Monday, April 4, 2016

ඔබ තෝරාගත යුත්තේ වඩා සාධාරණ බොරු ඇත්ත නොවේද?






අපි සියලු දෙනා මහා බොරුවක් තුළ පුංචි ඇත්තවල් සෙවීමට දුක්විදින මිනිසුන් බව මම ගිය සතියේ ඔබට පැවසුවෙමි. ඒ ඇත්ත අතරින් එක ඇත්තක් වන්නේ දේශපාලන ඇත්තයි. හරි හෝ වැරදි යූ.ඇන්.පී. දේශපාලන ඇත්ත බහුතරය විසින් පිළිගෙන ඇත. අපි කැමති වුණත්, අකමැති වුණත් යූ.ඇන්.පී. දේශපාලන ඇත්ත තුළ අපට ජීවත් වීමට සිදුව තිබේ. මම පෞද්ගලිකව ජේ.වී.පී. ඇත්තකට කැමති වුවත්, එකී ඇත්ත මන්ත්‍රීවරු හය දෙනෙකුට සීමා වී තිබේ. ඒ අනුව යූ.ඇන්.පී. ඇත්ත මන්ත්‍රීවරු සියයකින් පමණ වැඩි විය.  අපි පිළිගත් ඇත්ත පරාජයට පත්වී තිබෙයි. ඒ අපි පිළිගත් ඇත්ත බොරු වීම නිසා නොව, මිනිස්සු ඇත්ත පිළිගන්නේ ඔවුන්ට ඇත්ත යැයි  සිතෙන දේ අනුව නිසාය. සිතන දේ සෑම විටම ඇත්ත වන්නේද නැත. ඇත්ත දේ සෑම විටම සිතෙන්නේද නැත. අපේ ඇත්ත ඔබට බොරු විය හැකිය. ඔබේ ඇත්ත අපට බොරුවිය හැකිය. ඇත්ත සෑම විටම ඇත්ත නොවී බොරුවේ නියෝජනයක්ද වන්නේය.
වඩාත් හිතකර, වඩාත් මනුෂ්‍යවාදී, වඩාත් සාධාරණ මතවාදී ඇත්ත නියෝජනය කළේ ජේ.වී.පී.ය. එහෙත් ඔවුන් පරාජයට පත්වී තිබේ. බහුතර මිනිස්සුන්ට සාධාරණය අවශ්‍ය නැත. වඩාත් හිතකර මනුෂ්‍යවාදී වටපිටාවක් අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය සාධාරණ නොවන, මානුෂ්‍යවාදී නොවන සමාජයකි. දැන් එම සමාජය ජාතික ආණ්ඩුවක් ලෙස පැමිණෙමින් තිබේ. ඉදිරි වසර කිහිපය තුළ අපි ජාතික ආණ්ඩු ඇත්ත තුළ ජීවත් විය යුතුය.
ඔබත්, අපත් පිළිගන්නා ඇත්ත ඇත්තම නොවේ. ඇත්ත, ඇත්ත යනුවෙන් දෙයක් දේශපානය තුළ නොපවතියි. දේශපාලනය තුළ පවතින්නේ බොරු ඇත්තකි. බොරු ඇත්තවල් ගොඩක් අප ඉදිරියේ තිබේ. ඉන් ඔබ තෝරාගන්නේ මොන බොරු ඇත්තක්ද? ඔබ තෝරාගත යුත්තේ වඩා සාධාරණ බොරු ඇත්ත නොවේද?
