Saturday, February 6, 2016

දැන් තියෙන්නේ තාප්පෙන් වෙන්වෙච්ච සම්බන්ධතා




අපේ ආච්චිලා සීයලගෙ පරම්පාරාවෙ උදවිය ඉඩකඩම් වෙන්කර ගන්න තාප්ප ගැහුවෙ නෑ. හැමෝම සමූහයක් විදිහට එකට ජීවත් වුණා. ඉඩම්වල මායිම් වෙන්කරන සලකුණු තිබ්බා. වැටවල් ගහගෙන හිටපු අයත් ගැහුවේ දඬු වැටවල්. ඒවත් හරියට ශක්තිමත් නෑ. මිනිහෙකුට එහාමෙහා යන්න පුළුවන්. මිනිස්සුන්ට එන්න බැරි වෙන්න නෙමෙයි වැටවල් ගැහුවෙ. හරක් වගේ සත්තු වත්තට එන එක වළක්වන්නයි වැට ගැහුවේ. ඉස්සර වතු උඩින් තමයි ප්‍රධාන පාරට යන්නේ. මට මතක කාලෙත් අපි බයිසිකල් පැද්දේ, සෙල්ලම් කළේ අහල පහල වතු සේරම එකට අල්ලගෙන. කවුරුත් එපා කිව්වෙ නෑ. ලොකු තාප්ප ගහගෙන වෙන්වෙලා ජීවත් වෙනවට වඩා, එයාලට ඕන උනේ දුක සැප බෙදාගෙන එකට ජීවත් වෙන්න. එක ගෙදරක දවල්ට උයන්න හාල් නැති වුණොත්, අනිත් ගෙදරින් ඉල්ල ගන්නවා. ලූනු ගෙඩි, මිරිස් කරල්, පොල් බෑය, ලුණු, තේකොළ ඒ විදිහට හුවමාරු කර ගන්නවා. ඒක ලැජ්ජාවක් විදිහට කවුත් හිතුවෙ නෑ. කෑමක් බීමක් වුණත් ගෙවල් අතරේ හුවමාරු වෙනවා. පුංචි ළමයිනුත් අහල පහල ගෙවල්වල තමයි හැදෙන්නේ. කාටවත් වුවමනාවක් තිබේබෙ නෑ තාප්ප ගහගෙන වෙන් වෙන්න.
ඒත් අද එහෙමද? අපේ ආච්චිලා සීයලාගෙ පරම්පරාවෙන් පස්සෙ තාප්ප ගහන්න පටන් ගත්තේ අපේ අම්මලගෙ තාත්තලගෙ පරම්පරාව. හැබැයි ඒ තාප්ප හිරගෙදර වගේ මහ උස තාප්ප නෙමෙයි, කොට තාප්ප තමයි ඒ අය ගැහුවේ. එසේත් නැත්නම් ලී කණු හිටවල කටු කම්බි ගැහුවා. ඊට පස්සේ අර තරම්ම නොවුණත්, අහල පහල ගෙවල් එක්ක තාප්ප උඩින් ගනුදෙනු තිබ්බා. කම්බි වැට අප්සෙන් රිංගලා ගියා.  තාප්පේ  මැද තිබ්බට දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳන් කතා කර කර හිටියා. ශේෂ වෙච්ච මානුෂික සම්බන්ධයක් තිබුණා.
හැබැයි අපේ පරම්පරාව මොකද කළේ? අර කොට තාප්ප හිරගෙදර තාප්ප වගේ උසට හැදුවා. තාප්පෙ උඩ උල් කම්බි කූරු ගහලා සත්තු වත්තෙ, කුරුලු  උයනෙ ගහලා තියෙන  දැල වගේ කොළපාට දැලක් ඊට උඩින් ගැහුවා. තාප්පෙට හයි කරලා මහ ගේට්ටුවකුත් දැම්මා. සමහරු දැන් සී.සී.ටී.වි. කැමරාත් තාප්පෙ වටේම හයි කළා. ඉස්සර තිබ්බ මානුෂික ගනුදෙනු  සේරම ඉවර කරලා හැමෝම ඩීසන්ට් වුණා. පොෂ් වුණා. දැන් අහල පහල ගෙවල් එක්ක මිරිස් කරල්, පොල් බෑයවල්  හුවමාරු වෙන්නෙ නෑ. ඒවා අපේ පරම්පරාවට පොෂ් මදි. ඩීසන්ට් මදි. එහා ගෙදර මනුස්සයට කතා කරන්නෙත් ෆෝන් එකෙන්, වැට අයිනට වෙලා. කොට තාප්ප අයිනට වෙලා කට කයිවාරු ගහපු අපේ අම්මලගෙ පරම්පරාව දැන් වඳ වීගෙන යනවා. අපේ පරම්පාරවෙ දරුවෝ දෙමවුපියන්ව ඇතුළට හිර කරලා. අහල පහල එක්ක සම්බන්ධකම්වලට යවන්නෙත් නෑ. ඉස්සර ගෙවල්වල හිටපු