Tuesday, February 9, 2016

ජීවිතය කාල අවකාශය තුළ පරිස්සම් කරගත යුතුව තිබේ




නොදන්නා දෙයට අවසානයක් නැත. ජීවිතයේ ඇති සියල්ලම නොදන්නා දේවල්ය. එහෙත් අපි දන්නවා යැයි කියා ජීවත් වෙමු. ආදරය පිළිබඳ අප දන්නවා යැයි සිතන දේට වඩා නොදන්නා දේ වැඩිය. මරණය ද එසේමය. නොදන්නා විශාල අභිරහසක් ජීවිත තුළ තිබේ. ඒ අභිරහස සොයා යාම ජීවිතය තේරුම් ගැනීමක්ද යැයි මම නිවැරදිව නොදනිමි. අවසානයක් නොමැති ආරම්භයක් ලබාගත් අපි මරණය තෙක් නොයෙක් දෑ කරමින්, නොයෙක් දෑ කියමින්, පණ්ඩිතයන් වෙමින්, චණ්ඩින් වෙමින්, පවුල් ජීවිත ගත කරමින්, ප්‍රේමණීය වෙමින් ජීවත් වෙමු. හරියටම නොදන්නා කාල අවකාශයක දන්නා ජීවී කොටසක් ලෙස අපි ජීවත් වෙමු.
මම මා ගැන දන්නා තරම් ඔබ මා ගැන දන්නේ නැත. මම මා ගැන දන්නා තරම් මම ගැන දැනීම සම්පූර්ණ නොවේ. මා පිළිබඳ අභිරහස මම විසඳාගත යුතුය. අපි අනෙකාගේ අභිරහස් දැන ගැනීමට ආශාවෙමු. තමාගේ අභිරහස ලෝකයට හෙළිදරවු වනවාට අකමැතිය. අපි ලෝකයෙන් සඟවන ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් ජීවිත තුළ සැඟවී තිබේ නම් එය දැන ගන්නේ කෙසේද?
නොදන්නා දෙය අවසානයක් කරා අපිව ගෙන යන්නේ නම් විසඳුමක් තිබේ. අවසානය දිග් ගැසෙයි. අවසානය යැයි සිතූ තැනින් අලුත් ආරම්භයක් ලැබෙයි. ඉතිං නොනැවතී අප යා යුතුය.
මට නතර වීමට අවශ්‍යය. ප්‍රේමයෙහි අවසානයක් දැක්කා යැයි සිතා මම සිටියෙමි. නමුත් එය නැත. අවසානය බොහෝ ආරම්භ ලබා දී තිබේ. කෙල්ලට තෑග්ගක් අරන් දෙන්නට සල්ලි නොදුන් කොටකෙතන පුතා අම්මාව මරා ගඟේ හැංගුවේය. තකතීරු ප්‍රේමය මෝඩ පුතාව අනතුරක හෙළුවේය. මෝඩ පුතාට අම්මත් නැත, කෙල්ලත් නැත. ජීවිතයකුත් නැත. ප්‍රේමය වෙනුවෙන් දිවි තොර කරගත්තේද, දිවිතොර කරන්නේද පල් මෝඩයන්ය. ප්‍රේමය වෙනුවෙන් ජීවත් විය යුතුය. සියල්ල වෙනුවෙන් ජීවත් විය යුතුය. ජීවත් නොවීමෙන් ලැබෙන දෙය පිළිබඳ අප දන්නේ නැත. ජීවත් වීමෙන් නොලැබෙන දෙය පිළිබඳ දැනීමෙන් අප ජීවත් විය යුතුය.
කොටකෙතන පුතා මෙන් අම්මලා සමග රණ්ඩු වෙන පුතුන් ලොව ඕනෑ තරම් සිටියද ඔවුන් මව මරා දමන්නේ නැත. මෝඩයා මව මරා දැම්මේය. දැන් ඔහුට කුමක් සිතෙනු ඇද්ද? කාලය ආපස්සට ඇද එම සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබේ නම් ඔහු එසේ කරනු ඇත. අතීතයට ගොස් නිවැරදි වීමට අවස්ථාව තිබේ නම් වර්තමානයේ අප බොහෝ වැරදි කරනු ඇත. අතීතයට ගොස් නිවැරදි කිරීමට නොමැති නිසා වර්තමානයේ පරිස්සමින් ජීවත් විය යුතුව තිබේ. කළ සියල්ල අතීතයටය. නොකළ සියල්ල අනාගතයටය. ජීවිතය කාල අවකාශය තුළ පරිස්සම් කරගත යුතුව තිබේ. පරිස්සම් නොවුණහොත් බොහෝ අනතුරුවලට මුහුණ දීමට සිදුවෙයි. පරිස්සම භෞතිකය, පරිස්සම ආධ්‍යාත්මිකය.

No comments:

Post a Comment