ඇත්තම ඇත්ත යනුවෙන් දෙයක් භාෂාවෙන් කතා කරන ජීවිතය තුළ හමුනොවේ. භාෂාමය සංකල්ප හා ඒ  අනුව ජීවත් වීම ඇත්තම ඇත්ත නියෝජනය නොකරයි. එය බොරු ඇත්තක නියෝජනයකි. බොරු ඇත්ත පිළිගෙන ජීවත් වීම  ජීවිතයට ගැටලුවක් නොවේ. ජීවිතයට ගැටලුවක් වන්නේ බොරු ඇත්ත පිළිනොගැනීමය. ඔබ බොරු ඇත්ත පිළිගන්නේ බොරු ඇත්තක් ලෙස නොවේ. ඇත්තක් ලෙසිනි. දේශපාලනය ඔබ ඇත්තක් ලෙස පිළිගනියි.  ප්‍රේමය, ආදරය ඔබ ඇත්ත ලෙස පිළිගනියි. ආගම, දෙවියන් ඔබ ඇත්ත ලෙස පිළිගනියි. මම ඒ සියල්ල බොරු ඇත්ත ලෙස පිළිගනිමි. ඔබ මේ ඇසට පෙනෙණ, අතට හසුවන භෞතික ලෝකය ඇත්ත ලෙස පිළිගනියි. මම එම භෞතික ලෝකය බොරු ඇත්තක් ලෙස පිළිගනිමි.
ඇත්තක් නම් එය සෑම විටම නිශ්චිත විය යුතුය. එසේ නිශ්චිත වන කිසිවක් නැත. නිශ්චිත වන කිසිවක් නොමැතිනම් සෑම දෙයක්ම වෙනස් වන සුළුනම් සත්‍ය යනුවෙන් දෙයක් පවතින්නේ කෙසේද? නිරන්තර වෙනස් වීම සත්‍යය සෙවීමට බාධාවක් වන්නේය. සත්‍ය අපට හමුනොවන්නේ වෙනස් වීම නිසාය. භෞතික ද්‍රව්‍යයද වේගයෙන් වෙනස් වෙයි. ඔබ පුටුව ලෙස හඳුන්වන ද්‍රව්‍ය දකින මොහොතක් පාසා වෙනස් වෙයි. වෙනස් වන පුටුවත් හැර නොවෙනස් වන පුටුවක් ඔබට අල්ලා ගත නොහැක. භෞතික ද්‍රව්‍යයන්ගේ වෙනස් වීම එතරම් වේගවත් නම් භාෂාමය සංකල්පයන්හි වෙනස් වීම කෙතරම් වේගවත් විය හැකිද? ප්‍රේමය, දේශපාලනය, කලාව, ආගම කෙතරම් වේගයෙන් වෙනස් වන්නේද? නොවෙනස් වෙන දෙයක් හමුවන තුරු වෙනස්වන මෙය අප රවටන්නේය. රැවටි රැවටී සත්‍ය ලෙස මායාවක් පෙන්වන්නේය.
මයාව බිහිසුණු නම් සත්‍ය ලෙස සිතා සිටිය දෙය මායාව වන කල්හි, එය කෙතරම් බිහිසුණු විය හැකිද? අප එම බිහිසුණු බව තවමත් අවබෝධ කරගෙන නොමැත්තෙමු. එසේ අවබෝධ වූවානම් පුංචි ඇත්තවල් බොරු වූවා කියා අප හඬා වැටෙන්නේ නැත. දුක්වන්නේ නැත. කලකිරෙන්නේ නැත.
මහා බොරුවක් තුළ හිඳිමින් පුංචි ඇත්ත, මහා ඇත්ත ලෙස සිතමින් ඒවා බොරු වූ පසු අප රැවටුණා කියමින් දුක්වීමේ අර්ථයක් තිබේද?
ප්‍රේමය මහා බොරුවකි. එම බොරුව තුළ හිඳිමින් අපි ඇත්තට ප්‍රේම කරමු. එම ඇත්ත ප්‍රේමය බොරු වූ පසු අපි දුක් වන්නෙමු. සියදිවි නසා ගන්නෙමු. ඒ ප්‍රේමය ඔබ ඇත්තක් ලෙස සිතන නිසාය.
සියල්ල බොරුවක් මායාවක් ලෙස සිතන්න. යමක් බොරු වුණා යැයි කියා හෝ රැවැට්ටුවා කියා හෝ දුක් නොවන්න. මන්ද, මහා බොරුව තුළ ඇති අතුරු බොරු, බොරු ලෙස නොගන්නා නිසාය.

