Wednesday, August 3, 2016

ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ.
ක්‍රිකට් යනු සුදු ජාතිකයන් අව්වේ තැපීම සඳහා සාදාගත් ක්‍රීඩාවකි. පන්දු යවන්නාත්, පන්දුවට පහර දෙන්නාත් හැරුණු විට අනෙක් පිරිස පන්දුව පැමිණෙන තුරු කටවක්කර ගෙන ඔහේ බලා සිටිති. ක්‍රිකට් ක්‍රීඩාව අපට ආකර්ෂණීය වුවද, ක්‍රීඩාවක් ලෙස ඉතා සෙමින් සිදුවන කම්මැළි ක්‍රීඩාවකි. පන්දු ඕවර පණහක් උදේ සිට සවස් වන තුරු ක්‍රීඩා කරන අතර, ටෙස්ට් තරගයක් දින පහක් ක්‍රීඩා කරයි. දින පහක් ක්‍රීඩා කළද, බොහෝ තරග ජය පැරදුමකින් තොරව නිමවෙයි. දවස් පහක් සෙල්ලම් කළද, ජයග්‍රහණයක් ලැබිය නොහැකි තරගයක් වෙතොත් ඒ ක්‍රිකට්ය. සුද්දාට අප යටත්ව නොසිටියා නම් අපට ක්‍රිකට් නැත. සුද්දා ජීවත් වන සීතල රටවල අවුවේ තැපීමට හදාගත් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් හැඳින්විය හැක. අංශක අනූවට ඉරමුදුන් වන අපේ රටේද, කට්ට අව්වේ වේලෙමින් ක්‍රීඩා කිරීම අපට ඉමහත් ජොලියකි. එහි ඇති අවුලක් අපට නොපෙනෙයි.
ක්‍රිකට් තව දුරටත් රට ජාතිය දේශප්‍රේමය නියෝජනය කරන ක්‍රීඩාවක් නොවේ. අපේ කොල්ලෝ, අපේ අය සිංහ පැටව් යනු නරඹන්නන් චූන් වීම පිණිස හදාගත් සංකල්පය. ඔය කිසිම ක්‍රීඩකයෙකු රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ නැත. ක්‍රිකට් දැන් දේශීයත්වයෙන් ගෝලීය තත්ත්වයට පැන ඇත. ක්‍රීඩකයෝ මුදලට වෙන්දේසි වෙති. විශ්‍රාම ගිය පසු වෙනත් රටවල පුහුණුකරුවන් වී, එම ක්‍රීඩකයන් තමන්ගේ රටට විරුද්ධව ජයග්‍රහණය කරා මෙහෙයවයි. මුදල් වෙනුවෙන් තම රටේ ක්‍රීඩකයන්ව පරාජය සඳහා මෙහෙයවන තැන රට වෙනුවෙන් ක්‍රීඩා කළා යැයි පැවසීම විහිළුවක් බවට පත්වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැවැත්විය යුතුය. රට වෙනුවෙන් සිංහ පැටව් වැනි බයිලා අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ට නොවේ. නරඹන්නන්ටය. සමහරු ක්‍රිකට් නරඹන්නේ කැප්පෙටිපොල, පුරන්අප්පු සුද්දාට විරුද්ධව සටන් කළ මානසිකත්වය ආරෝපණය කර ගනිමිනි. එංගලන්තයටම ගිහිල්ලා සුද්දාට ගැහුවා* කියා ජයග්‍රහණයකදී උදම් අනති. එම ක්‍රීඩකයන් විශ්‍රාම ගියපසු එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ පුහුණුකරුවෝ වෙති. එවිට අපේ දේශප්‍රේමි ගොන්නුන්ගේ දේශප්‍රේමි මෙව්වා එකට මොනවදෝ වෙයි. ඉන්පසු ක්‍රීඩකටයන්ට පට්ට පතුරු යන්න බණිති. ඔස්ට්‍රේලියාව මුරලි පන්දුව දමා ගසන්නෙකු බව චෝදනා කරමින් මුරලිගේ ක්‍රීඩා දිවියට බාධා පමුණු වනවිට, ඊට එරෙහිව රටම හඬ නැගුවේය. සුද්දාට විරුද්ධ කඳවුරේ පුරන්අප්පු අර්ජුන විය. කෙසේ හෝ පසුව මුරලි නිර්දෝශි වී ලෝක පූජිත ක්‍රීඩකයෙකු බවට පත්වී විශ්‍රාම