Saturday, February 6, 2016

අපි සියලු දේ බදා වැලඳගෙන දුක්වන්නෝ වෙමු




ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක පිල් හියුස් පන්දුව හිසේ වැදීමෙන් මරණයට පත්විය. එසේම ඊශ්‍රායල් ක්‍රිකට් විනිසුරුවරයෙක් ද පන්දුව හිසේ වැදීමෙන් මරණයට පත්විය. ලෙදර් බෝලය, ටෙනිස් බෝලය වගේ නැත. ලෙදර් බෝලය මාරාන්තිකය. ඉහත සඳහන් සිදුවීම් නිසා මගේ මතකය අවුරුදු විස්සක ඈත අතීතයට දිව ගියේය. එකල මමද ක්‍රිකට් ක්‍රීඩකයෙකි. අවුරුදු පහළොවෙන් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් එක් අයෙක් වීමට මට හැකිවිය. අවාසනාවට උපතින්ම කරපින්නා ගෙන ආ මගේ ක්‍රිකට් ජීවිතය සඳහටම නවතා දමන්නට සිදුවූයේ පිල් හියුස්ට මරණය ගෙන ආ ලෙදර් බෝලය මගේ දණහිසට පහතින් වැදී පාදය දෙකට කැඩීයාම හේතුවෙනි. එදවස මට අද මෙන් මතකය. අපි කිහිප දෙනෙක් දැල් ගැසූ කොටු තුළ පුහුණුවෙමින් සිටියෙමු. මා පන්දුව යවන්නට දුවගෙන එනවිට අනෙක් පැත්තේ සිටි පිතිකරු ගැසූ වේගවත් පහර සමග ඇදී ආ ලෙදර් බෝලය මාගේ කකුලේ වැදුණේය. පාදය පණ නැතිව ගොස් මාව බිම ඇඳ වැටුණි. බලා සිටයදී දණ හිස අසල ඉදිමෙන්නට පටන් ගද්දි මම වේදනාවෙන් කෑගැසුවෙමි. පුරා අවුරුද්දක පමණ කාලයක් කකුලට ප්ලාස්ටරයක් දමාගෙන මම ඇඳ උඩට වී සිටියෙමි. ඒ හුදෙකලා වූ කාලය තුළ මම නොකඩවා පොත් කියෙව්වෙමි. ඇවිදීමට නොහැකි  වූ මම මනසින් පරිකල්පනය කරමින් ලෝකය පුරා ඇවිද්දෙමි. මම ඇඳෙන් නැගිට්ටේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නොවේ. දැනුදු මම ඇවිඳින විට සමබරතාව ගිලිහී වැටෙන්නට යයි. බිඳුණු යමක් නැවත සෑදුවද එය පෙර තත්ත්වයට නොපැමිණෙයි.
මනුෂ්‍ය‘යෙකුට මරණය අහිමි තැනක් නැත. ඕනෑම තැනක මරණය හිමිය. පාසලේ, පන්සලේ, නිවසේ, කන්තෝරුවේ, පිට්ටනියේ, මහපාරේ, බස් එකේ ආදි ඕනෑම තැනක මරණය හිමිවන්නට පුළුවන. අප මැරෙන්නේ නැතැයි හිතා මේ කිසිදු තැනක ජීවත්වීමට නොහැකිය. බලාපොරොත්තු නොවන විදිහට, බලාපොරොත්තු නොවන ලෙස මරණය පැමිණෙයි. කුමන හෝ මොහොතක මේ සියල්ල හැරදා යා යුතුය යන සිතුවිල්ලෙන් අප ජීවත් වූ විට ජීවිතය පහසුවෙයි. සැහැල්ලු වෙයි. ඊර්ෂ්‍යාව, වෛරය, කුහකත්වය සම්පූර්ණයෙන්ම නොමැති වුවත්, කිසියම් ප්‍රමාණයකට අඩුවෙයි.
%තුන්වරක් පුළුවන්^ කියමින් බලය සඳහා මේ දඟලන්නේ රට හදන්නට නොවේ. අතහැරීමට ඇති අකමැත්ත හා බලයට ඇති ආශාව කොතෙක් දැයි %තුන්වරක් පුළුවන්^ කියන දේ හරහා තේරුම් ගත යුතුව තිබේ.
බලය අතහැරදමා සැනසීම දේශපාලනයට අහිමිය. ජීවිතය අතහැර දමා සැනසීම අප බොහෝ දෙනෙකුට අහිමිය. අපි සියලු දේ බදා වැලඳගෙන දුක්වන්නෝ වෙමු.
මම

No comments:

Post a Comment