Sunday, February 7, 2016

ගුරැවරයාටත්, වැඩිහිටියාටත් දැන් තිබෙන්නේ මර්දනය මුදා හැරීමයි



  1.  
  2. ෆේස්බුක් ගිණුමක තිබූ ඡායාරෑපයක් සම්බන්ධව විදුහල්පතිතුමා දරැණු ලෙස බැණ වැදීම නිසා කලකිරීමට පත් වූ ශිෂ්‍යාවක් බෙල්ලේ වැල දමාගෙන සියදිවි නසා ගත්තාය. මම ගිය සතියේ ලිව්වේ පහසුකම් ගාස්තු ගෙවීමට රැපියල් පන්සීයක් ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් නැති නිසා බෙල්ලේ වැල දමාගෙන මරණයට පත් වුණු සඳුනි ගැනයි. අද මම ලියන්නේ ඡායාරෑපයක් නිසා බෙල්ලේ වැල දාගත් වෙනූෂා ගැනයි. ඇය කියන පරිදි එම ඡායාරෑපය ඇය විසින් ෆේස්බුක් ගිණුමට ඇතුළත් කළ එකක් නොවේ. වෙනත් අයෙකු විසින් ටැග් කළ  ඡායාරෑපයකි. ඡායාරෑප ටැග් කිරීම ගැන විදුහල්පතිතුමාගේ දැනුම කුමක් දැයි කියා මම නොදනිමි. නූතන තරැණ වියේ දරැවන් පාලනය කරන වැඩිහිටියන්ගේ තාක්ෂණික දැනුම ඉතා අඩු බව මගේ පිළිගැනීමයි. බොහෝ වැඩිහිටියන් විනය ලෙස සිතන්නේ බැණ විදීමයි... පහරදීමයි... මර්දනය කර පාලනය කිරීමයි. විදුහල්පතිවරැන්ට හමුදා පුහුණුවක් ලබා දෙන නිසා විදුහල්පතිතුමා පාසල හමුදා කඳවුරක් බවට පත් කරන්නට උත්සාහ කරනවා විය හැකිය. විදුහල්පතිවරැ හමුදා නායකයන් විය යුතු නොවේ. ඇතැම් මෝඩයන් තමන්ගේ පෞරැෂය ලෙස සිතන්නේ උස් හඬින් කෑගසමින් බැණ වදිමින් පාලනය ගෙන යාමයි. දැන් පාසල තුළ සිටින්නේ මීට දශක දෙක තුනකට පෙර සිටි ශිෂ්‍යයන් නොවේ. අපේ විදුහල්පතිවරැ, ගුරැවරැන් අපිට බැන්නා. ගැහුවා. ඒත් අපි බෙල්ලේ වැල දාගත්තද කියා අසන්නේ බොහෝ විට මීට දශක ගණනාවකට පෙර පාසල් ගිය අයයි. ඔවුනට ගුරැවරැන්ගේ දඬුවම් ස්වාභාවිකයි. වර්තමානයේ සිට බලන විට එය සුන්දරය.  ඒ ගුරැවරැන් නිසා අපි අද මෙහෙම ඉන්නේ කියා උදම් අනති. තාක්ෂණික දැනුමෙන් අඩු ඉන්ටර්නෙට් ෆේස්බුක් නොතිබුණා .... මෙතරම් රෑපවාහිනී ගුවන් විදුලි නාලිකා නොතිබුණ යුගයක පාසල් ගිය අය අද ඉන්ටනෙට් යන, ෆේස්බුක් යන දරැවන්ගේ ගුරැවරැ බවට පත් වී සිටිති. ඒ නිසා ඉන්ටනෙට් ෆේස්බුක් සම්බන්ධව බොහෝ වැඩිහිටියන්ගේ යෝජනා මහදැනමුත්තාගේ යෝජනා වලට සමානය. ෆේස්බුක් නිසා දැරියන් මිය ගිය නිසා ෆේස්බුක් තහනම් කළ යුතු යැයි කියන්නේ මහදැනමුත්තා හා සමාන වැඩිහිටියෝය. මුට්ටිය බේරා ගැනීමට එළුවාගේ බෙල්ල කැපීම හා සමාන උපදෙස් දෙන මේ වැඩිහිටියන්ගේ සමාජ දැනුමත්, තාක්ෂණික දැනුමත් බොහෝ දුර්වලය.
