Thursday, February 25, 2016

මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා





කොහොම හිතුවත් මනුෂ්‍ය ජීවිතය ගැන ලොකු දුකක් ඇති වෙනවා. පුංචි දරුවෝ දූෂණය කරලා මරලා දානවා. තාත්තා, අම්මවයි දරුවවයි මුහුදට තල්ලු කරනවා. මාමලා, සීයලා, තාත්තලා දරුවෝ දූෂණය කරනවා. පෙම්වතියට තෑග්ගක් අරං දෙන්න සල්ලි දුන්නෙ නෑ කියලා අම්මව මරලා ග‍ඟේ හංගනවා.
මිනිස්සු ශිෂ්ටත්වයට පත්වීම සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තියෙනවා. හැමෝම මේ වගේ අපරාධ නොකළට ශිෂ්ට නොවුණු අශිෂ්ටයොත් අපි හැමෝගෙම ශරීර අස්සෙ ඉන්නවා. අපි කවුරුත් ශිෂ්ට මිනිස්සු නෙමෙයි. අශිෂ්ටත්වය සඟවාගත් ශිෂ්ට මිනිස්සු. ඔය අපරාධ කරන කවුරුවත් මිනී මස්කමින්, දඩයමේ යමින්, සතුන් මරාගෙන කමින් ජීවත් වෙන ගෝත්‍රිකයන් නෙමෙයි. හොඳට අඳින-පලඳින, කන-බොන ශිෂ්ට යැයි සම්මත ජීවිත ගත කරන අය. මේ ශිෂ්ට මිනිහා එක පාරටම අශිෂ්ටයෙක් වෙනවා. අපරාධකාරයෙක් වෙනවා. දරුවව මුහුදට විසිකරලා මරපු තාත්තා ඒ දරුවට ආදරේ නොකරපු තාත්තා කෙනෙක්ද? කවදාවත් දරුවව වඩාගෙන ආදරයෙන් සිප නොගත්ත තාත්තා කෙනෙක්ද? අහල පහල මිනිස්සු කියනවා ඒ තාත්තා දරුවන්ට ගොඩක් ආදරෙන් හිටපු පියෙක් කියලා.
ශිෂ්ට සම්පන්න විදිහට පෙනී ඉන්න අය තමයි මොහොතකින් අශිෂ්ටයො වෙන්නෙ. අශිෂ්ටයාව පාලනය කරගෙන තියාගෙන ඉන්නෙ නීතිය, සදාචාරය, සංස්කෘතිය, ආගම. ඔය සංකල්ප එහා-මෙහා උනාම, විශ්වාසය බිඳ වැටුණාම, කුණුවෙලා ගියාම අශිෂ්ටයා එළියට එනවා. මිනිස්සු හික්මවන්න මේ සියල්ල අසමත් වෙනවා. මිනිස්සුන්ගේ ආශාවන් ඉටුකරන්න සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය අසමත් වෙනවා. ආශාව මුදාහැරීම වෙනුවට මානසික පීඩනයට යටවෙලා යටපත් කරගෙන ඉන්නවා. මිනිස්සුන්ට අසීමිත ලිං‘ගික ආශාවන් තියෙනවා. හැබැයි ඒක සත්තු වගේ නිදහසේ මුදාහරින්න බෑ. ශිෂ්ටත්වයට යටත්ව මුදාහරින්න කියන ඉඩකඩ අපි වගේ රටවල්වල අඩුයි. ලිංගිකත්වය මහ බරපතළ අපරාධ විදියට තමයි සලකන්නෙ. එහෙම උනාම ස්ත්‍රී දූෂණ, ළමා අපචාර විදිහට තමයි ලිංගික ආශාව මුදාහරින්නෙ. අපි අශිෂ්ටයාව බොහොම දරුණු විදිහට හංගගෙන උපාසකයො වගේ ජීවත් වෙන ජාතියක්. අපේ අව්‍යාජත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් අපට තියෙනවා. අපි හොඳයි, අනිකා තමයි නරක වගේ අදහසක් හැමෝගෙම හිතේ තියෙනවා.
මරන දඬුවමෙන් රටවල් ශිෂ්ට කරන්න බෑ. අරාබි රටවල් ශිෂ්ටද? අතපය කැපුවත්, බෙල්ල කැපුවත් අපරාධ කරනවා. මිනිස්සු ශිෂ්ටවීමේ ප්‍රශ්නය ඉතිහාසය පුරාම තිබුණ දෙයක්. අපිත් වනාන්තරයෙන් එළියට ආපු සත්ත්ව කොට්ටාසයක්. ඒ සතාට නීතිය, ආගම, සදාචාරය, සංස්කෘතිය  මුණගැහුණා. තමාව පාලනය කරගන්න මේ සංකල්ප හදාගත්තා. මොනවා හදාගත්තත් කැලෑ සතා තාම ඇඟ අස්සේ කැරලි ගහනවා.
 ආදරය  ස්වභාවිකව ඇති වෙන දෙයක් කියලා හිතන්න එපා. ප්‍රේමය, ආදරය, අභ්‍යයාස විදිහට ප්‍රගුණ කරන්න. ආදරය ඉගෙන ගන්න. සමාජයට ආදරය කරන්න ඕන විදිහ ඉගෙන ගන්න. හැමදේම ස්වභාවිකයි කියලා හිතන අය අපරාධවලට යොමුවෙනවා වැඩියි. මේ සියල්ල හදාගත්ත දේවල්. මේවා වෙනස් වෙන්නත්, වෙනස් කරන්නත් පුළුවන් කියලා හිතන්න.

