Monday, February 8, 2016

රාජපක්ෂවාදී පාලනයට වඩා දශමයක් හෝ මෛත්‍රී පාලනය හොඳ නැද්ද ?




ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාලකයන් පත්කරන්නේ ජනතාවගේ කැමැත්ත අනුවය. ජන කැමැත්තට පාලකයෝ ප්‍රිය වෙති. රැස්වීම්වල සෙනඟ දකින්නට පාලකයෝ ප්‍රිය වෙති. &මාර සෙනඟක් හිටියා* කියන්නටද පාලකයෝද, පාක්ෂිකයෝද ප්‍රිය වෙති. මුදල් ගෙවා ආහාර දී, බස්වලින් දේශපාලන රැලිවලට සෙනඟ අදින්නේ ජනයාට ඇති පෙරේතකම නිසාය.
එවැනි මාර සෙනඟක් අතරේ අතරමං වන්නට පසුගිය සතියේ දී මට සිදු විය. ඒ නුගේගොඩදීය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතු යැයි පවසන මේ මහා දේශප්‍රේමීන් අතර මොහොතක් හෝ මට සිටගෙන සිටීමට සිදුවීම ගැන මම ලැජ්ජාවට පත් වුණෙමි. මා මොවුන් අතරින් මිදී යා යුතුව ඇත. ඒත්, මහා හිස් ගොඩක් අතර මම හිර වුණෙමි. යා යුතු මාර්ගයද අපැහැදිලිය. කෙසේ හෝ මේ මහා දේශප්‍රේමී කුලකයේ සාමාජිකයෙකු නොවී මා පිට වී යා යුතුය. මම හිස් ගොඩ අතරේ යා යුතු මග සොයා ගෙන ඉදිරියට ගියෙමි. මා මෙන් අතරමං වූ තරුණියක්ද මග සොයන බව මට පෙනුණි. ඇයගේ විමසිලි සහගත දෑස් මගේ දෑස් සමග ගැටුණද, කිසිත් විමසනු නොලැබූ ඇය මා පසුපස ඇවිද ආවාය. මම මිනිසුන් අතරින් රිංගා ගෙන යන ඉඩෙන් ප්‍රයෝජනය ගත් ඇය, මා පසු පස පැමිණියාය. කෙසේ හෝ මම යා යුතු මගට පැමිණියෙමි. ඇයද ඒ මගට පැමිණ වෙනත් පාරකින් හැරී ගියාය.
දේශප්‍රේමී හඬගෑම් හා ඒවාට හුරේ දමන්නන්ගේ හඬ මට තවමත් ඇසෙයි. අශීලාචාර, අශිෂ්ට, දූෂිත පාලන ක්‍රමයක් නැවත ඉල්ලා කෑ ගසන මේ දේශප්‍රේමීන් ගැන මට ලැජ්ජා සිතෙයි. නැවත කොටි එතැයි යනුවෙන් මවන භීතියේ තෘප්තිය මේ දේශප්‍රේමීයෝ භුක්ති විඳිති. පරාජය කර දැමූ ජාතිවාදය නැවත මතු කරති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වූයේ උතුරු නැගෙනහිර ඡන්දවලින් යැයි කියති. කොටි භීතිය මවති. එකම ගැලවුම්කරුවා මහින්ද රාජපක්ෂ බව ඔවුහු පවසති. මේ  එනවා යැයි කියන භයානක බෙදුම්වාදී අනතුරින් රට බේරා ගත හැකි නායකයෙකු වේ  නම් ඒ මහින්ද රාජපක්ෂ මහතා පමණි. දේශප්‍රේමීන් මේවා විශ්වාස කළ යුතුය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළ යුතුය. අකමැති වුණත් රට බේරා ගන්නට නම් අගමැති කළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති නොවී වෙන වෙන අය අගමැති වුණොත් රට ඉවරය. ඔය කියන උවදුරුවලින් රට බේරා ගත හැකි නායකයෙක් මේ මහ පොළොවේවත් නැත. ඒ නිසා අපි මේ දේශප්‍රේමී කතා (බයිලා) විශ්වාස කර මහින්ද මහතාව අගමැති කළ යුතුය.
නූගත්තුන් හා මෝඩයන් පසු ගිය ආණ්ඩුවේ පම්පෝරි පිළිගෙන රැවටී සිටීම සාධාරණය. එහෙත් දැන උගත් මිනිසුන් රාජපක්ෂවාදී රාජ්‍ය පාලකයන්ගේ අශිෂ්ටත්වය, අශීලාචාරකම දැන දැන එය අනුමත කරමින් පෙනී සිටීම තක්කඩිකමකි. මේ තක්කඩියෝ දැනුවත්වම සමාජය නොමග යවති. ගෝනි බිල්ලෝ මවති. අපි යමක හොඳ දකින්නේ සාපේක්ෂවය. මම අහන්නේ රාජපක්ෂවාදී පාලනයට වඩා දශමයක් හෝ මෛත්‍රී පාලනය හොඳ නැද්ද කියාය. මෛත්‍රී පාලනයට එරෙහි වන්නේ රාජපක්ෂ පාලනය හොඳ යැයි සිතා නම් විචාර බුද්ධිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව තේරුම් ගත යුතුව ඇත.

2 comments:

  1. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2850-2016-02-10-23-29-48

    ReplyDelete