Sunday, February 7, 2016

සමාජය තුළ ආර්ථික ප්‍රශ්න වගේම ලොකු ලිංගික ප්‍රශ්නෙකුත් තියෙනවා.




ළමයින්ව පැහැර ගන්නවා. ළමයින්ව දූෂණය කරලා මරලා දානවා. චෝදනා එන්නේ දෙමාපියන්ට ළමයින්ව පරිස්සම් කර ගන්නේ නෑ කියලා. දැන් දෙමාපියන්ට ළමයින් පිටි පස්සෙන්ම ඉන්න සිද්ධ වෙලා. ඒත් කොහොමද එහෙම ඉන්නේ. ආර්ථික අපහසුතාව අම්මටයි තාත්තටයි දෙන්නටම රස්සාවලට යවලා. අම්මයි තාත්තයි දෙන්නම රස්සාව කළත් ජීවත්වීම අමාරුයි. අම්මලා දරුවෝ දාලා රට යන්නේ ගෙයක් දොරක් හදාගෙන දරුවන්ට හොඳට උගන්නලා හොඳින් ජීවත් වෙන්න හිතාගෙන. හැබැයි අම්මලා රට ගියාම දරුවෝ අනාරක්ෂිතයි. ඉස්සර නම් ගොඩක් ගෙවල්වල තාත්තා විතරයි රස්සාවට ගියේ. අම්මා ගෙදරට වෙලා දරුවෝ බලාගෙන හිටියේ. ඒ හින්දා දරුවෝ අනාරක්ෂිතයි. ඒත් අද දරුවන්ට අම්මගේ ආදරය අහිමි වෙලා. අම්මත් උදෙන්ම රස්සාවට යනවා. ගෙදර එන්නේ රෑට. දරුවෝ හැදෙන්නේ එක්කෝ වැඩකාරයෝ ළඟ එහෙම නැත්නම් ආච්චිලා සීයලා ළඟ. එහෙම නැත්නම් තනියම ගෙවල්වල.  අද කාලේ ආච්චිලා සීයලාත් ඉස්සර කාලේ ආච්චිලා සීයලා වගේ නෙමෙයි. දැන් කාලේ ආච්චිලා සීයලා තමයි ටී.වී.වල යන මොලෝ රහක් නැති මෙගා නාට්‍ය දිහා කටවල් ඇරගෙන බලාගෙන ඉන්නේ. එයාලා දාන මාන දෙනවා. පන්සල් යනවා. සිල් ගන්නවා. හැබැයි එයාලගේ ඇත්ත ජීවිත ඇතුළේ ඇත්ත ආගමික ශික්ෂණයක් නෑ. අපේ ආච්චි මට රෑ නින්දට වැටෙනකම්ම බණ කතා කියලා දුන්නා. ජාතක කතා කියලා දුන්නා. ඒවායේ රහ අවුරුදු තිස් පහකට පස්සෙත් මට හොඳට දැනෙනවා. අද ආච්චිලා සීයලා බණ ඇහුවට බණ කතා ජාතක කතා දන්නේ නෑ. ඔය නළුවෝ වගේ ශරීරය මේන්ටේන් කරන නළු හාමුදුරුවන්ගේ විකාර බණ අහලා ඔළුව කුරුවල් කරගන්න උපාසක අම්මලා උපාසක මහත්තුරු තමයි අද ඉන්නේ. අන්‍යාගමිකයෝ බුද්ධාගම විනාශ කරනවා. උන්ට දෙන්න ඕනේ වැඩේ කියලා බණ අහලා ලේ රත් කරගෙන ඉන්නේ. ආගමෙන් ලැබෙන්න ඕනේ සැනසීම අද මහ එවුන්ටවත් පොඩි එවුන්ටවත් හම්බ වෙන්නේ නෑ. දහම් පාසල්, පන්සල් වෛරය පතුරවන තැන් බවට පත් වෙලා. ගෑනු අඳින ඇඳුම් පැලඳුම් ගැනයි, අන්‍යාගමිකයෝ බුද්ධාගම විනාශ කරන හැටියි තමයි ගොඩක් හාමුදුරුවෝ බණට දේශනා කරන්නේ. මේ ජීවිතේ තියෙන හිස්කම ගැන අනිත්‍යභාවය ගැන බණ දේශනාකරන හාමුදුරුවරු හරි අඩුයි. ඒවා අහන්නත් මිනිස්සු ප්‍රිය නෑ. මිනිස්සුන්ට බණ අහද්දීත් ඕනේ ත්‍රිල් එකක්. එක්කෝ හිනා වෙන්න කොමඩි ඕනෙ. එහෙම නැත්නම් දේශප්‍රේමයෙන් ජාතිවාදයෙන් ලේ රත්කර ගන්න ඕනෙ. සැනසීමක් ඕනෙම නෑ.