හැබෑ මූණ පෙන්නන කිසිම මිනිහෙකුට ශිෂ්ටාචාරය තුළ පැවැත්මක් නෑ





අපි හැම වෙලාවෙම ව්‍යාජයක් එහෙම නැත්නම් බොරුවක් නඩත්තු කරන්න සෑහෙන්න මහන්සි වෙනවා. අපේ ඇත්ත ආශාව වෙනුවට බොරු ආශාවක් සමාජයට පෙන්වමින් ජීවත් වෙනවා. බුද්ධිමතා හැම වෙලාවෙම තමන්ගේ බුද්ධිමත් බව පෙන්නන්න පුදුම වෙහෙසක් දරනවා. සම්භාව්‍ය නාට්‍යකාරයෝ, කලාකාරයෝ තමන්ගේ සම්භාව්‍ය බව පෙන්නන්න මොනතරම දේවල් කරනවද?.
මම දන්න මගේ යාළු මිත්‍ර‘යෝ ඉන්නව එයාලා ෆේස් බුක් එකේ ශෙයා(ර්) කරන්නේ දාර්ශනික දේවල් විතරයි. හැබැයි ඇත්ත ඊට වඩා වෙනස් ෆේස් බුක් එකේ ඉන්න ලස්සන ස්ත්‍රී රූප දිහා බලනවා. වීඩියෝ බලනවා. හැබැයි ඒවා ශෙයා(ර්) කරන්නේ නෑ. කමෙන්ට් දාන්නෙත් නෑ. ඒක තමන් මවාගෙන ඉන්න දාර්ශනික වෙස්මූණට හානියක් කියලා එයාලා දන්නවා. අවිඥානික ආශාව නියෝජනය නොකරණ දේවල් තමයි ශෙයා(ර්) කරන්නේ. හැබැයි තමන්ගේ ඇත්ත නමින් නැති ව්‍යාජ නම්වලින් තියන ෆේස්බුක් පිටු අවිඥානික ආශාව පෙන්නනවා. වැඩිපුරම කාමය තියෙන්නේ ඒ පිටුවල හැබෑ නමින් ඉන්නේ උපාසකයෝ නම් බොරු නමින් ඉන්නේ වනචරයෙක්. බොරු නමින් ඉන්න වනචරයා අපිට කවදාවත් මුණ ගැහෙන්නෙ නෑ. අපිට හම්බ වෙන්නේ උපාසකයෝ දාර්ශනිකයෝ, උගත්තු, බුද්ධිමත්තු විතරයි. ඔබගේ පෙම්වතා, පෙම්වතිය, බිරිඳ, සැමියා, හොර නම්වලින් පෙනී සිටින අය විය නොහැකිද, සමාජයට පෙන්වන වෙස්මූණ යට තව වෙස්මූණු තියෙනවා. සැබෑ මුහුණ වෙස්මූණක් වෙලා තියෙනවා. මම වෙස්මූණක් දාගෙන ඔබව රවට්ටනවා. ඔබ වෙස්මූණක් දාගෙන මාව රවට්ටනවා. මම හිතනවා ඔබ රැවටුනා කියලා. ඔබ හිතනවා මම රැවටුණා කියලා. අනිත්මේදී නොරැවටිලා තියෙන්නේ රැවටීම විතරයි. මේක වෙස්මූණු ශිෂ්ටාචාරයක් වෙස් මූණු නැතුව අපිට පවතින්න බෑ. සමාජ සම්බන්ධතා පවත්වා ගන්න බෑ. අනෙකා මගෙන් වෙස්මූණක් ඉල්ලා සිටිනවා. හොඳ වෙස්මූණ දාගන්න, ප්‍රේමණීය වෙස් මූණ දාගන්න, පෞරුෂය පෙන්නන්න වෙස්මූණ දාගන්න, ආඩම්බරකම, හැදියාව, දේශප්‍රේමය, ඔය හැම දේටම හරියන වෙස් මුණ අපි ගාව තියෙනවා. හැබෑ මූණ පෙන්නන කිසිම මිනිහෙකුට ශිෂ්ටාචාරය තුළ පැවැත්මක් නෑ. වෙස්මූණක් දාගන්න බිරිඳක්, සැමියෙක්, පෙම්වතෙක්, පෙම්වතියක්, හාමුදුරුනමක්, ගුරුවරයෝ, දේශපාලඥයෝ, මවක්, පියෙක් අපි ඉදිරියේ ඉන්නවා. වෙස්මූණ අයින් කළොත් මේ සියලු භූමිකාවන් ඉවරෙට ඉවරයි. මම කියන්නේ වෙස්මූණ ගලවලා ජීවත් වෙන්න කියලා නෙමෙයි ව්‍යාජයක් ඇත්ත කියලා හිතාගෙන ජීවත් වෙන්න එපා කියලා. අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ ඇත්ත ආශාව නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. එහෙම උනාම ඇත්තටම ආදරය කරනවා කියලා දෙයක් නැතුව යනවා. ඇත්තටම කියලා දෙයක් නැති උනාම එතන බොරුව ඉතුරු වෙනවද, ඇත්තටම කියලා දෙයක් නැති උනාම බොරුවට කියලා දෙයකුත් නැතුව යනවා. කිසිම දෙයක් නැති තැන තිබෙනා දෙය අප නොදන්නා නිසා ඇත්ත හා බොරු පසුපස අප ගමන් කරනවා.

Wednesday, February 24, 2016

විද්‍යාවට මොන දේ අහුවුණත්, නිවන තාම අහුවුණේ නෑ...




