Wednesday, February 10, 2016

පුරුෂ ලිංගයක් හා යෝනියක් ප්‍රේමය නිසා ඉතුරු වෙයි




ප්‍රේමය වෙනුවෙන් මැරෙන්නට සිතූ බොහෝ දෙනෙක් මරණය වැලඳ ගත්තේ නම් ඇතැම් විට ඔබත්, මමත් දැන් සිටිනුයේ මළවුන් අතරය. ප්‍රේමයේ වේදනාව මරණයට ආරාධනා කරන්නේය. ප්‍රේමයේ වේදනාව මරණීය වන්නේ ඇයි? ප්‍රේමයේ වේදනාවට මරණයෙන් ලැබෙන විමුක්තිය කුමක්ද? ප්‍රේමය යනු අප්‍රමාණ වූ හැඟීම් සමුදායකි.
ප්‍රේම කරද්දී අපි ඒ හැඟීම් සමුදායේ ගොදුරක් වන්නෙමු. ප්‍රේමය ප්‍රේමය තුළම දකිනු මිස, ඉන් පිටතට පැමිණ නොදකියි. ඒ නිසා ප්‍රේමය ගැන හොඳම අවබෝධය ලැබෙන්නේ ප්‍රේම කරද්දී නොව, ප්‍රේම නොකරද්දීය. ප්‍රේමය දකින්නට නම් ප්‍රේමයෙන් පිටතට පැන ප්‍රේමය දැකිය යුතුය. මගේ ශරීරයේ සියලුම අංග නිවැරදිව දකින්නට නම් මට මගේ  ඇස් දෙක මදිය. මට ඒ සඳහා කණ්ණාඩියක් අවශ්‍යය. මගේ ඇස් දෙකෙන් මට මගේ මුහුණ නොපෙනෙයි. අනුන්ගේ මුහුණු පෙනෙයි. ප්‍රේමයද එසේමය. ප්‍රේම කරද්දී ප්‍රේමය යනු කුමක්දැයි නිවැරදිව නොවැටහෙයි. ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීමට වෙනත් යමක් අවශ්‍ය වෙයි. මා නිවැරදිව දකින්නට මා මගෙන් පිටතට පැන්නොත් මට මා අහිමි වෙයි. මට මා තුළ සිට මා දැකිය හැකි නම් ප්‍රේමයද ප්‍රේමය තුළ සිට දැකිය හැකි වෙයි. එහෙත් අපි එවැනි දියුණු මනුෂ්‍යයෝ නොවෙමු.
ප්‍රේමයේ වේදනාව වෙනුවෙන් මරණයට ආරාධනා කිරීම මට අනුව නම් ගොන්කමකි. මැරෙන්නට තරම් ප්‍රේමයක් මනුෂ්‍ය ජීවිත තුළ මට නම් නොපෙනෙයි. මැරෙන්නට හිතෙන තරම් ව්‍යාජ ප්‍රේමයක් නිර්මාණය කරන්නේ කවියෝය, නවකතාකරුවෝය, චිත්‍රපටකාරයෝය, භාෂා කපටියෝය. එය ප්‍රොඩාවක් බව නොදන්නා ප්‍රේමවන්තයෝ ප්‍රේමය වෙනුවෙන් දිවි පුදති. ලබනආත්මයේ එකතු වීමක් පතති. ප්‍රේමය සංසාරයට ගැට ගසති. භාෂාමය ප්‍රොඩා ගලවාගෙන.... ගලවාගෙන.... ගලවාගෙන..... යන විට අවසානයේ ප්‍රේමය නිසා ඉතුරු වන්නේ නිරුවත් ශරීර දෙකකි. පුරුෂ ලිංගයක් හා යෝනියක් ප්‍රේමය නිසා ඉතුරු වෙයි. සියලු බොරු මේ ඉන්ද්‍රියන් දෙක මත්තෙහි ගොඩනැගී තිබේ. උත්තරීතර, පරම පිවිතුරු, උතුම් පැතුම් පෙම්වත්හු මගේ ඉහත ප්‍රකාශයෙන් කිපී අවි අමෝරා ගනු ඇත්තාහ. එහෙත් සත්‍ය එය නම් මා කුමක් කරම්ද?
ප්‍රේමය වෙනුවෙන් නොමැරෙන්නට යැයි මම ඔබට ආරාධනා කරන්නේ ප්‍රේමයේ උත්කෘෂ්ට පරම පිවිතුරු භාවය නිසා නම් නොවේ. බොරුවක් වෙනුවෙන් ඇයි ඔබ ඇත්තටම මැරෙන්නේ..... ශරීරය අහිමි කර ගන්නේ.... බොරුවට ආදරය කරනවා, හැබැයි බොරුවට මැරෙන්න බෑනේ. මැරුනොත් ඉතිං මැරුණාමයි. දියඇලි වලින් පැනලා, වස බීලා, බෙල්ලෙ වැල දාගෙන ඇයි ඔබ මැරෙන්නේ. ගෙදරින් අකමැති නම් පැනලා යන්න, මැරෙනවට වඩා පැනලා යන එක හොඳ නැද්ද? කොල්ලා දාලා ගියොත්, කෙල්ල දාලා ගියොත් ආපහු නැවුම් ශරීරයක හිමිකාරයෝ වෙන්න. මොකටද මැරෙන්නේ..... ඇයි  මෙච්චර දුක් විඳන්නේ..... එකම බොරු ටිකනේ හැම පෙම්වතා, පෙම්වතියම කියන්නේ. ඔය ටික ඉතිං මාරු වෙවී කියා ගන්න, ගස්ගල් යට තුරුලු වෙලා එකම කෙබර ටිකනේ කියවන්නේ. බැන්දත් එහෙමනේ.... හෙන බොරුවක් ඇත්තක් කියලා හිතාගෙන පවුල් ජීවිත ගෙවාදාන එකනේ කරන්නේ..... මේ තරම් ප්‍රොඩාවක් වෙනුවෙන් මැරෙන එක ගොන්කමක් නෙමෙයිද?

No comments:

Post a Comment