දඩෝරියා, ටොමියා වගේ බල්ලොත් අද  ගෙවල්ව වල නෑ. දඩෝරියා, ටොමියා අහල පහල ගෙවල්වල අයට බුරන්නෙ නෑ. නගුට වනනවා. අද ගෙවල්වල දඩෝරියා, ටොමියා වෙනුවට ඉන්නේ බේස් හඬින් බුරන මහ ලොකු බල්ලෝ. ජර්මන් ශෙපර්ඩ්ලා. උන්ට අහුවුණොත් අහල පහල මිනිහෙක් කියල බලන්නෙ නෑ. හපලා මරලා දාන්න තරම් දරුණු බල්ලෝ තමයි අද ගෙවල්වල හදන්නේ. බල්ලොත් ඩීසන්ට් වෙලා. බල්ලගෙ පෙනුමෙන් ගෙදර මිනිසුන්ටත්  ඩීසන්ට් වෙන්න පුළුවන් කියලා  තමයි හිතන්නේ.
අපේ ආච්චිලගෙ, සීයලගේ කාලේ හාමුදුරුවරු බණ කිව්වෙ නිර්වාණය අවබෝධ කර  ගන්නෙ කොහොමද කියලා. මේ  සියලු දේ අනිත්‍ය බව හැම වෙලාවෙම මෙනෙහි කළා. මැරෙන මිනිස්සු කියලා දැනගෙන හිටියා. පව් කරන්න බය වුණා. හැබැයි අද ගොඩක් හාමුදුරුවරු බණ කියන්නේ ජාතිය, ආගම නගා හිටුවන්නෙ කොහොමද? පවුල් ජීවිතය ගත කරන්නෙ  කොහොමද? වෙළෙඳ ව්‍යාපාර කරන්නෙ  කොහොමද? කියලා. සමහර  හාමුදුරුවරු ලිංගික ජීවිතේ ගත කරන්නෙ කොහොමද කියලත්  බණට දේශනා කරනවලු.  මුස්ලිම්  මිනිහෙක් බෞද්ධ ගෑනු කෙනෙක් කසාද බැඳලා ඒ ගෑනු  කෙනා මුස්ලිම් වුණාම අපේ අය හිතනවා බුදු දහම විනාශ වෙනවා කියලා. කොහේ හරි පල්ලියක් හැදුවාම... මුස්ලිම් කඩයක්  දැම්මම අපේ අය හිතනවා බුදු දහම ඉවරයි කියලා. බුදු දහම එහෙම විනාශ කරන්න  බෑ. ඔළු ගෙඩි ප්‍රමාණය වැඩි කරගෙන, පන්සල් ප්‍රමාණය වැඩි කරගෙන  බුදු දහම ආරක්ෂා කර ගන්න බෑ. පන්සලට යන්නේ හිතේ සැනසීම ලබා ගන්න. හැබැයි අද පන්සල්වලට ගියාම  ජාතිය, ආගම රැකීම වෙනුවෙන් ගහමරා ගන්න, ලේ රත් වෙන බණ තමයි අහන්න වෙන්නේ. හාමුදුරුවනේ, අපේ ජීවිතයට සැනසීම ලැබෙන, නිවනට හේතුවෙන බණ  කියන්න. අඳින පලඳින හැටි, ළමයි හඳන හැටි, ජාතිය රකින හැටි බණ, අපිට එපා.  බුදු දහම කියන්නෙ සිඟාලෝවාද සූත්‍රයට, පරාභව සූත්‍රයට විතරක් නෙමෙයි. අපිට ඕනේ මේ  දුක සහිත  ජීවිතේ  තවත් දික් කර ගන්න මගක් නෙවෙයි, මේකෙන් ගැලවෙන මගක්.
තාප්ප නැති ජීවිතයක් ගැන මිනිස්සුන්ට  හිතන්න  බැරි වුණාට ආණ්ඩුව හිතනවා.  ඒකයි කොළඹ තියෙන තාප්ප ගලවලා  නිදහස් අවකාශ ඇති කරන්නේ. හැබැයි ගෙවල්වල තාප්ප ගලවලා පරණ මානුෂික සම්බන්ධතාවලට යන්න මිනිස්සුන්ට බෑ. දැන් තියෙන්නේ  තාප්පෙන් වෙන්වෙච්ච සම්බන්ධතා. තව ටික  දවසකින්  ඒවත් වෙනස් වෙයි. සියලු දේ වෙනස් වෙනවනම්, නොවෙනස්ව තියෙන්න ඕනේ කියලා දුක් වීමෙනුත් වැඩක් නෑ. ඒ වුණාම අතීත කාමයෙන්  පෙළෙන මගේ හිත අතීතය සමග මෙතරම් බැඳෙන්නේ වර්තමානය වේදනා සහගත නිසා කියලා මට හිතෙනවා. ඒ  මේ වර්තමානයද අතීතයට අයත් වන නිසා. අතීතය කාලයට සාපේක්ෂ බවත්, සිතුවිලිවල වෙනසද ඒ අනුව  ගොඩනැගෙන බවත් මම දන්නවා.

No comments:

Post a Comment