Monday, February 8, 2016

බොරු පොෂ්කම් ෆේස් බුක් හරහා දෝරේ ගලමින් තිබේ





දෙදහස් එකේදී ෆේස් බුක් නොතිබුණේය. සුලබ වශයෙන් ඩිජිටල් කැමරාද නොතිබුණේය. ඒ කාලය තුළ තිබුණේ රීල් දමන කැමරාය. ෆෝටෝ ගත්තේ පරිස්සමටය. එකල අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය‘යෝ වෙමු. අපි සංක්‍රාන්ති සමයක උරුමක්කරුවෝ වූහ. ජංගම දුරකථනද හැමෝටම නොතිබුණේය. පැමිණෙන දුරකථන ඇමතුමටද සල්ලි කැපුණේය. ටච් ෆෝන් නොතිබුණේය. කැමරා ෆෝන්ද තිබුණේ නැති තරම්ය. අප විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරන විට ඩිජිටල් කැමරා, ජංගම දුරකථන සුලබ  උනේය. ෆේස් බුක් ආවේය. ඉන්ටර්නේට් යන්නෝ බහුල වූහ.
මා මේ කතාව කීවේ දෙදහස් එක වසරේ විශ්වවිද්‍යාලයෙ පළමු වසර ශිෂ්‍යයන්ව සිටියදී ගත් ඡායාරූපයක් මිතුරෙකු විසින් ෆේස් බුක් සමාජ ජාලයට එකතු කර තිබෙනු දැකීම නිසාය.
එකල අප ඡායාරූප ගත්තේ ෆේස් බුක් දමන්නට නොවේ. ෆේස් බුක් දමන්නට ගන්නා ඡායාරූපත්, ෆේස් බුක් නොමැති කාලයේ ගත් ඡායාරූපත් අතර ලොකු වෙනසක් තිබේ. ෆේස් බුක් දමන්නට ගන්නා ඡායාරූපවල කෘත්‍රිම බවත්, මවාගත් ස්වරූපයත්, තමන්ගෙ අභිමානයත්, ආර්ථික හැකියාව පෙන්වීමත් ගැබ්වී තිබේ. තමන්ට තිබෙන්නේ ඉතා දුප්පත් ගෙයක් නම් ගේ ඉදිරිපිට සිට ඡායාරූප ගෙන ෆේස්බුක් ගිණුමට එක් කරන්නේ නැත.
මමත්, පුංචි පුතාත් ඡායාරූපයකට පෙනී සිටින විට බිරිඳ කීවේ ඔතන ඉඳන් ගත්තොත් තාප්පේ කැතට  පේනවා කියාය. කපරාදු කර තැනින් තැන දියසෙවල බැඳුණ තාප්පය සහිත පසුබිම කැත වූයේ ඇයට නොවේ. එම ඡායාරූපය ෆේස්බුක් ගිණුමට එක්කළ පසු ඇයගේ මිතුරු මිතුරියන් එය දකින නිසාය.
එක ඡායාරූපයක් ෆේස් බුක් එකෙන් දුටු බිරිඳගේ මිතුරියක් ඔයාගේ හස්බන්ඩ් ගෙදරට අඳින්නේ සරමද කියා අසා තිබුණාය. සරම අඳින්නේ වයසක අයනේද කියාද එම මිතුරිය අසා තිබුණි. සරම, පොෂ් සමාජ ජීවිතයට අවුලකි.
බොරු පොෂ්කම් ෆේස් බුක් හරහා දෝරේ ගලමින් තිබේ. ගෙදර වංගෙඩිය උඩ වාඩි වී බත් කන ඡායාරූපයක් ෆේස් බුක් ගිණුමට එක් නොවන්නෙත්, සුපිරි හෝටලයක කන පිඟානේ සමීප ඡායාරූපයක් ෆේස් බුක් ගිණුමට එක් වන්නෙත් ඒ නිසාය.
මිතුරා ෆේස් බුක් ගිණුමට එක් කර තිබූ ඡායාරූපයේ මා සිටින්නේ උඩුකය නිරුවත්ව සරමක් ඇඳගෙනය. හොස්ටල් එකේ සිටි බොහෝ දෙනෙක් ඇන්දේ සරම්ය. මේ ඡායාරූපය කවදා හෝ ෆේස් බුක් නමින් හැදෙන සමාජ ජාලයකට එක් වනු ඇතැයි මම සිහිනෙකික්වත් නොසිතුවෙමි. එය දැන සිටියා නම් මම උඩුකය වැසෙන්නට කමිසයක් හෝ ඇඳ ගන්නෙමි.
අද ඡායාරූපයක් ගන්නා විට මොකෙක් හෝ එය ෆේස් බුක් ගිණුමට එක් කරන බව සෑම දෙනාම දනිති. එම නිසා එම ඡායාරූපවලට පෙනී සිටින විදිහද වෙනස්වී තිබේ. ඡායාරූපවලට පෙනී සිටීමේ ඉතිහාස හැදෑරීමෙන් ලාංකීය සමාජයේ වෙනස් වීමද හඳුනා ගැනීමට හැකි වෙයි.

No comments:

Post a Comment