Wednesday, February 24, 2016

දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව පැමිණි නිගමන මොනවාද?




නිදහස් දින ප්‍රසංගයේදී ඔපෙරා තාලයට ගායනා කරන ලද  දන්නෝ බුදුන්ගේ  ගීතය සම්බන්ධයෙන් සංවාදයක් ඇවිළී ගියේය. එම සංවාදය බොහෝ ලෙස පැවතියේ අන්තර්ජාලය තුළය. පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි පැවතියේ එම සංවාදයට බොහෝ පසු පසිනි. බොහෝ පුවත්පත් එදාවේල ට්‍රවර්ස් ආකාරයෙන් මොනවා හෝ ප්‍රවෘත්ති, නළුනිළි ඕපාදූප පළ කරනවා හැර, හරවත් සංවාදයන්ට ඉඩහසර වෙන් නොකරයි. රූපවාහිනිය ගැන නම් කතා කරන්නට දෙයක් ඇත්තේම නැත. විනෝදාස්වාදයක් නැත. හරවත් බවක් නැත. එකාකාරී ටෙලිනාට්‍ය, ස්ටාර් වැඩසටහන්, දේශපාලන වැඩසටහන් හැරණුකොට රූපවාහිනී චැනල් තුළ බලන්නට දෙයක් නැත. බොහෝ පිරිස් දේශීය නාළිකා  නැරඹීම අතහැර විදේශීය නාළිකා නැරඹීමටද, අන්තර්ජාලය  වෙත නැඹුරු වීමද මෙකල හොඳින් නිරීක්ෂණය වෙයි. රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් තවමත් තිබෙන්නේ පරණ ආකෘතියේය.
ව්‍යාජ බහුශ්‍රැත භාවයක් ලද බොළඳ ඕලාරික භාවයක් හැරුණු විට, නූතන මිනිසාගේ ආශාව නියෝජනය කිරීමේ සංස්කෘතිමය විදග්ධ භාවය ලාංකේය ජනමාධ්‍ය අහිමි කරගෙන සිටියි.  දන්නෝ බුදුන්ගේ  ගීතය සම්බන්ධයෙන් පැන නැගි සංවාදය අවුළුවා ප්‍රධාන මාධ්‍ය තුළ සාකච්ඡාවට බදුන් වූයේ නම්, මේ මොහොතේ ලාංකේය ජන සමාජය ශිෂ්ටාචාරමය වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය දේශපාලනිකවත්, සාමාජීයවත්, සංස්කෘතිකවත් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් එය කුඩා කුලකයට සීමා කරමින් අහසට නැග පුපුරා ගිය අහස් කූරක් සේ නිවී ගියේය. දැන් අප  දන්නෝ බුදුන්ගේ  ගීතය සම්බන්ධව පැමිණි නිගමන මොනවාද?
ඔපෙරා තාලයට ගායනා කිරීම නිසා බුද්ධාලම්භන  ප්‍රීතිය, ශ්‍රද්දාව විනාස වුණේය. ඒ නිසා රාත්‍රියට කෑගසන බැළලියන්ට ගඩොල් බාගයකින් ගසන අවිහිංසාවාදී බෞද්ධයන් සේ, ගීය ගායනා කළ ගායිකාවට ගඩොල් බාගයකින් ගැසිය යුතුය.
සංගීතය විශ්ව භාෂාවකි. ලංකාවේ මැට්ටන් දන්න ඔපෙරාවක් නැත. ඔපෙරා රස වින්දනය දන්නේද නැත. ගීය ගැයූ ගායිකාව  දකුණු ආසියාවේ සොප්‍රාණෝ ඔපෙරා ගායනයේ මානික්‍යයද වෙයි. රැජින  ඉදිරියේ තනියම ගායනාවක් ඉදිරිපත් කළ දකුණු ආසියානු ප්‍රථම කාන්තාවද වන්නීය. ඇයට නීතය පිළිබඳව උපාධි හා ඔපෙරා ගායනා සම්බන්ධව උපාධි සම්මානද හිමිව තිබෙයි. ඒ නිසා ඔපෙරා ගායනය සම්බන්ධව නිසිවෙකුටත් ඇයට විවේචනයක් ඉදිරිපත් කළ කොහැකිය.
