Friday, February 12, 2016

පිං කියන සංකල්පයට බය කරලා හොඳ මනුෂ්‍ය‘යෝ හදන්න බෑ



අපේ රටේ මිනිස්සු බහුතරයක්ම හොඳයි කියන නාමය අලවගෙන ඉන්නේ  පින  කියන සංකල්පය හින්දා. පින කියන සංකල්පය අපිට නොතිබුණා නම් මනුෂත්වයේ නාමයෙන් හොඳ මිනිස්සු වෙන්නෙ නෑ. පිං එකතු කර ගන්න පුදුම පෙරේතකමක් තියෙන්නේ. පන්සල්වලට වැඩිපුරම යන්නේ පින් පෙරේතයෝ... පන්සල්වල ඉන්න පින් පෙරේතයෝ දැකීම මට නම් අප්‍රසන්න දර්ශනයක්. පන්සල් බදාගෙන තරගයට පින් කරන මේ පිං පෙරේතයෝ එන්න එන්නම වැඩි වෙනවා. දැන් ඔන්න සිංහල බෞද්ධකම ඇඟට ගත්ත අයට අසූ හාරදාහට තද වෙනවා...  මම පිං පෙරේතයා කියලා ලිවීම ගැන  මම  ලියන්නේ අන්‍යාගමිකයෙක්. එහෙම නැත්නම් ඩොලර් කපුටෙක්... එන්.ජී.ඕ. කාරයෙක් කියලා දැනටමත් හිතනවා ඇති. අනේ නෑ... මම දහම් පාසල් අවසාන විභාගයෙන් පාස්වෙලා දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත් උගන්නපු කෙනෙක්. ඒ හින්දා මට ඔය පන්සල් වැඩ, උපාසක මහත්තුරු, උපාසක අම්මලා ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
තව මිනිහෙකුට මම මනුෂ්‍යත්වයේ නාමයෙන් උදවු නොකර, මගේ පරලොව ජීවිතේ ගොඩදාගන්න පිං පිණිස උදවු කිරීම අප්සට් නැද්ද? මට පිං ගන්නද මේ ලෝකේ අසරණ දුප්පත් මිනිස්සු ඉපදිලා ඉන්නෙ. දුප්පත් අසරණ මිනිස්සුන්ට උදවු කරන්න ඕනේ පිං ගන්න බලාගෙනද? පොඩි කාලේ ඉඳන් ළමයින්ව පිං පෙරේතයෝ කරන්න එපා... අපි අසරණයන්ට, දුප්පතුන්ට උදවු කරන්න ඕනේ... අපිට පිං ගන්න බලාගෙන නෙමෙයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් කියලා අවබෝධ කරලා දෙන්න. මම දන්නවා ඔය දහම් පාසල්වලින් උගන්වන්නෙම පිං පෙරේතයෙක් වෙන විදිහ. සැබෑ මනුෂ්‍ය‘යෝ නිර්මාණය කරන්න අපේ දහම් අධ්‍යාපනයට නොහැකි වෙලා තියෙනවා. යථාවබෝධය සහිතව ජීවිතය දකින්නෙක්ට වඩා අමුකුහකයන් තමයි අපේ දහම් අධ්‍යාපනයෙන් බිහිවෙලා තියෙන්නෙ. ළමා සාරිය, ජාතික ඇඳුම ඇන්දම සිල්වතෙක්, හොඳ මනුෂ්‍ය‘යෙක් වෙනවද? පිං කියන සංකල්පයට බය කරලා හොඳ මනුෂ්‍ය‘යෝ හදන්න බෑ. එහෙම පුළුවන් උනා නම් දැන් හැඳිලා තියෙන්න එපැයි. මම මේ කියන්නෙ ආගම දහම අපේ ජීවිතවලට අවශ්‍ය නෑ කියලා නෙමෙයි. අපි ආගම දහම ජීවිතයට සම්බන්ධ කරගෙන තියෙන විදිහේ ලොකු අවුලක් තියෙනවා. පන්සලේ දියුණුව කියන්නේ පන්සල වටේ හිරගෙදර වගේ ලොකු තාප්පයක් බඳින එකට. ආවාසගේ ටයිල් කරන එකට. සතිය ගානේ මල් පෙරහර යන එකට නේ... හැබැයි මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් කිසිම දියුණුවක් ලබලා නෑ. බෝධි පූජාවට අත ගහලා, සාදු කියලා, කවි බණක් අහලා ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බෑ. මෝස්තරේට භාවනා පංති ගිහිල්ලා සෝවාන් සහතික අරගෙන ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නත් බෑ. මේ සියලු තැන්හිම විශාල ව්‍යාජයක් මවාපෑමක් මට පේන්න තියෙනවා. හෙන බොරුකාරයෝ, හෙන කුහකයෝ ටිකක් පන්සල් භූමිය අරක්ගෙන ඉන්නවා.
මට මේ වගේ විවේචනයක් කරන්න හරි නිදහස් මනසක් ඇති වුණේ මම බෞද්ධයෙකු උන නිසා බව මම දන්නවා. බලකිරීම් කිසිවක් නැති බෞද්ධයෙකු වීම ගැන මම සතුටු වෙනවා.

No comments:

Post a Comment