Wednesday, February 24, 2016

විද්‍යාවට මොන දේ අහුවුණත්, නිවන තාම අහුවුණේ නෑ...




දේව ආගම්වල දෙවියෙක් ඉන්නවා. ඇත්තටම දෙවියෙක් හිටියත් නැතත් දේව ආගම්වල ස්වරූපය තමයි දෙවියන් වහන්සේ ඉන්නවා කියලා හිතන්නට පුරුදු කිරීම. ඉතිං ඉන්න දෙවියන්ගෙන් හැමදේම ඉල්ලන්න පුළුවන්. සල්ලි, යාන-වාහන, බිරිඳක්, සැමියෙක්, රස්සාවක් ඉල්ලන්න පුළුවන්. හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි සිද්ධ වෙන්නෙ. හැබැයි නිවන එහෙම දෙයක් නෙමෙයි. නිවන දෙවියෙකු නෙමෙයි. නිවන කියන්නේ බුදුන්ටත් නෙමෙයි. නිවනෙන් අපිට කිසිම දෙයක් ඉල්ලන්න බෑ. නිවන කියන්නෙ අවබෝධයේ අවසානයටද? නිවන කියන්නෙ දරුණු මානසික අභ්‍යාසයක්, වෙහෙසකර මානසික ක්‍රියාවලික්. දෙවියන්ව පිළිඅරගෙන ජීවත් වෙන්න ලේසියි. පහසුයි. හැබැයි නිවන ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න බෑ... බෞද්ධයගෙ අවසාන ඉලක්කය නිවන මිසක්, බුදු හාමුදුරුවෝ නෙමෙයි. අපි නිවන අතහැරලා බුදුන් වහන්සේව අල්ලගෙන බුදුන් වහන්සේව දෙවියෙකු කරගන්න හදනවා. බුදු හාමුදුරුවෝ දෙවියෙකු නෙමෙයි. බුදු හාමුදුරුවෝ සිතීමේ අවසානයත් සොයා ගත්තා. නතර වෙන තැනත් සොයා ගත්තා. අවසාන වශයෙන් සතුටු වෙන්න පුළුවන් වන නිමාවත් සොයා ගත්තා. මොකක්ද ඒ? ඒ තමයි නිවන. නිර්වාණය බුදුහාමුදුරුවෝ සොයා ගත්ත දෙයක්. උන්වහන්සේ නොතිබුණු දෙයක් හොයා ගත්තද? නෑ... තිබ්බ දෙයක්, මනුෂ්‍යයා මෙතෙක් සොයා නොගත්ත දෙයක් උන්වහන්සේ සොයා ගත්තෙ. ඒක ද්‍රව්‍යයක්ද, නෑ.... සංකල්පයක්ද, මතවාදයක්ද, ඒත් නෑ... ඒක දරුණු මානසික අභ්‍යාසයක්. හිතින් හිතහිත භාවනා කරමින් ලබාගත්ත දෙයක්. හිතීමත්, භාවනාවත් අතහැරීමක්. අතහැරීමද, අතහැරීමක්. නිර්වාණය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන්නෙක් බුදු හාමුදුරුවන්ව දෙවියෙකු වගේ අල්ලගෙන හිටියොත්, නිර්වාණය කියන්නේ මොකක්ද කියලවත් අවබෝධ කරගන්න බැරිවෙයි. බුදු හාමුදුරුවොයි, නිවනයි කියන්නෙ එකක් නෙමෙයි, දෙකක්. නිවනට යන විදිහ බුදු හාමුදුරුවෝ පෙන්නලා දුන්නා. මනුෂ්‍යයා නොදැන හිටපු දෙයක් හොයලා දුන්නා. සොයා ගැනීම් කරන්නෙ විද්‍යාඥයොනේ... බුදු හාමුදුරුවොත් විද්‍යාඥයෙකු වගේ. තමන්ගෙ හිත එක්ක මහා අරගලයක් කරලා තමයි නිවන අවබෝධ කර ගත්තෙ. බුදුන්ගෙ පර්යේෂණාගාරය තමයි හිත. බටහිර විද්‍යාව නියමයන්, වාදයන්, සූත්‍ර, සමීකරණ විදිහට එළියට දානවා. නිවන සාපේක්ෂතාවාදය වගේ එකක් නෙමෙයි. හැබැයි කවද හරි නිවන X, Y සූත්‍ර ඇතුළේ... ගණිත සමීකරණ ඇතුළේ... විද්‍යාඥයන් පහදලා දෙයි කියලා මට හිතෙනවා. විද්‍යාවට මොන දේ අහුවුණත්, නිවන තාම අහුවුණේ නෑ... දැන් කාට හරි කියන්න පුළුවන් දෙවියන් වහන්සේවත් විද්‍යාවට අහුවුණේ නෑ.... දෙවියන් වහන්සෙත් කොහේ හරි ඉන්නවා කියලා.... ඉන්න කට්ටිය සොයා ගන්න තරම් විද්‍යාව දැන් දියුණුයි. විද්‍යාව දියුණු නෑ කියලා හිතනවා නම්, ඉදිරි අවුරුදු සීය දෙසීය ඇතුළත ඉන්නවා කියන දෙවියෝ, ප්‍රේතයෝ, භූතයෝ සොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම හොයලත් හම්බ වුණේ නැත්නම් මොකද වෙන්නේ.... 

4 comments:

  1. /විද්‍යාවට මොන දේ අහුවුණත්, නිවන තාම අහුවුණේ නෑ... /
    නැති මඟුලක් කොහොම ද හොයා ගන්නේ? නිවනක් හොයා ගන්න නම් ඊට ඉස්සරින් ඉස්සර නැවත උපදිනවා කියල එකක් සොයා ගන්න වෙනවනේ.

    ReplyDelete
  2. දැනට විද්‍යාවෙන් ඔප්පු නොවූ තමාගේ ආගමික මනස්ගාත කවදා හරි ඔප්පු වේය කියල හිත හිත සතුටු වෙන එක බෞද්ධයන් පමණක් පෙන්නුම් කරන හැසිරීමක් නොවේ. මේ කතාවම වචන මාරු කොට බොහෝ ආගමිකයන් කියනවා අසා ඇත්තෙමි. කමක් නැත. කාටකාටත් සතුටු නම් අපටත් සතුටුය.

    ReplyDelete