ඉතිං මං කිය කියා හිටියේ ළමයි ගැනනේ. ළමයි පරිස්සම් කර ගන්න ළමයා පිටි පස්සේ සිකියුරිටිගාඩ් කෙනෙක් දාන්න ඕනේ තැනටම රට පත්වෙලා. හැබැයි එතකොට සිකියුරිටි ගාඩ් ළමයාට කරදරයක් කරයි කියලා බයයි. ඒ තරමට සමාජය අනාරක්ෂිත වෙලා. සීයලා ළමයි දූෂණය කරන කොට සීයලා ගැන විශ්වාසය නැතුව යනවා. තාත්තලා දුවව දූෂණය කරන කොට තාත්තලා ගැන විශ්වාසය නැතුව යනවා. මාමලා, බාප්පලා, මහප්පලා, අල්ලපු ගෙදර මාමලා, අයියලා සේරමලා ගැන දැන් විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් යනවා. එතකොට කොහොමද සමාජයක් විදිහට අපි ජීවත් වෙන්නේ. දූෂිතයෝ, හොරු, මැරයෝ, බවට විශ්වාස කළ යුතු මිනිස්සු පත් වෙනකොට සමාජය අනාරක්ෂිත වෙනවා. ආර්ථික ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න ඔළුවට ආපු තාත්තලා කරටි කැඩෙන්නට බීලා ගෙදර ඇවිල්ලා අම්මට ගහනවා. ඔය බොන මිනිස්සු බොන්නේ විනෝදෙටම නෙමෙයි.  ටික වෙලාවකට හරි තමන්ට වද දෙන සමාජ ප්‍රශ්න වලින් පලා යන්න හිතාගෙන. මිනිස්සු ඉන්නෙම දැන් ඔළු අවුල් කරගෙන. බේරෙන්න බැරිතරම් ආර්ථික ප්‍රශ්න. පාරට බැස්සාම හිතාගන්න බැරි තරම් ලස්සන ගෑනු. ඒත් ලිංගික නිදහසක් නෑ. අනියම් සම්බන්ධතා වැහි වැහැලා. අනියම් සම්බන්ධතා පවත්වන හැමෝම තමන්ගේ ගෑනිගේ මිනිහගේ අඩුපාඩු කියවනවා. අඩුපාඩු නැති ගෑනු මිනිස්සු නෑ. ටික කාලයක් යනකොට අනියම් බිරිඳගෙත් අනියම් සැමියගෙත් අඩුපාඩු පේනවා. ඊටපස්සේ මරා ගන්නවා. පවුල් ජීවිතෙත් ඉවරයි. ළමයිනුත් ඉවරයි. මේ ළඟදී දවසක් මනෝ උපදේශකයෙක් මට මාරම කතාවක් කිව්වා. අම්මෙකුයි තාත්තෙකුයි එයා ළඟට අවුරුදු දහ අටක ගෑනු ළමයෙක් අරගෙන ආවලු. ඒ ගෑනු ළමයා එයාලගේ දුවලු. ඒ ගෑනු ළමයා අවුරුදු දහ අටට පිරිමි ළමයි  දහනව දෙනෙක් එක්ක යහන්ගත වෙලා තියෙනවලු. ඒ ගෑනු ළමයා පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්නේ ඇඳට යන්න බලාගෙන. පස්සේ හේතුව හොයලා බලද්දී තමා වැඩේ තේරිලා තියෙන්නේ. මේ ගෑනු දරුවා පුංචි කාලෙදී දැකලා තියෙනවා තමන්ගේ අම්මා තාත්තා වැඩට ගියාම අල්ලපු ගෙදර මිනිහා එක්ක ඉන්නවා. හැබැයි අම්මා තාත්තටත් පණ වගේ ආදරෙයිලු. තාත්තව අම්මා රවට්ටන විදිහත්, අම්මගේ ලිංගික හැසිරීමත් දැකපු නිසා තමයි මේ ගෑනු ළමයා මේ විදිහට හැසිරිලා තියෙන්නේ. මනෝ උපදේශකයා අම්මගෙයි තාත්තගෙයි පවුල් ජීවිත ආරක්ෂා කරලා මේ ගෑනු ළමයාගේ ජීවිතෙත් ගොඩදාල දීලා තියෙනවා.
