Saturday, February 6, 2016

මිනිස්සු ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතය නෙමෙයි, මරණය




වෛද්‍යවරුන්ට, ඉස්පිරිතාලවලට, බෙහෙත්වලට පුළුවන් මරණය කල්දාන්න. හැබැයි මැරෙණ එක නවත්වන්න බෑ. අපි හැමෝම මරණය කල්දාගත්ත මිනිස්සු. මරණය අනාගත තත්ත්පරේට බාරදීලා මැරෙන්නෙ නෑ කියලා මිනිස්සු හිතාගෙන ඉන්නෙ. ජීවත්වන හැම මොහොතකම මරණයේ මොහොතක් තියෙනවා. එල්ලුම් ගහට නියම කරපු මිනිහා මැරෙන දිනය නිශ්චිතව දන්නවා. ඒ හින්දා ඒ මිනිහා මරණයට දින දින ළං වුණාම අසීමිතව බියට පත්වෙනවා. හැබැයි අපි මැරෙන දිනේ දන්නෙ නෑ. නිශ්චිත දිනයක් දන්නෙ නැති එල්ලු ගහට නියම කරපු මිනිස්සු වගේ මරණය පෙනී පෙනී අපි ජීවත් වෙනවා. මිනිස්සු මැරෙණ දිනේ දන්නෙ නැති හින්දා ජීවිතේ ප්ලෑන් කරනවා. ප්ලෑනට අනුව, කාල සටහනකට අනුව ජීවත් වෙන්න හදනවා. අන්තිමට ප්ලෑන් එක තියලා මිනිහා හුටුස්ගාලා මැරිලා යනවා. මිනිස්සු ජීවිතය ප්ලෑන් කරන්න ගත්තාම තණ්හාව, ආශාව, බලාපොරොත්තු වැඩිවෙනවා. තරගය වැඩි වෙනවා. ඊර්ෂ්‍යාව වැඩිවෙනවා. මිනිස්සු ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතය නෙමෙයි, මරණය. මරණය ප්ලෑන් කර ගත්තාම ජීවත් වෙන්න ලේසියි. බලාපොරොත්තු, ආශාවල් අඩුයි. තණ්හාවෙන් හබායාම අඩුවෙනවා. මේ මොහොතේ ඊළඟ පැයේදී හෙට මම මැරෙන්න පුළුවන් කියලා හිතුවාම මොකටද අනෙකාට ඊර්ෂ්‍යා කරලා, මොකටද අනෙකාට වෛර කරලා, ජීවිතේ ප්ලෑන් කරනවට වඩා මරණයෙ ප්ලෑන ඇඳ ගත්තම පුදුම සැහැල්ලුවක් දැනෙනවා.
කොස්ලන්ද මීරියගම කන්ද නාය ගියා. මැරෙන්න හිතාගෙනවත් හිටියෙ නැති මිනිස්සු පණ පිටින් පස් යට වැළලුණා. උදේ ඉස්කෝලෙ ගිය ළමයි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට ගේ නෑ. ගෙදර හිටපු අම්මලා, තාත්තලා නෑ. සේරම පස්යට වැළලිලා. සමාජ, දේශපාලන, ආර්ථික දෘෂ්ටි කෝණයෙන් හිතුවොත් නම්, ඒ මිනිස්සුන්ට මරණය කල්දාගන්න තිබ්බා. කන්ද නාය යන බව 2005 ඉඳල කියලා තියෙනවා. ආණ්ඩුව මැදිහත්වෙලා ඒ මිනිස්සුන්ට වෙනතැනක ගෙවල් ටිකක් හදලා දුන්නා නම්, ජීවිතේ බේරගන්න තිබුණා. දේශපාලන ආර්ථිකයේ මැදිහත් වීමෙන් මරණය කල්දාගන්න පුළුවන්. ඒක ආගමට සම්බන්ධ කරලා ඒ මිනිස්සු ලබා උපන් හැටි, මරණය වළක්වන්න බෑ, පෙර ආත්මවල කරපු අකුසල කර්ම පළදීලා. මේ වගේ සිතීම් ඇත්තටම සේවය කරන්නේ පාලකයන්ගේ පහසුව පිණිසයි. එහෙම නැතුව ජීවිතයේ අවබෝධය පිණිස නෙමෙයි. මරණය දැකලා මිනිස්සුන්ට ජීවිතය අවබෝධ වෙනවා නම් එක එකා මරාගෙන... තමන්ගෙ ආගම, තමන්ගෙ ජාතිය තමයි උතුම්ම කියලා අනෙක් ජාති, ආගම් පාගලා දාන්නෙ නෑ. ඊර්ෂයා කුහකකම් කරන්නෙ නෑ. මරණය කියන්නෙ අපිට අවබෝධ නොවන එක සිද්ධියක් විතරයි. සිද්ධියට මුහුණ දුන්නා, ඇඬුවා වැළපුණා ඊට පස්සේ අමතක කරලා දැම්මා. හැබැයි මරණයෙ අවබෝධයට ළං වෙන මිනිහෙකුට ජීවිතේ සැබෑ සුන්දරත්වය විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා.

No comments:

Post a Comment