ගියේය. අද මුරලි ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු පුහුණුකරු බවට පත්වී ඔස්ට්‍රේල්යානුවන්ගේ ජය පතයි. ඒ වෙනුවෙන් වෙහෙසෙයි. රණ්ඩු වෙයි. රට වෙනුවෙන් බයිලය දැන් නැත. පඩියට අපායේ ක්‍රිකට් ටීම් එකේ පුහුණාකර තනතුරත් භාර ගැනීමට සූදානම්ය. මුරලි නිසා දේශප්‍රේමී චූන් අහිමි වූවෝ දැන් පරලවී මුරලිට දෙස්දොවොල් නගමින් පත්තර පිටු පුරවති. නොසිතූ යථාර්ථයක් දේශප්‍රේමී ප්‍රේක්ෂකයන් අතරට පැමිණ තිබේ. එනම්, තමාට හතුරුකම් කළ ඔස්ට්‍රේලියාවට පක්ෂව මුරලි පෙනී සිටීමයි. මුරලි නිකම් පෙනී සිටින්නේ නැත. මුරලිට ඒ වෙනුවෙන් මුදලක් ගෙවයි. මුරලි, මුදලට ඔස්ට්‍රේලියාව ගොඩදාන්න වෙහෙසෙන්නේ තමන්ගෙ වෘත්තියේ සාර්ථකත්වය පෙන්වීමටය. දැන් මුරලිට ලංකාව අදාළ නැත. ලංකාව පරාජය වීම මුරලිගේ සතුටයි. මුරලිගේ ජයග්‍රහණයයි. මේවාට කලබල වී දේශප්‍රේමී බයිලාවලින් ගසා දැමීම තේරුමක් තිබේද. අප ජීවත් වන්නේ ධනවාදී සමාජයකය. සියල්ලට මිලක් නියමව තිබේ. ක්‍රිකට් යනු හතුරු මිතුරු යුද්ධයක් නොවේ. විශාල මූල්‍ය වටිනාකමක් උත්පාදනය කළ හැකි ක්‍රීඩාවකි. ක්‍රිකට් තුළ පස මිතුරු භාවය ඇත්තේ නරඹන්නන් තුළ පමණි. එය ක්‍රීඩාවේ පැවැත්මට උත්කර්ශයයට අවශ්‍ය වේ. නැත්නම් ත්‍රිල් එකක් නැත. සියලු දෙනා අපේ ක්‍රීඩකයන් යන හැඟීමෙන් ක්‍රිකට් බැලීම ත්‍රීල් එකට හානියකි. අපේ එවුන් දුවන්න ගැහුවා. එළව එළවා ගැහුවා වැනි ප්‍රකාශ කිරීමට බෙදීමක් අවශ්‍ය වෙයි. එංගලන්තයි, ලංකාවයි මැච් එකක් ගසන විට කවුරු දින්නත් එකයි යන මානසිකත්වයෙන් තරගය බැලිය නොහැකියි. තමගේ රටේ පැත්ත ගැනීම ස්වභාවිකය. අවුලකට ඇත්තේ මෝඩ ලෙස තම රට පැත්ත ගැනීමය. අයි.පී.එල්. තරග රට ජාති, දේශප්‍රේමය, සිංහ පැටව්, භාරත පුත්‍ර‘යෝ කතා සේරම ඉවර කර දමා තිබේ. ක්‍රීඩකයෝ වෙන්දේසි භාණ්ඩ මෙන් මිලදී ගනිති. මෙහිදී ක්‍රීඩකයා භාණ්ඩයක් බවට පත්වෙයි. අයි.පී.එල්. තරග නරඹන විට රට ජාතිය වෙනුවෙන් චූන් විය නොහැකිය. මෙය ගෝලීය ක්‍රීඩාවේ එක්තරා තත්ත්වයකි. වෙළෙන්ඳෝ රට ජාතිය ඉවර කර තිබේ.
ප්‍රේක්ෂයන්ද දැන් ක්‍රිකට් නැරඹිය යුත්තේ; අපේ සිංහ පැටව්, අපේ කෝල්ලන් යන ගොන් චූන් මානසිකත්වයෙන් නොවේ. ක්‍රිකට්වලින් විනෝදයක් ලබා එය අතහැරිය යුතුය. ඒවාට රට ජාතිය සම්බන්ධ නොකර ගත යුතුය. අපේ කොල්ලෝ අව්වේ වේළෙන්නේ අපි වෙනුවෙන්, පුදුම කට්ටක් කනවා...* වැනි ගොන් කතා නොකියා සිටිය යුතුය. ක්‍රිකට් රස්සාවක් ලෙස සැලකිය යුතුය. රස්සා කරන්නෝ තම රටට පමණක් සේවය නොකරති. වැටුප් උදෙසා පිටරටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ සිටිති. සුද්දාගේ රටේ සුද්දාට යටත්ව රැකියා කරන කී දාහක් සිටියිද? උන් සියල්ලෝ දේශදෝහිහුද?
අපේ දේශ‘ප්‍රේමීන් වැඩි වශයෙන් පදිංචියට යන රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටියි. ඔවුහු දන්නා හැම ගැටයම ගසා ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ දරති. එහෙම දේශප්‍රේමීහු මුරලි ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු පුහුණුකරු වීම ගැන පරළ වෙති. වැඩේ වැරදී යැයි කියති.
මට අනුව නම් අපි සේරම වැඩ වරද්දා ගෙන තිබේ.ඉස්සර මට නම් හෙට ක්‍රිකට් තරගයක් රූපවාහිනියෙන් පෙන්වන බව දැන ගත් විට රාත්‍රියට නින්ද යන්නේද නැත. ටෙස්ට් තරගද කට වක්කරගෙන දින පහම රූපවාහිනිය ඉදිරියේ වාඩිවී නැරඹූ කාලය මතක් වනවිටත් පුදුම සිතෙයි. ක්‍රිකට් නැරඹීමෙන් ලබාගත හැකි දේශීය චූන් එක හෝ ගෝලීය චූන් එක දැන් මට සෙට් වෙන්නේම නැත.

Mamatharunaya.blogspot.com
කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ
මෙකල බොහෝ දෙනෙක් අත ජංගම කැමරාවක් තිබේ. ජංගම දුරකථනයට සම්බන්ධ කැමරාව විසින් මානවයාගේ සියලුම ක්ෂේත්‍ර වෙනසකට ලක්කර තිබේ. මේ පිළිබඳව ලිවීමට මා පෙළඹුණු හේතු දෙකක් තිබේ. එකක් පාද යාත්‍රාව ගමන් ගන්නා අතර තුර නාමල් රාජපක්ෂගේ නර්තනයයි. අනෙක ඉන්දියාවේ දුම්රිය අනතුරක් සිදුවී ශරීරයෙන් යට කොටස වෙන්වී කඳ කොටස රේල් පාර මැද වේදනාවෙන් දඟලන විට පිරිසක් එය ජංගම දුරකථනවලින් වීඩියෝ කිරීමයි.
දැන් අපි නාමල්ගේ නැටුම දෙසට යොමු වෙමු. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් පාද යාත්‍රාව සංවිධානය කරන්නේ යහපාලන ආණ්ඩුවට ප්‍රබල විරෝධයක් දැක්වීමේ අදහසිනි. ඒ තුළ විහිළුවකට ඉඩක් නැත. පාද යාත්‍රාව විහිළුවක් නොවේ. බරපතළ සීරියස් දේශපාලන වැඩකි. මහින්ද රාජපක්ෂ මහතා අනූතුනේදී යූ.එන්.පී. ආණ්ඩුවට එරෙහි ගිය පාද යාත්‍රාව එවැනි සීරියස් වැඩකි. එහෙත් දැන් යන පාද යාත්‍රාව තුළට ජංගම කැමරා මැදිහත් වීමෙන් එම සීරියස් බව බාල වී හාස්‍යයක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ නටමින් සටන් පාඨ කියයි. එය කවුරුන් හෝ වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර තිබේ. ඒ අනුව දැන් ජනමතය සකස් වී තිබෙන්නේ මේකා නුවර සිට කොළඹට එනකම් බජව්වෙන් නට නට ආවා වැනි හැඟීමකි. ආණ්ඩුවේ මාධ්‍යද, ආණ්ඩුවට හිතැති මාධ්‍යයද මේ රූපරාමු නිතර පෙන්වීමෙන් පාද යාත්‍රාවේ දේශපාලන ගැඹුර හෑල්ලු කර තිබේ . මෙකල ඇස් දෙකෙන් දකිනවා පමණක් නොවේ. දකින දේ එම මොහොතේම පටිගත කර ගැනීමට තරම් තාක්ෂණය දියුණුය.
සියලු මානව ක්‍රියාකාරකම් සියුම්ව පටිගත කරගත හැක. පරණ දේශපාලඥයා මෙන් නොව නූතන දේශපාලනඥයා හතර අත විසිරී තිබෙන කැමරා ඇස්වලින් බේරී දේශපාලනය කළ යුතුව තිබේ.