මට මාව පේන්න පටන් ගත්තාම අනුන්වත් හොඳට පේනවා






මට මාව පේන්න ගත්තම මට මං ගැනම ලැජ්ජ හිතෙනවා. ඉතිං මට ඔබව පේන්න පටන් ගත්තම....
තමන්ට තමන්ව නොපෙනී අනුන්ව පේන්න පටන් ගත්තාම අනුන්ගෙ වැරදි, අඩුපාඩු පේන්න පටන් ගන්නවා. තමන්ව තමන්ට නොපෙනීම තමයි ලෝකයේ තියෙන ලොකුම අඩුව. සියලු අවුල් අනෙකා විසින් හදපු අවුල්. ජීවත් වන සමාජ ක්‍රමය, සංස්කෘතිය, නීතිය, සදාචාරය, ආගම, දේශපාලනය මේ සේරම අනුන් හදපුවා. අනුන් හදපු අවුලක තමන්ගෙ අවුලත් තියාගෙන ජීවත් වීම කොහොම අවුලක්ද?
නිරවුල් හොඳ සමාජයක් හදන්න උත්සාහ කරන මිනිස්සු අවුල් නැති මිනිස්සුද? නෑ... එයාලත් අවුල් මිනිස්සු. දැන් බණ දේශනාකරන හාමුදුරුවෝ අවුලක් නැති අයද? සමහර හාමුදුරුවරු ගිහියන්ටත් වඩා අවුල් කාරයොනේ. සියල්ල අනිත්‍යයයි කියලා බණ කියන හාමුදුරුවෝ පන්සලේ ඉඩමට රණ්ඩු වෙනවා. නඩු කියනවා. සිංහල ජාතිය නිත්‍ය කරන්න හදනවා. මුස්ලිම් ජාතිය නිත්‍ය වෙනවා, සිංහල ජාතිය අනිත්‍ය වෙනවා වගේ අවුල් කතා කියන හාමුදුරුවෝ නැද්ද? තමන්ට තමන් නොපෙනීමේ අවුල තමයි මහා අවුල් ජාලයක් නිර්මාණය කරන්නේ.
මම නම් කාටවත් උපදෙස් දෙන්න, ජීවිතේ කියලා දෙන්න යන්නෙ නෑ. මට මාව තාම හරියට පෙනුණෙ නෑ. මම මං ගැන දන්නෙ නැතුව මම කොහොමද ඔබ ගැන දන්නේ. නොදන්න දෙයක් ගැන දැන ගැනීම, කියා දීම වෙනම දෙයක්. හැබැයි ජීවිතේ ගැන දැන ගැනීම වෙනම දෙයක්. ජීවිතේ ගැන අනුන්ගෙන් දැනගෙන තමන්ගෙ ජීවිතේ මොකක්ද කියලා තමුන් හොයාගන්න ඕනේ. එහෙම නොවී අනුන්ගෙන් ජීවිතේ ගැන දැනගෙන, ඒ අනුව ජීවත්වීම තේරුමක් නැති වැඩක්. එතකොට ඔබ ජීවත් වෙන්නේ අනුන්ට ඕන විදිහට. ටයිම් ටේබල් ජීවිත මට නම් හරි යන්නෙ නෑ. විභාගවලට පාඩම් කරන්න නම් ඒක හරි යනවා. ටයිම් ටේබල් ජීවිත ගත කළාම භෞතික බොහෝ දේ හම්බ වෙනවා. හැබැයි ජීවිතේ මඟ හැරෙනවා. සමහරු ලිංගිකව හැසිරෙන්නෙත් ටයිම් ටේබල් එකට අනුව වෙලාව වෙන් කරගෙනද කියලත් හිතෙනවා. ඒ තරමට ප්ලෑන් කරලා ජීවිතේ.
ප්ලෑන් කරපු ජීවිත ගත කරන මිනිස්සු අතරේ එහෙම නැති මිනිහෙකුට ජීවත්වීම අමාරුයි. සමාජ ගනුදෙනුවලදී, මානුෂික කරුණුවලදී ඔවුන් අසරණයි. මම නම් දැන් පුදුම විදිහට හුදෙකලා වෙලා ඉන්නේ. මට මහා විශාල තනිකමක් දැනෙනවා. මට මාව පේන්න පටන් ගත්තම, මට මං ගැන ලැජ්ජා හිතුණාම, මම මාර බොරුවක්නෙ මේ කරමින් ඉන්නේ කියලා හිතුණාම තනිවෙන්න තමයි හිතෙන්නේ. මට මාව පේන්න පටන් ගත්තාම අනුන්වත් හොඳට පේනවා. එතකොට අනුන් ගැනත් ලැජ්ජා හිතෙනවා. දුක හිතෙනවා. අපි මහා බොරුවක් ඇතුළේ පුංචි ඇත්තවල් හොයන්න දුක් විඳින මිනිස්සු.