  3. අපේ සමාජයට නූතන තාක්ෂණික මෙවලම් හා නූතන දැනුම පැමිණෙන්නේ සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස නොවේ. එක විට උල්කාපාතයක් කඩා වැටුණා සේ මේවා පැමිණෙයි. රෑපවාහිනියත් ආවේ එලෙසය. සමාජ අවශ්‍යතාවයනට මානව පරිනාමයේ උවමනාවකට ආවේ නැත. රෑපවාහිනිය ලැබුණේ ජපානයෙන් තෑග්ගක් ලෙසය. එක විට තෑගි ලැබුණ විට අපි පුදුමයට පත් වෙමු. සතුටට පත් වෙමු. නොසිතූ මොහොතක ලැබෙන තෑග්ග අපේ අවශ්‍යතාවයකට ලැබුණ දෙයක් නොවේ. ඒ නිසා සතුටත්, පුදුමයත්, ආශාවත් හැරැණු විට එය පරිහරණය කිරීමේ දී විනයත්, සදාචාරයත් අපිට නැත. ඒ නිසා රෑපවාහිනිය, ජංගම දුරකථන, ඉන්ටනෙට්, ලැප්ටොප්, ටැබ් හදිස්සියේ අපිට ලැබුණ තෑගිය. කුඩා දරැවෙකුට සෙල්ලම් බඩුවක් ලැබුණා සේ මේ භාණ්ඩ සමග අපි සෙල්ලම් කරමින් සිටිමු. ඇතැම් අය ජංගම දුරකථන වරින් වර මිලදී ගෙන සතුටට පත් වන්නේ කුඩා ළමයෙක් විවිද සෙල්ලම් බඩු වලින් සතුටක් ලබන ආකාරයටය. ජංගම දුරකථන, ෆෙස්බුක්, ඉන්ටර්නෙට් වලින් සෙල්ලම් කරන විට විවිද අනතුරැ සිදු වෙයි. වැඩිහිටියන්ට මේ සම්බන්ධ දැනුම අල්ප වූ විට අවුල තවත් උග්‍ර වෙයි. මේ තාක්ෂණික මෙවලම් හි කඩා වැටීම නිසා අප සිටින්නේ අන්ද මන්දවය. මේ තාක්ෂණික මෙවලම් හරඹය ඉදිරියේ ගෙදර පොඩි එකා වීරයා වී ඇත. රෑපවාහිනියේ චැනල් අල්ලා දෙන්නේ... ෆෝන් එකට කාඩ් එක දමා දෙන්නේ... සිම් එක දාන්නේ ගෙදර පොඩි එකාය. දෙමව්පියෝ ඒවා දන්නේ නැත. ඒ නිසා ගෙදර බලය තාත්තාගෙන් පොඩි එකාට ගොස් ඇත...
  4. &අපේ පුතා... අපේ දුව මාරයි අනේ... අපි නම් දන්නේ හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න විතරයි. ඒ වුණාට අපේ පුතා... අපේ දුව... ෆෝන් එකේ කරන වැඩ... * කියා දෙමව්පියෝ සතුටු වෙති. වැඩේ වැරදුන විට දුක් වෙති.
  5. ශිෂ්ටාචාරය තුළ මෙතක් සිදු වූයේ වැඩිහිටි පරම්පරාව විසින් බාල පරම්පරාවට දැනුම පවරා දීමය. ශිෂ්ටාචාරය ඉදිරියට ආවේ ඒ ආකාරයටය. එහෙත් දැන් වැඩිහිටියෝ අසරණ වී සිටිති. වැඩිහිටියන්ගේ දැනුමට වඩා දැනුමක් පිටතින් පැමිණෙයි. තාක්ෂණය හරහා පැමිණෙයි. වැඩිහිටියන් පවරා දෙන දැනුමට වඩා දැනුමක් අන්තර්ජාලයෙන්... රෑපවාහිනියෙන් පැමිණෙයි. ඉස්සර ගෝලයාට වඩා ගුරැවරයා ඉදිරියෙන් සිටියේය. ගුරැවරයා අභිභවා යාමට ගෝලයාට ලෙහෙසි පහසු නැත. ඒත් අද ගුරැවරැ ගෝලයන් ඉදිරියේ කිච වෙති. ගුරැවරයාට වඩා දැනුමක් ගෝලයා නූතන තාක්ෂණය නිසා අත්පත් කර ගෙන ඇත. කිච වීමෙන්, ලැජ්ජාවෙන් බේරීමට ගුරැවරයාටත්, වැඩිහිටියාටත් දැන් තිබෙන්නේ මර්දනය මුදා හැරීමයි. ඇතැම් වැඩිහිටියන් දැන් නිවසේ රෑපවාහිනිය ගලවා දමා තිබෙයි. ඒත් දිනක් මම පැරණි රුඩිකල් අදහස් දැරෑ මිත්‍ර‘යෙකුගේ නිවසට ගියෙමි. ඔහු නිවසේ රෑපවාහිනිය ගලවා දමා තිබුණේය. මම,
  6.   ඇයි* කියා ඇසුවෙමි.
