Sunday, February 7, 2016

සිදුවූ වෙනස කුමක්ද ?




අප ජීවත් වන්නේ අරුම පුදුම රටකය. දරුවන්ගෙන් 34 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව කියන්නේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිය. දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ පෝෂණය නැති නිසාය. පෝෂ්‍යදායි ආහාර දරුවන්ට ලබාදීමට දෙමව්පියන්ට මුදල් නැත. තලපත් මාළු සහ කෙළවල්ලන් පන්සීය, හාරසීය ගණන් දක්වා ඉහළ නැග තිබේ.  තෝර මාළු පෙත්තක් ගැන සිතන්නටවත් දෙමව්පියන්ට නොහැකිය. දරුවන්ට මාළු කෑල්ලක් දීමට නොහැකිව තැවෙන දෙමාපියන් කොතෙක් ද, එක් දිනක් මම මාළු ගැනීමට මාළු ලෑල්ල අසල සිටගෙන සිටින විට, අවුරුදු හතළිහක පමණ කාන්තාවක් පැමිණ රුපියල් විස්සකට හුරුල්ලා කූරියෙක් රැගෙන ගියාය. ඇය මම දන්නා පරිදි රජයේ රැකියාවක් කරන්නියකි. මේ සිද්ධිය මම නිවසට පැමිණ බිරිඳට කීවෙමි. එවිට ඇය කීවේ හුරුල්ලා මාළුවට රැගෙන යන්නට ඇත්තේ එම කාන්තාවගේ දරුවන්ට වෙන්නැති කියාය. දෙමාපියෝ කුසගින්නේ සිටිමින් දරුවන්ගේ කුසගිනි නිවීමට දරුණු උත්සාහයක් ගන්නා බව මම අනන්තවත් දැක ඇත්තෙමි. එහෙත් ඔවුන් රට අත්පත් කරගෙන සිටින ආශ්චර්ය දැක සතුටු වෙති. දරුවන්ටද ආශ්චර්ය පෙන්වති. අපා දුක් සහිත ජීවිත ගෙවති. අප සියලු දේ වෙනස් කරගත්තද සමාජ ක්‍රමය පමණක් වෙනස් කර නොගත් බව අනුර කුමාර සහෝදරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබෙනවා මම දුටුවෙමි. කතාව ඇත්තය. වෙනස් කර ගත යුතු පළමු වෙනස, වෙනස් කර නොගනිමින් අනිත් සියලු දේ අපි වෙනස් කර ගන්නෙමු. එහෙත් සිදු වූ වෙනස කුමක්ද?
ගෙයි බිත්ති වෙනුවට ඇඳ තිබෙන ඉටි කොළය කපා දරුවෙක් හොරකම් කරගෙන යන රටක අපි ජීවත් වෙමු. අප රටේ ජීවත් වෙන මිනිසුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ සෙල්ලම් ගෙවල් වැනි නිවෙස් තුළය. එසේත් නැතිනම් බාගෙට සාදා වැඩ අවසන් නොකළ නිවෙස් තුළය. දරුවා හොරකම් කරගෙන ගිය හොරු ගැනත්, දරුවා ගැනත් අපේ ජනමාධ්‍ය උවමනාවටත් වඩා කතා කරමින් සිටියි. එහෙත් ඉටි කොළ ගැසූ නිවසක ජීවත් වීමට බලපෑ ආර්ථික හේතුව ගැන කතා නොකරයි. වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසුදු කරන යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ තිහක් බව කියැවෙයි. එම යන්ත්‍ර මිලදී ගැනීමට අමු මිරිස් අභියෝගයක් පැමිණ තිබේ. පසුගියදා මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක දී ජනාධිපතිතුමා ආඩම්බරයෙන් පැවසුවේ මේ මාර්ග සංවර්ධනය කිරීමට යොදවන මුදල ලක්ෂ හැට හය දාහක් බවයි. වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසුදු කරන මැෂිම ලක්ෂ තිහකි. මෙවැනි මැෂින් විස්සක් තිහක් මිලදී ගෙන රජයේ රෝහල්වලට ලබා දුන්නේ නම් වකුගඩු රෝගීන්ට එය ඉමහත් සහනයක් වනු නියතය. එහෙත් පාලකයන් පාවෙන කඩ, නෙළුම් කණු, කාපට් පාරවල් වලට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් සිටියි. අමුමිරිස් කා සල්ලි සෙවිය යුත්තේ මෙවැනි වටපිටාවකය. අමුමිරිස් නොව නයි මිරිස් කැවිය යුත්තේ කාටද?

No comments:

Post a Comment