාගෙන යන්න මිනිස්සු මොන තරම් බොරු කරනවාද. ඔළුව නිදහසේ තියාගෙන ජීවත් වෙන්න පුළුවන්ද? සතුටින් නිදහසේ නිදා ගන්න පුළුවන්ද? හොරයක් හංඟගෙන ජීවත්වීම මොන තරම් අපහසුවක්ද? අනියම් සම්බන්ධතා එළිවෙච්චි දවසට ජීවිතය ගිනි වළලක් වෙනවා. දික්කසාද නඩු, අරවා මේවා, කෙටි මොහොතකට ලබන ලිංගික සතුටක් සියලු දේ විනාශ කරලා දානවා.
මිනිස්සුන්ට ආගම දහම අවශ්‍ය වෙන්නේ මේ අවුල් ජාලාවෙන් මිඳෙන්න... සැනසීමක් ලබන්න. හාමුදුරුවෝ පවුල් උපදේශකයෙක් නොවී ධර්මය ගැන පහදලා දුන්න නම් මිනිස්සුන්ට ජීවිතය තේරුම් යනවා. සම්පූර්ණයෙන් නොවුණත් කිසියම් දුරකට හරි තේරුම් යනවා... ගෑනු අඳින ඇඳුම ගැන කතා නොකර, ඒ අඳුම යට තියෙන ජරා ශරීරය ගැන පහදලා දුන්න නම් හොඳයි. කොතරම් ශරීරය ගැන දැන ගත්තත්, ශරීර සම්බන්ධ ආශාව අන්හැරීම අමාරු දෙයක්. මේ ලියන මමත් එහෙමයි. මරණයෙන් පස්සේ ශරීරය අපිට අතහැරෙනවා. ශරීරය නොමැති වේදනාවෙන් අපි දුක් වෙනවා.
සියලු මතකයන් තිබෙනවා. ශරීරය පමණක් අහිමි වෙනවා. සියලුම දේවල් තියෙන්නේ මේ ශරීරය ඇතුලේ. මේක ශරීර ලෝකයක්....
 ලෝකේ ලස්සනම ගැහැනියගේ ශරීරය පලලා එහි අභ්‍යන්තරය පෙන්නුවත් අපි හෙට ඉඳන් ආපහු වෙන ලස්සන ගැහුනුන්ගේ ශරීර වලට ආදරය කරනවාග ඇයි ඒ? දැනුම කියන්නේ අවබෝධයට නොවන හින්දා. ජීවිතේ ගැන හරියටම තේරුම් ගන්න ඕන ශරීරයේ හැම ඉන්ද්‍රියක් ගැනම හොඳට දන්න ශරීරය කපලා බලන දොස්තරලා. හැබැයි දොස්තරලාගේ ජීවන අවබෝධයෙ තරම තේරෙනවා. එයාලා චැනල් වලට දුවන විදිහෙන්... වැඩ වර්ජනය කරන විදියෙන්. ශරීරය ගැන එපාවෙලා භාවනාවට යොමු වෙන්න ඕනෙ දොස්තරලා. හැබැයි එහෙම වෙන්නේ නෑ. මල් ශාලාවේ එම්බාම් කරන මනුස්සුන්ට ජීවිතය එපාම වෙලා යන්න ඕනේ. එහෙම වන්නේ නෑ... දැනුම අපිව ලෝකය සමග ගැට ගහනවා... අවබෝධය ලෝකය සමග බැඳීම නවත්තනවා.

මේ සියල්ල තීරණය කරන්නේ සීතිමේ වෙනස... දොස්තර ශරීරය කපලා දැනුම ලබා ගන්නවා. ලෙඩ රෝග ගැන හොයනවා. ජීවිතයේ සත්‍ය සොයන මනුස්සයා ශරීරය දෙස බලාගෙන පිළිකුල් භාවනාව වඩනවා... දොස්තර ශරීරය ගැන දැනුමෙන් ඉදිරියට යනවා. සත්‍ය සොයන මනුස්සයා අවබෝධයෙන් ඉදිරියට යනවා. එකම ශරීරය සිතීමේ වෙනසට ඉඩ දෙන හැටි හරිම පුදුමයි නේද?

No comments:

Post a Comment