  7.  පොඩි එවුන් දෙන්න හදාගන්න එපැයි. මේක බැලුවොත් උන්ව හදා ගන්න බෑ... * කියා මිත්‍රයා කීවේය.
  8. රෑපවාහිනිය නැරඹීමෙන් ළමයි නරක් වෙනවා කියන්නේ මොන පදනමින් දැයි මම නොදනිමි. හොඳ නරක පිළිබඳ අවබෝධය ලබාදෙනවා වෙනුවට, මිත්‍රයා නිවස තුළ මර්දනය මුදා හැර ඇත. රෑපවාහිනියේ පමණක් නොව සමාජයේ කිසිම තැනක හොඳ පමණක් නැත... ළමයින්ට නරක දේත් කියා දිය යුතුයි. නරකයේ අවබෝධය ඇති වන දරැවා හොඳ දෙයට ළං වෙති. හොඳ දෙය තේරැම් ගනිති. නරක දේ අහිමි කිරීමෙන්... නරකය නොදැනීමෙන් හොඳ දෙයට ළං වෙති. වඩා නරකයටම ළං වීමත් සිදුවේ. මගේ රුඩිකල් මිත්‍රයා කරන්නේ එයයි. වෙනුෂා දියණියට විදුහල්පති තුමා මුදා හැරියේ නොදැනුවත්කමේ, මොඩකමේ මර්දනයයි. මට වැටහෙන පරිදි මෙතන දී ළාමක වී තිබෙන්නේ විදුහල්පතිතුමායි. ඔහුගේ අදහසට අනුව විනය යනු මර්දනයයි. පාසැල තුළ නිහඬව සිටීම විනයයි. ෆේස්බුක් නොයෑම විනයයි. දකින දකින වැඩිහිටියන්ට වැඳීම විනයයි. දැන් වැඩිහිටියන් ළමයි වී ඇත. ළමයි වැඩිහිටියන් වී ඇත. වැඩිහිටියන් ළමයි වූ කල සමාජයට අත්වන ඉරණම අපේ සමාජය තුළ දැන් දැකිය හැකිය. අන්ත ජඩ, හොර, මැර දේශපාලකයන්ගේ බලයට ගෙනාවේ වැඩිහිටියන්ය. උන් දැන් රිසි සේ සමාජයේ සාරය උරා බොමින් සිටියි. වැඩිහිටියෝ නිහඬය. ආශ්චර්යයේ සිහින දකිමින් උන් නිදති. තාරැණ්‍ය‘යේ දේශපාලන දර්ශනයත් නොමැතිව නන්නත්තාර වී සිටිති. ළමෝ එලෝ මෙලෝ නැති අධ්‍යාපන තරගයක පිස්සුවෙන් දුවති. මවක්  දියණිය සමග ළිඳට පැන්නේ ශිෂ්‍යත්ව විභාගයට තම දියණිය අධික ලෙස වෙහෙසට පත් කරන බවට සැමියා බැණ වැදීම නිසාය. අධ්‍යාපනය නිසා ළමෝ මේ සා දුකක් විඳින රටක් මේ ලෝකේ ඇද්ද කියා මම නොදනිමි. &එම්.ඒ. එකක් කළොත් හොඳ නැද්ද? හැමෝම කරනවා, ඇයි උඹ කළේ නැත්තේ? * කියා මිත්‍ර‘යෝ මගෙන් අසති. මට මේ අධ්‍යාපන ක්‍රමයත්, සමාජ ක්‍රමයත් එපා වී තිබෙයි. මම සාම්ප්‍රදායික උපාධි අධ්‍යාපනය අතහැර දැම්මෙමි. මේ කිසිවක් කිසිම වැඩක් නැති බව මම දැන් තේරැම් ගනිමි. තේරැම් ගෙන සිටිමි. ගිහි ජීවිතයට අවශ්‍ය මුදල් සෙවීම වෙනුවෙන් මම ලියමි. මගේ ලිවීමෙන් ඔබට යම් අවබෝධයක් ලැබෙනවා නම් මම සතුටට පත් වෙමි. ජීවිතයේ දුකත්, අහිමි වීමත් දර්ශනයකි. ධනාත්මක චින්තනයටත් වඩා වටිනා දර්ශනයකි. මේ කිසිවක් තේරැම් ඇති දේවල් නොවන බව පවසමින් මම තේරැමක් ඇති දෙයක් ලියන බව මම නොපවසමි. එම තේරැම් ගැනීමේ අයිතිය ඔබ සතුය. විකාරයක් තුළ විකාරයක් නොවන ලෙස ජීවත් වීමේ රහස මට තවම හමු වූයේ නැත...

No comments:

Post a Comment