ගඩොල් බාග කතාව ජාතිවාදීය. ඒවා රාජපක්ෂ පාලනය බිඳ වැටුණු නිසා අවස්ථාවාදී, ජාතිවාදී උන්මත්තක භාවය වපුරා ව්‍යාජ දේශප්‍රේමී වලිප්පුවෙන් කියන දේවල්ය. ඔපෙරා ගායනය බටහිරය. මහින්ද මහත්තයා බටහිර විරෝධීය. මෛත්‍රී, රනිල් බටහිර ගැත්තෝය. ඔපෙරා ගායනයට  ඉඩදී සිංහලකම විනාශ කර ඇත. මෙවැනි  අදහස් එලෝ මෙලෝ නැති, මොලෝ විචාර බුද්ධියක් භාවිත නොකොට දොඩවන අදහස්ය. %දන්නෝ බුදුන්ගේ^ ගී පද ජෝන්ද සිල්වා මහතාගේය. තනුව ඉන්දියානු ජාතික විශ්වනාත් ලෞජිගේය. ලෞජි මේ ගී තනුව කේරලයෙන් ලබාගෙන ඇත. කේරලයට මේ ගී තනුව ගෙනැවිත් තියෙන්නේ මිෂනාරි පුජකවරුන් විසිනි. ඒ ජර්මනියෙනි. මේ ගී තනුව ජර්මනියේ ප්‍රකට සංගීතඥ රිචඩ් වැග්නර්ගේ බව පැවසෙයි. අපේ යනුවෙන් අප පවසන්නේ අපේම දේට නොව, අපිට හුරුපුරුදු දේවල්වලටය. ඔපෙරාව අපිට හුරුව නැත. ආගන්තුකය. ඔපෙරා ගායනා රට තුළ ප්‍රචලිත වී තව අවුරුදු සියයක් පමණ ගතවූ විට ඔපෙරා ශෛලියද අපේය. මේවා ගායන ශෛලීන්ය. අපගේ කැමැත්ත අකමැත්ත මත එය අපේ නොවෙයි කියා පැවසීම සාධාරණ නැත. අකමැත්ත ප්‍රතික්ෂේප කරන විදිහ අප නොහඳුනයි. අකමැත්තට ජාතිය, ආගම, දේශප්‍රේමය සම්බන්ධ කරයි. ගඩොලින් පහරදිය යුතු යැයි පවසන්නේ අකමැත්ත ප්‍රතික්ෂේප කළ යුතු විදිහ ගැන නොදන්නා නිසාය.  බටහිර රටවල්වල වුවද ඔපෙරා සංගීතය රස විඳින මහ ජනතාවක් නැත. සම්භාව්‍යය සංගීතය සම්භාව්‍යය කලාව රස විඳින්නේ ඕනෑම රටක කුඩාවෙනි. එසේ කියා රැප් සංගීතය රස විඳින්නෝ ඔපෙරා ගී ගයන්නාට  ගාඩොල් බාගවලින් පහර දිය යුතු යැයි නොපවසති. ගී ගායනයෙන් රටක්, ජාතියක් විනාශවේද? ඔපෙරා ශෛලියෙන්  දන්නෝ බුදුන්ගේ  ගීතය ඔබට රස විඳිය නොහැකි නම්,  නොඅසා සිටින්න. පැරණි ගීයෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවෙනවා නම්, එය අසන්න. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහසක් පොදු ජනයා තුළ පවා නොමැත්තේය. බොරු දේශප්‍රේමීන් වෙමින්, බටහිරට බණිමින්, බටහිර සංස්කෘතියද, නිෂ්පාදනයද, පරිභෝජනය කරන අමුතු මිනිස්සු ජීවත් වන රටක් බවට අප පත්වී තිබේ. මහින්දවාදී වහල් මනෝභාවය කෙතරම්දයත්, ඔපෙරා ශෛලයට විරුද්ධවද කෑගැසීමට ඔවුන් සූදානම්ය. ඔවුනට දැන් තමන් විරෝධය පෑ යුත්තේ කුමකට කියාද නොදනියි. විචාර බුද්ධිය අහිමිවීම යනු මෙයයි. කනගාටුදායකම තත්ත්වය වන්නේ තරුණයන් මේ උන්මත්තක ජාතිවාදී ගෝත්‍රිකයන් ලෙස හැසිරීමය. ඔවුහු විශ්වීය මිනිසෙකුවනු වෙනුවට, සිංහ ලේ ස්ටිකර් හංවඩු ගසාගැනීමට කටයුතු කරති.
