Saturday, February 6, 2016

සියලු විශ්වාසයන් අහිමිකරගත් මිනිසාට, ජීවත් වීමට විශ්වාසයක් අත්‍යවශ්‍යය




එළඹෙන අනාගතය තුළ විශාල තනිකමකට, හුදකලාවකට පත්වීමට නියමිත ජීවියෙක් ලෙස මම වර්තමානයේ ජීවත් වෙමි. කළ යුත්තේ කුමක්දැයි කියා නිශ්චිතව මට නොවැටහෙයි. පවතින්නට යමක් කළ යුතුව ඇත. ඒ කුමක්ද?
ජීවත් වීමට මිනිසුන්ට විශ්වාසයක් අවශ්‍ය නොවේ. ආගම ගැන විශ්වාස කරන මිනිසුන්ට අධ්‍යාත්මික සුවය ලබාදෙයි. දේශපාලන, ආර්ථික ක්‍රමය ගැන විශ්වාසය ඇති මිනිසුන්ට භෞතික ජීවිතයේ සැප පහසුව පිළිබඳ විශ්වාසය ලබාදෙයි. මේ දෙක ගැනම විශ්වාසය තබා කටයුතු කරන මිනිස්සු සමාජයේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට අධ්‍යාත්මික සුවයත්, භෞතික ජීවිතයේ සුවයත් ලැබෙන්නේ ඔවුන්ගේ විශ්වාසයේ පරිමාවට අදාළවය. ඔවුන් අධ්‍යාත්මික සුවයේ පරිමාව ගැන ප්‍රශ්න නොකරන්නේය. ඔවුහු රහත් වූවා යැයි පවසන මානසික රෝගීන්ගේ අනුගාමිකයන් වන්නෝය. ඔවුන්ට එය අධ්‍යාත්මික සුවයක් වන කළ අප වැන්නෝ එවැනි දෑ නිර්දය ලෙස විවේචනය කරමින් අප සතුවිය යුතු ආධ්‍යාත්මික සුවය නැතිකර ගන්නේ යැයි මට සිතෙයි. සියලු විශ්වාසයන් අහිමිකරගත් මිනිසාට ජීවත් වීමට විශ්වාසයක් අත්‍යවශ්‍යය. එම විශ්වාසය ලබාදීමට ආගම ද, ජාතිය ද, පවුල ද, සමාජය ද, ආණ්ඩුව ද අසමත් වනවිට, විශ්වාසයක් ලෙස ව්‍යාජයක් බාර ගැනීමට සිදුවෙයි.
දැන් අප ඇස් පනාපිටම ඔප්පු වන ව්‍යාජයක්, විශ්වාසය ලෙස භාර ගනිමින් සිටියි. රජෙක් වැනි නායකයෙක් සිටියි. එම නායකයා රට වැසියාට අප්‍රමාණව ආදරය කරයි. ළමයින් හුරතල් කරයි, උඩ දමයි, පෝයට බණ අසයි. එය ව්‍යාජය ද, විශ්වාසය ද කියා මම ඔබෙන් අසමි. ආගම හා ජාතිය වෙනුවෙන් පණ දෙන සංවිධාන වේගයෙන් බිහිවෙයි. ජාතිය හා ආගම වෙනුවෙන් හඬ තලයි. දේශප්‍රේමයෙන්, ජාතිවාදයෙන් ලේ රත්කර ගත් උන්මත්තකයෝ ඉහඳ පණුවන් මෙන් බෝ වෙති.
මේ ව්‍යාජය විශ්වාසයක් බවට පත් වෙමින් තිබෙයි. රට වටේම ඇත්තේ ආශ්චර්යයි. ගුවන් තොටුපොළ, වරාය, හයිවේ, ලස්සන කොළඹ, අපගේ රැස් රවට්ටමින් තිබෙයි. ව්‍යාජය විශ්වාසය බවට පත්වී තිබේ. කොළඹ ලස්සන දකින කොළඹ මහා ඉස්පිරිතාලයට යන රෝගියාට බෙහෙත් වර්ග, ලේ පරීක්ෂණ මුදල් ගෙවා පිටතින් අරගෙන එන්නට කියයි. මුදල් නැත්තෝ කොළඹ ලස්සන බලමින් මරණයට දින ළංකර ගනිති. ව්‍යාජය විශ්වාසය කරගත් කල්හි තමන් රැවටෙන බව පවා තමන්ට නොදැනෙයි.

No comments:

Post a Comment