Tuesday, February 9, 2016

මරණයට ලෑස්ති වෙන එක, ජීවත් වෙන්න ලෑස්ති වෙනවා තරම් ලේසි නෑ




මම මැරුණොත් මොකද වෙන්නෙ කියන එක ගැන මම දවසට ඒක පාරක් හරි හිතනවා. අවුරුදු තිස්හයක් මරණය මඟහරිමින් ජීවත් වුණා කියන එකත් පුදුමයක්. ජීවිතයේ විශාල අනතුරු කලාප පහු කරලා ඒවාට මුහුණ දීලා අවුරුදු තිස්හයක් ජීවත් වීම මට නම් පුදුමයක්.
ජීවිතය කියන්නේ අනතුරු කලාපයක්. මරණයට අතවනන අනතුරු කොහෙද නැත්තෙ?.... ශරීර අභ්‍යන්තරයේ තියෙන මොන මොන ලෙඩ රෝග අපිව මරණය කරා ගෙන යන්න හදනවද කියලා ලෙඩේ හැදිලා හඳුනගන්නකම්ම අපි දන්නෙ නෑ. එතකොට හදිසි අනතුරු කොයි වෙලාවෙ මරණයට පත් කරයිද කියලා දන්නවද? ඒත් නෑ....
දෙකේ දෙකේ පොල්ලකින් හොඳ පාරවල් දෙකක් ඔළුවට වැදුණොත් මැරිලා යනවා. මේ ශරීරය හරිම දුර්වලයි. අපි මේ දුර්වල ශරීරය  රැකගන්න, පරිස්සම් කර ගන්න මොනතරම් මහන්සි වෙනවද?
වයසට යාම සමරන එක නම් මට අනුව පිස්සු වැඩක්. මරණයට ළං වීම කේක් කපලා පාටි දාලා සමරනවා. වයසට යාම ළං වෙන්නේ ජීවිතයට නෙවෙයි, මරණයට. මරණයට ළං වීම විනෝදයක් ලෙස සමරනවා නම් මරණයත් විනෝදයක් වෙන්න ඕනේ. හැබැයි මරණය අපි හැමෝටම මහා දුකක් නේ.... දුක අතරින් මහාම දුක මරණය නේ..... අනිත් සියලුම දුක මරණයට මෙහායින් තියන ඒව නේ.....
බස්වල බෝම්බ පුපුරන කොට, හන්දි ගානේ බෝම්බ පුපුරන කොට අපි මැරෙන්නේ නැතුව බේරුණෙ අපි ඒ තැන්වල හිටපු නැති නිසා. ඒ මොහොතේ එතැන නොහිටියට ඒ තැන් අපි හිටපු තැන්. එතැන වෙන අය ඒ වෙලාවෙ හිටපු  නිසා ඒ අය මැරුණා, අපි බේරුණා. අපි නොසිටින, නොසිතන තැන්වලට විතරක්ම නෙමෙයි මරණය එන්නේ.... අපි සිටින, අපි සිතන තැන්වලත්  මරණය තිබෙනවා, අනිකා මැරෙනවා.... අපි බේරෙනවා. කවදා හරි අපිත් මැරෙනවා. එතකොට අනිකා හිතනවා ඌ මැරුණා මම බේරුණා කියලා. හැබැයි බේරීමක් නෑ.... මරණය හඹාගෙන එනවා.... දුවලා බේරෙන්න, හැංගෙන්න බෑ... කල් දා ගන්න බෑ.
ජීවත් වෙනකොට මැරෙනවා කියලා අමතක වෙනවා. මැරෙනකම්ම මරණය අමතක වෙනවා. මරණයට දින දාගෙන හිත හදාගෙන  ඉන්න මිනිස්සු මට හම්බවෙලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන් මැරෙනවා කියලා. අපිත් දන්නවා අපි මැරෙනවා කියලා. නිශ්චිත  කාල වකවානු, දින අපි දන්නෙ නෑ. හැබැයි එයාල දන්නවා ලෙඩ රෝග හින්දා තව මාස තුනයි, අවුරුද්දයි, සතියයි ජීවත් වෙන්න තියෙන්නෙ කියලා... ඔන්න එතකොට මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවා.... මොකද දොස්තරලා මරණය සහතික කරලා දෙන හින්දා.....
අපි හිතනවා ජීවිතේ කියන්නේ දින නැති, ගාණ නැති හිස් චෙක් එකක් කියලා. එහෙම නෑ.... ජීවත් වෙන්න ඕන, ගාණ ගන්න ඕන දිනේ සේරම මාක්වෙලා තියෙනවා. එතකොට ඉතිං සේරම අතහැරලා යන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ.... ලෑස්ති නොවී හිටියොත් යන්න හිතෙන්නෙ නෑ. මරණයට ලෑස්ති වෙලා ඉන්න එක, ජීවත්  වෙන්න ලෑස්ති වෙනවා තරම් ලේසි නෑ.

No comments:

Post a Comment