දැන් අප අනෙක් මතවාදය දෙසට යොමුවෙමු.  ඔවුන් මේ සංවාදය තුළ හැසිරුණේ ඔපෙරා සංගීතය රස විඳින විදග්ධයන් ලෙසිනි. ඔපෙරා ගැන නොදන්නේ මෝඩයන් හා ගෝත්‍රිකයන් ලෙස සලකමින් මවාගත් බහුශ්‍රැතිභාවයක් පෙන්වමිනි. ඔපෙරා ගීත එස විඳීමේ හුරුවක් හෝ ශික්ෂණයක් මේ ලියන මටද නැත. ඔපෙරා සංගීතය ගැන මා දන්නා මගුලක්ද නැත. එහෙත් මේ සංවාදය නිසාම මම ඔපෙරා සංගීත කලාව ගැන හොයා බැලුවෙමි. තොරතුරු සොයාගත් පමණින් මට ඔපෙරා රසිකයෙකු විය නොහැකිය. එහෙත් ඔපෙරා ශෛලියේ %දන්නේ බුදුන්ගේ^ ගීතයට පක්ෂව අදහස් දැක්වූ බොහෝ දෙනා අදහස් දක්වා තිබුණේ තමන් ඔපෙරා ශෛලියේ මහා රසිකයන් බව පෙන්වමිනි. ගීය ගායනා කළ ගායිකාවගේ ජාත්‍යන්තර වටිනාකම ලබාගත් උපාධි සංඛ්‍යාව, රැජින ඉදිරියේ ගී ගායනය නිසා විවේචනය නොකළ යුතු යන අදහසක් මේ විදග්ධයෝ ගෙන ආහ. එය සම්පූර්ණයෙන්ම වැරදිය. ශිෂ්ට සම්පන්න විවේචනයකට මේ කිසිවක් බාධා නොවේ. රැජින, උපාධි, පෙන්වා බිය වැද්ද වීමද ශිෂ්ට නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ අශිෂ්ට විවේචනය තුළය. ගඩොල් විවේචනය තුළය. මතුකරගත යුතුව තිබූ සංවාදය අන්තගාමී පැති දෙකකින් අවසාන වූයේය.
ඔපෙරා ශෛලයි රසවිඳින විදග්ධ සංගීත රසිකයන්ද, මෙලෝ බෝලයක් සංගීත ශෛලීන් ගැන නොදන්නා මෝඩයන්ද සිටින බව පෙන්වමින් සංවාදය අවසන් විය. අපට පෙනෙන්නේ හා පෙනීමට හුරුකර ඇත්තේ පැති දෙකකි. හොඳ නරක, තැන ලස්සන, හරි වැරදි යන්න එම පැති දෙකයි. මේ පැති දෙක මේ මොහොතේ ජීවත් වන මනුෂ්‍යයාට තේරුම් ගත නොහැක. නිර්වචනය කළ නොහැක. ජීවිතය දෙස, අර්බුද දෙස, ගැටලු දෙස බලන බහුමානීය අවකාශ විවෘත කරගත යුතුය. නිදහස ලබා අවුරුදු හැට අටක් ගතවන තුරු අපි සිටියේ ද්විමාන අවකාශයකය. එයාට වඩා මෙයා හොඳයි, මෙයාට වඩා එයා හොඳයි. එයා වැරදියි, මෙයා හරි. මෙයා වැරදියි, එයා හරි යන ස්ථාවරයේය. දේශපාලනයද ගෙවී ගියේ තට්ටු මාරු ක්‍රමයටය. මහින්දට වඩා මෛත්‍රී හොඳයි, මෛත්‍රීට වඩා මහින්ද හොඳයි යන ස්ථාවරය පැහැදිලි ලෙසම පරාජිතය. එහෙම පුද්ගලවාදී හොඳ පරාජිතය, අසාර්ථකය, අර්ථ විරහිතය. දැන් මෛත්‍රී හොඳ නෑ... මහින්ද හොඳයි යන්න මාරාන්තික කොමඩියකි. දිනෙන් දින හොඳ නරක වෙනස් වෙයි. ඒ අනුව තීරණ ගතහොත් සිදුවන්නේ පතුලක් නොපෙනෙන අගාධයකට වැටීමයි. දැන් අප පුද්ගලවාදී හොඳ නරක අතහැර ක්‍රම‘වේදයට වෙනස් කළ යුතුව ඇත. එය එසේ නොවන්නේ අපිට සිස්ටම් එකේ වෙනස පිළිබඳ අවබෝධයක් නොමැති නිසාය. අප එම අවබෝධය ලබන්නේ කවදාද?

No comments:

Post a Comment