නාමල් යහපාලනයට විරුද්ධව සටන් පාඨ කියනවාට වඩා, මාධ්‍ය තුළ ඉස්මතුවන්නේ කුණුහරුප සිංදුවලට නට නටා පැමිණීමය. අතීතයේ මාධ්‍ය ස්ථානගත වූයේ ප්‍රධාන අරමුණ වටාය. එහෙත් වර්තමානයේ මාධ්‍ය ස්ථානගත වන්නේ ප්‍රධාන අරමුණ වටා නොව, අතුරු අරමුණ වටාය. ප්‍රධාන අරමුණට ඒවා කිසිසේත් සම්බන්ධ නොවේ. පාද යාත්‍රා‘වේ ප්‍රධාන දේ බවට පත්ව තිබෙන්නේ නාමල්ගේ නැටුමයි. කුණුහරුප සිංදුවයි. දේශපාලකයෝ වාහනවල යාමයි. පොදු ජනයා බාර්වලට රිංගීමයි. කුඩා දරුවෙකු ලවා සටන් පාඨ කියවීමයි . පාද යාත්‍රාව යන්නේ යහපාලන ආණ්ඩුවේ වැරදි අඩුපාඩු නිසා ආණ්ඩුව පළවා හැරීමේ අදහසිනි. එම අදහස් බරපතල ලෙස කෙසේවත් සාකච්ඡා නොවේ. පාද යාත්‍රාව ෆන් වැඩක්, ජොලි වැඩක් වී තිබේ. දේශපාලඥයා මේ නව තත්ත්වය තේරුම්ගත යුතුව තිබේ.
එය හාස්‍යයෙන් යුතුව පවසන්නේ නම් අධෝවාතයෙන් පිටකරන කොටත් දෙපාරක් සිතා පිට කළ යුතු වටපිටාවක් ගොඩනැගී තිබේ. මන්ද අධෝවාතයක් සවුන්ඩ් පිටින් රෙකෝඩ් කර ෆේස්බුක් දැමිය හැකි බැවිනි. රහසිගතව කරන ක්‍රියා කැමරාව මැදිහත් වීමත් සමග ලක්ෂ ගණන් නරඹන වීඩියෝ බවට පත්වීමට ඉඩ තිබේ.
දේශපාලනඥයා අනාගතයේදී කැමරාවෙන් බොහෝ පරිස්සම් විය යුතුව තිබේ.
ඉන්දියාවේ දුම්රිය අනතුර ගැනද යමක් ලිවිය යුතුය. කඳ කොටස දෙකඩවී ශරීරයේ ඉහළ කොටස වේදනාවෙන් ඒ මේ අතට පෙරළීමට උත්සාහ දරන විට අසල වූවෝ එම මනුස්සයා අසලට ගොස් ජංගම දුරකථන මානා වීඩියෝ කළෝය. මාද නැරඹුවේ එසේ කවුරුන් හෝ වීඩීයෝ කළ දර්ශනයකි. මරණය කරා ඇදී යන එම මිනිසාගේ හිත හැදීමට හෝ වතුර උගුරක් පෙවීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. මෙකල අනතුරක් සිදු වූ විට අනතුර ලක්වූවාට පිහිටවනු වෙනුවට, ජංගම දුරකථන ඇද වීඩියෝ කිරීමට උත්සහ දරන්නෝ බහුල වෙති. ලංකාවේ සිදු වූ ත්‍රීවිල් අනතුරකදී ද එවැනි අමානුෂික රූගත කිරීමක් මම දුටුවෙමි. ත්‍රීවීලය හැප්පී වැටී සිටි තරුණයා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වන බවක් නොපෙනුණි. තරුණයා රුධිරය වගුරවමින් මහපාරේ වැටී සිටියේය. මෙවැනි අනතුරු වීඩියෝ කරමින් දඟලනවා වෙනුවට, රෝහල් ගත කිරීමට උත්සහ නොදරන්නේ ඇයි? මෙය විශාල මානුෂ්‍යවාදී ආචාර ධාර්මික ගැටලුවකි. අතීතයේ කැමරා ආම්පන්න තිබුණේ මාධ්‍යවේදීන් සතුවය. දැන් සියලු දෙනා අතම කැමරා තිබීමෙන් සියලු දෙනාම මාධ්‍ය‘වේදීන් වී සිටිති. අනතුරකදී පිහිට විය යුතු මනුෂ්‍යයන්ද මාධ්‍යයේ කාර්යයට අත ගසා තිබේ. ඔවුහු සියල්ලටම කලින් ජංගම දුරකථන දිගුකරමින් වීඩියෝ කිරීමට උත්සහ කිරීම කණගාටුදායකය.
මේ නව තත්ත්වය විචාරාත්මකව තේරුම්ගත යුතුව තිබේ.
mamatharunaya.blogspot.com