දැන් ජීවිතයේ මැජික් හඳුනා ගැනීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි



  •  

ජීවිතය මැජික් එකක් යැයි විටෙක මට සිතෙයි. දරුවෙක් පිළිසිඳ ගැනීම මැජික් වැඩකි. පුංචි දරුවෙක් මෙලොවට බිහිවීම, එම දරුවා වැඩිහිටියෙකු වීම මැජික් වැඩකි. මරණින් පසු එම ජීවියා අතුරුදන් වීමත් මැජික් එකකි. සියල්ල සිදුවන්නේ පුදුම සහගත ලෙසය. සමස්ත ජීවිතයම මැජික් වැඩවලින් පිරී තිබෙයි. පෙම්වතියන් මුණ ගැසීම, විවාහ වීම, ප්‍රේම කිරීම මේ සියල්ල මට අනුව මැජික්ය. දැන් මම මේ මැජික් සෙල්ලමේ සත්‍ය කුමක්දැයි සොයමින් සිටිමි.
මැජික් සංදර්ශනයක් නරඹන විට අපි එය මැජික් කියා දන්නෙමු. අපි මායාවකට රැවටී සිටින බව දන්නෙමු. එලෙස දන්නේ මැජික් පෙන්වන ශිල්පියෙක් සිටින නිසාය. අපි නොදන්නා සත්‍ය මැජික් ශිල්පියා දන්නා බව අප දන්නා නිසා එය මායාවක් යැයි අපි සිතන්නෙමු.
ජීවිතය තුළ සිදුවන මැජික් අප මැජික් ලෙස හඳුනා නොගන්නේ මැජික් පෙන්වන කෙනෙකු නැති නිසාය. එසේ නම් ජීවිතයේ මැජික් එක පෙන්වන කෙනෙක් අවශ්‍ය අපට සත්‍ය සොයාගත හැක්කේ ඔහුගෙනි. ශිල්පියා නොමැති නිසා මැජික් එකක් නොවේ යැයි අපි සිතමු. එය එසේ විය හැකිද?
මැජික් ශිල්පියෙක් යමක් අතුරුදන් කරනවා මෙන් අප ආදරය කරන්නෝ අප හැරදමා යති. මරණය මැජික් එකකි. මේ සිටියා මේ නැත. උදේ හමුවූ කෙනා හවසට නැත. සිප වැලඳ ආදරයෙන් වෙන්වූ කෙනා තව පැය භාගයකින් විනාඩි පහකින් අප හැරදා යා හැකිය. ජීවිතය එළඹෙන මොහොතින් නැති වී යයි. ශරීරය දවාලූ පසු ඇට කැබිලිති හැර වෙන කිසිවක් ඉතුරු නොවේ. අපේ ජීවිතය කොතරම් බිහිසුණු මැජික් එකක්ද.
සත්‍ය දැන ගැනීමට වෙහෙසෙන්නෝ මැජික් බලා පමණක් සතුටු නොවෙති. ඔවුන් මැජික් එක කරන්නේ කෙසේ දැයි සෙවීමට වෙහෙසෙති. එය දැනගත් කල්හි මැජික් බලා ලබන සතුට නොලැබී යයි. මන්ද මායාව අප සතුටට පත් කරන හෙයිනි. බොරුව ආස්වාදනීය වෙයි. මැජික් ශිල්පියෙක් කාරයක් රෙදි කඩකින් වසා අතුරුදන් කරන විට අපි විශ්වාසයටත් සතුටටත් පත්වෙමු. එහෙත් වාහනය අතුරුදන් කරවන ශිල්ප  අප හඳුනාගත්විට පෙර සතුට වෙනුවට වෙනත් සතුටක් ඇති වෙයි. එනම්, බොරුව අප දැන ගත්තාය යන සතුටයි.
ජීවිතයද එසේමය. ජීවිතයේ බොහෝ තැන්හි අප  සතුටට පත්වෙමු. දුකට පත්වෙමු. ඒ ජීවිතයේ මැජික් අනුවය.
ජීවිතය යනු කුමක් දැයි හඳුනා ගත්විට අපගේ සතුට මැජික් සතුටෙන් මාරු වෙයි. ඔයා මැජික් කරන විදිහ මම දැන ගත්තා යන සතුටට සමාන සතුටක් ඇති වෙයි.
දැන් අප මැජික් දෙස බලා සතුටු විය යුතුද? එසේත් නැතිනම් මැජික් එක යනු කුමක්දැයි සොයා සතුටු විය යුතුද? ජීවිතයේ මැජික් බැලුවා ඇතිය. දැන් ජීවිතයේ මැජික් හඳුනා ගැනීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි. ඒ වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්ද. ගිහිගෙය අතහැර දමා භාවනා කළ යුතුද? එසේ නැත්නම් ජීවිතයේ සියලු විසූක දස්සන අතරේ සිට සත්‍ය සොයා ගත යුතුද? සොයා ගන්නා සත්‍යයද, සත්‍යයක් දැයි සෙවිය යුතු කල සොයන්නේ කුමක්දැයි යන්නද මට නොවැටහේ.