දේව ආගම්වල දෙවියෙක් ඉන්නවා. ඇත්තටම දෙවියෙක් හිටියත් නැතත් දේව ආගම්වල ස්වරූපය තමයි දෙවියන් වහන්සේ ඉන්නවා කියලා හිතන්නට පුරුදු කිරීම. ඉතිං ඉන්න දෙවියන්ගෙන් හැමදේම ඉල්ලන්න පුළුවන්. සල්ලි, යාන-වාහන, බිරිඳක්, සැමියෙක්, රස්සාවක් ඉල්ලන්න පුළුවන්. හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි සිද්ධ වෙන්නෙ. හැබැයි නිවන එහෙම දෙයක් නෙමෙයි. නිවන දෙවියෙකු නෙමෙයි. නිවන කියන්නේ බුදුන්ටත් නෙමෙයි. නිවනෙන් අපිට කිසිම දෙයක් ඉල්ලන්න බෑ. නිවන කියන්නෙ අවබෝධයේ අවසානයටද? නිවන කියන්නෙ දරුණු මානසික අභ්‍යාසයක්, වෙහෙසකර මානසික ක්‍රියාවලික්. දෙවියන්ව පිළිඅරගෙන ජීවත් වෙන්න ලේසියි. පහසුයි. හැබැයි නිවන ලේසියෙන් පහසුවෙන් තේරුම් ගන්න බෑ... බෞද්ධයගෙ අවසාන ඉලක්කය නිවන මිසක්, බුදු හාමුදුරුවෝ නෙමෙයි. අපි නිවන අතහැරලා බුදුන් වහන්සේව අල්ලගෙන බුදුන් වහන්සේව දෙවියෙකු කරගන්න හදනවා. බුදු හාමුදුරුවෝ දෙවියෙකු නෙමෙයි. බුදු හාමුදුරුවෝ සිතීමේ අවසානයත් සොයා ගත්තා. නතර වෙන තැනත් සොයා ගත්තා. අවසාන වශයෙන් සතුටු වෙන්න පුළුවන් වන නිමාවත් සොයා ගත්තා. මොකක්ද ඒ? ඒ තමයි නිවන. නිර්වාණය බුදුහාමුදුරුවෝ සොයා ගත්ත දෙයක්. උන්වහන්සේ නොතිබුණු දෙයක් හොයා ගත්තද? නෑ... තිබ්බ දෙයක්, මනුෂ්‍යයා මෙතෙක් සොයා නොගත්ත දෙයක් උන්වහන්සේ සොයා ගත්තෙ. ඒක ද්‍රව්‍යයක්ද, නෑ.... සංකල්පයක්ද, මතවාදයක්ද, ඒත් නෑ... ඒක දරුණු මානසික අභ්‍යාසයක්. හිතින් හිතහිත භාවනා කරමින් ලබාගත්ත දෙයක්. හිතීමත්, භාවනාවත් අතහැරීමක්. අතහැරීමද, අතහැරීමක්. නිර්වාණය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන්නෙක් බුදු හාමුදුරුවන්ව දෙවියෙකු වගේ අල්ලගෙන හිටියොත්, නිර්වාණය කියන්නේ මොකක්ද කියලවත් අවබෝධ කරගන්න බැරිවෙයි. බුදු හාමුදුරුවොයි, නිවනයි කියන්නෙ එකක් නෙමෙයි, දෙකක්. නිවනට යන විදිහ බුදු හාමුදුරුවෝ පෙන්නලා දුන්නා. මනුෂ්‍යයා නොදැන හිටපු දෙයක් හොයලා දුන්නා. සොයා ගැනීම් කරන්නෙ විද්‍යාඥයොනේ... බුදු හාමුදුරුවොත් විද්‍යාඥයෙකු වගේ. තමන්ගෙ හිත එක්ක මහා අරගලයක් කරලා තමයි නිවන අවබෝධ කර ගත්තෙ. බුදුන්ගෙ පර්යේෂණාගාරය තමයි හිත. බටහිර විද්‍යාව නියමයන්, වාදයන්, සූත්‍ර, සමීකරණ විදිහට එළියට දානවා. නිවන සාපේක්ෂතාවාදය වගේ එකක් නෙමෙයි. හැබැයි කවද හරි නිවන X, Y සූත්‍ර ඇතුළේ... ගණිත සමීකරණ ඇතුළේ... විද්‍යාඥයන් පහදලා දෙයි කියලා මට හිතෙනවා. විද්‍යාවට මොන දේ අහුවුණත්, නිවන තාම අහුවුණේ නෑ... දැන් කාට හරි කියන්න පුළුවන් දෙවියන් වහන්සේවත් විද්‍යාවට අහුවුණේ නෑ.... දෙවියන් වහන්සෙත් කොහේ හරි ඉන්නවා කියලා.... ඉන්න කට්ටිය සොයා ගන්න තරම් විද්‍යාව දැන් දියුණුයි. විද්‍යාව දියුණු නෑ කියලා හිතනවා නම්, ඉදිරි අවුරුදු සීය දෙසීය ඇතුළත ඉන්නවා කියන දෙවියෝ, ප්‍රේතයෝ, භූතයෝ සොයා ගන්න පුළුවන් වෙනවා. එහෙම හොයලත් හම්බ වුණේ නැත්නම් මොකද වෙන්නේ....