සමාජය තුළ ආර්ථික ප්‍රශ්න වගේම ලොකු ලිංගික ප්‍රශ්නෙකුත් තියෙනවා. තමන්ගේ ලිංගික හැඟීම් පිටකරගන්න විදිහක් නෑ. එතකොට ඉතිං අහල පහල පුංචි ළමයි තමයි ඒවට අල්ල ගන්නේ. ඔය මසාජ් කරන ස්පාවලට වැඩිපුරම යන්නේ වයසක මිනිස්සු. ඒවට යන්න බැරි, යන්න ලැජ්ජා මහල්ලෝ තමන්ගේ ලිංගික හැඟීම් පිට කර ගන්නේ විකෘති විදිහට. ජනමාධ්‍ය‘යෙන් අවුලන ලිංගික උත්තේජනය මුදාහරින්න තැනක් නෑ. එතකොට ඉතින් පීඩනය වැඩියි. බටහිර රටවල මාධ්‍ය ආවරණය ලිංගික හැඟීම් උද්දීපනය කළාට ප්‍රශ්නයක් නැත්තේ ඒ රටවල වැඩහිටියන්ට ඕනේ තරම් ලිංගික නිදහසක් තියෙන හින්දා. අපේ අවුලන තරමට මුදා හරින්න විදිහක් නෑ. ඉතිං පීඩනය හා අසහනය තමයි ඉතුරු වෙන්නේ. එහෙන් සංස්කෘතිය, සදාචාරය, මෙහෙන් නීතිය. ඉතිං ගෙදර ඉන්න පොඩි එකා තමයි මේ අයගේ ගොදුර වෙන්නේ. හැඟීම් පාලනය කිරීම ගැන ආගම දහමෙන් වත් දැන් උගන්නන්නේ නෑ. එහෙම ඉගැන්නුවත් ලිංගික උත්තේජනය සපයන මාධ්‍ය අවකාශය පරාද කරන්න එම ඉගැන්වීම සමත් වෙන්නේ නෑ.
ආර්ථිකය නිදහස් වෙනවා. වෙළෙඳ පොළ පුළුල් වෙනවා. විනෝදාස්වාද ආර්ථිකයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ආර්ථිකයත් එක්ක එන්න ඕනේ ලිංගික නිදහස. ලිංගික වෙළෙඳ පොළ එන්නේ නෑ. එතකොට බැලන්ස් නෑ. මේ ආර්ථික ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැති සදාචාරවාදියෝ, දේශප්‍රේමියෝ කැසිනෝවලට විරුද්ධ වෙනවා. ගණිකා වෘත්තීය නීතිගත කරනවාට විරුද්ධ වෙනවා. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට විරුද්ධ වෙනවා. නිල් චිත්‍රපට බැලීම හිරේ යායුතු වැරැද්දක් වෙනවා. ආර්ථිකය යන පැත්තට නෙමෙයි මේවා යන්නේ. සදාචාරවාදී, ආගම්වාදී පැත්තට එනකොට බැලෙන්නේ නෑ. මෙහෙන් සදාචාරය බණ කියනවා. අරහෙන් ගෑනු හෙළුවෙන් නටනවා. දැන් කොළඹ මුහුද යට කරලා නගරයක් හැදුවාම ඔතනට අපේ ආගම, සදාචාරය, සංස්කෘතිය හරි යන්නේ නෑනේ. ඔය නගරේ පන්සල් හදලා හරියන්නේ නෑනේ. විදේශිකයෝ එන්නේ විනෝද වෙන්නනේ. ඉතින් එයාලට විනෝද පහසුකම් සපයන්න ඕනේ. ගණිකාවෝ ඕනේ. කැසිනෝ ඕනේ. ඉතිං වැරැද්දක් නෑ. යකාගේ හැටියටනේ විමානේ. අපේ දේශප්‍රේමියෝ, බොදුබලේ කට්ටිය, රාවණාගේ කට්ටිය ඕනේ නම් මේ මුහුද යටකරලා හදන නගරේ පන්සලක් හදන්න ඕනේ කියයි. ප්‍රධාන දේට විරුද්ධ නෑ. එයින් ඇතිවන අතුරුපලවලට තමයි විරෝධය පාන්නේ. මම කියන්නේ මේ කොළඹ හදන නගරය අපේ සංස්කෘතිය ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. බොදුබල, රාවණා බල, සිංහල රාව, හෙළ උරුම සේරම ඉවර කරනවා. එයාලට අලුත් විරෝධතා හදා ගන්න වෙනවා. ආණ්ඩුව මේ මොහොතේ කරන වැරැද්ද තමයි ඡන්ද ගන්න ආගම්වාදී, ජාතිවාදී සංවිධාන හුරතල් කරන ගමන් විනෝදාස්වාදී ලිබරල් ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යෑම. ගැළපෙන්නේ නැති අය සමග එකට සිට ගැනීම අවුලක්. ඒ අවුල්වලින් සමාජ දේහයම කඩා වැටෙනවා. ආර්ථික ක්‍රමයත් සංස්කෘතියත් අපි පටලවාගෙන විකාර ගමනක් තමයි මේ යන්නේ.

No comments:

Post a Comment