Friday, February 12, 2016

මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා





කොහොම හිතුවත් මනුෂ්‍ය ජීවිතය ගැන ලොකු දුකක් ඇති වෙනවා. පුංචි දරුවෝ දූෂණය කරලා මරලා දානවා. තාත්තා, අම්මවයි දරුවවයි මුහුදට තල්ලු කරනවා. මාමලා, සීයලා, තාත්තලා දරුවෝ දූෂණය කරනවා. පෙම්වතියට තෑග්ගක් අරං දෙන්න සල්ලි දුන්නෙ නෑ කියලා අම්මව මරලා ග‍ඟේ හංගනවා.
මිනිස්සු ශිෂ්ටත්වයට පත්වීම සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තියෙනවා. හැමෝම මේ වගේ අපරාධ නොකළට ශිෂ්ට නොවුණු අශිෂ්ටයොත් අපි හැමෝගෙම ශරීර අස්සෙ ඉන්නවා. අපි කවුරුත් ශිෂ්ට මිනිස්සු නෙමෙයි. අශිෂ්ටත්වය සඟවාගත් ශිෂ්ට මිනිස්සු. ඔය අපරාධ කරන කවුරුවත් මිනී මස්කමින්, දඩයමේ යමින්, සතුන් මරාගෙන කමින් ජීවත් වෙන ගෝත්‍රිකයන් නෙමෙයි. හොඳට අඳින-පලඳින, කන-බොන ශිෂ්ට යැයි සම්මත ජීවිත ගත කරන අය. මේ ශිෂ්ට මිනිහා එක පාරටම අශිෂ්ටයෙක් වෙනවා. අපරාධකාරයෙක් වෙනවා. දරුවව මුහුදට විසිකරලා මරපු තාත්තා ඒ දරුවට ආදරේ නොකරපු තාත්තා කෙනෙක්ද? කවදාවත් දරුවව වඩාගෙන ආදරයෙන් සිප නොගත්ත තාත්තා කෙනෙක්ද? අහල පහල මිනිස්සු කියනවා ඒ තාත්තා දරුවන්ට ගොඩක් ආදරෙන් හිටපු පියෙක් කියලා.
ශිෂ්ට සම්පන්න විදිහට පෙනී ඉන්න අය තමයි මොහොතකින් අශිෂ්ටයො වෙන්නෙ. අශිෂ්ටයාව පාලනය කරගෙන තියාගෙන ඉන්නෙ නීතිය, සදාචාරය, සංස්කෘතිය, ආගම. ඔය සංකල්ප එහා-මෙහා උනාම, විශ්වාසය බිඳ වැටුණාම, කුණුවෙලා ගියාම අශිෂ්ටයා එළියට එනවා. මිනිස්සු හික්මවන්න මේ සියල්ල අසමත් වෙනවා. මිනිස්සුන්ගේ ආශාවන් ඉටුකරන්න සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය අසමත් වෙනවා. ආශාව මුදාහැරීම වෙනුවට මානසික පීඩනයට යටවෙලා යටපත් කරගෙන ඉන්නවා. මිනිස්සුන්ට අසීමිත ලිං‘ගික ආශාවන් තියෙනවා. හැබැයි ඒක සත්තු වගේ නිදහසේ මුදාහරින්න බෑ. ශිෂ්ටත්වයට යටත්ව මුදාහරින්න කියන ඉඩකඩ අපි වගේ රටවල්වල අඩුයි. ලිංගිකත්වය මහ බරපතළ අපරාධ විදියට තමයි සලකන්නෙ. එහෙම උනාම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විදිහට තමයි ලිංගික ආශාව මුදාහරින්නෙ. අපි අශිෂ්ටයාව බොහොම දරුණු විදිහට හංගගෙන උපාසකයො වගේ ජීවත් වෙන ජාතියක්. අපේ අව්‍යාජත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් අපට තියෙනවා. අපි හොඳයි, අනිකා තමයි නරක වගේ අදහසක් හැමෝගෙම හිතේ තියෙනවා.
මරන දඬුවමෙන් රටවල් ශිෂ්ට කරන්න බෑ. අරාබි රටවල් ශිෂ්ටද? අතපය කැපුවත්, බෙල්ල කැපුවත් අපරාධ කරනවා. මිනිස්සු ශිෂ්ටවීමේ ප්‍රශ්නය ඉතිහාසය පුරාම තිබුණ දෙයක්. අපිත් වනාන්තරයෙන් එළියට ආපු සත්ත්ව කොට්ටාසයක්. ඒ සතාට නීතිය, ආගම, සදාචාරය, සංස්කෘතිය  මුණගැහුණා. තමාව පාලනය කරගන්න මේ සංකල්ප හදාගත්තා. මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා.
 ආදරය  ස්වභාවිකව ඇති වෙන දෙයක් කියලා හිතන්න එපා. ප්‍රේමය, ආදරය, අභ්‍යයාස විදිහට ප්‍රගුණ කරන්න. ආදරය ඉගෙන ගන්න. සමාජයට ආදරය කරන්න ඕන විදිහ ඉගෙන ගන්න. හැමදේම ස්වභාවිකයි කියලා හිතන අය අපරාධවලට යොමුවෙනවා වැඩියි. මේ සියල්ල හදාගත්ත දේවල්. මේවා වෙනස් වෙන්නත්, වෙනස් කරන්නත් පුළුවන් කියලා හිතන්න.

No comments:

Post a Comment