Monday, April 4, 2016

රැවටීම බිහිවන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබෙන නිසාය






කරුණු ලියන්නට භාෂාව ඇතිය. අවබෝධය ලියන්නට භාෂාව මදිය. කරුණු සහිත අදහස් අප රවටන්නේය. ඔබට රැවටීමට අවශ්‍ය නම් කරුණු සහිත අදහස් පසුපස යන්න. අදහස ඔබව රවටන්නේය. අවබෝධය රැවටීමෙන් ගලවා ගන්නේය. අවබෝධයද අදහසක් ලෙස ගත් කළ නැවතත් රැවටෙන්නේය. රැවටෙනවා යන්නටද, අදහසක් නිසා රැවටීමටද අපි රැවටෙන්නෙමු.
රැවටීම තේරුම් ගැනීමට නම් නොරැවටෙන යමක් තිබිය යුතුය. සියල්ල රැවටෙන සුළු නම්, සියල්ල රැවටීමට අයිති නම් අපි නොරැවටී සිටින්නේ කෙසේද?
අපිට නොරැවටී සිටීමට නොහැකියි. නොරැවටී සිටින කිසිවෙකුටත් ජීවිතයක් තිබිය නොහැකිය. උපන්දා සිට අප රැවටෙන්නේය. රැවටීමට පුරුදු කරන්නේය. හොඳටම රැවටෙන්නේ හොඳ ජීවිත ගත කරන්නෝය. ජීවිතය සාර්ථක කර ගැනීමට රැවටිය යුතුය. අධ්‍යාපනයට රැවටිය යුතුය. ආගමට රැවටිය යුතුය, සංස්කෘතියට, සදාචාරයට රැවටිය යුතුය. ප්‍රේමයට රැවටිය යුතුය. දේශපාලනයට, කලාවට රැවටිය යුතුයි. නොරැවටෙන යමක් වෙනුවට මේ සියල්ල අපට ආරාධනා කරන්නේ එන්න හොඳින් රැවටෙන්න... හොඳින් රැවටී හොඳ රැවටිලිකාර ජීවිතයක් ගත කරන්න කියාය.
නොරැවටී ජීවත් විය නොහැකිය. සැමියා බිරිඳටද, බිරිඳ සැමියාටද,පෙම්වතා පෙම්වතියටද, පෙම්වතිය පෙම්වතාටද රැවටීම අනිවාර්ය වෙයි. නොරැවටුණහොත් මනුෂ්‍ය සම්බන්ධතා විනාශ වෙයි. &මම ඔයාට විතරමයි ආදරේ.. මම රහසින්වත් වෙනත් පුරුෂයෙක් ස්ත්‍රියක් ගැන නොසිතමි.* මනුෂ්‍ය සම්බන්ධතාවයක් සහිත ප්‍රේමයේ අත්‍යවශ්‍යම රැවටීම එසේ නිර්මාණය වෙයි. &අනේ අපි නම් එහෙම නෑ.....* කියා පරසක්වල ගසා කීවත් මනුෂයෝ රහසින් හෝ සිතින් හෝ අන්පුරුෂ අන්ස්ත්‍රීන් සුඛය පතති.
ගුරුවරු ශිෂ්‍යයන් රවටති... ශිෂයයෝ ගුරුවරුන් රවටති... දෙමවුපියෝ දරුවන් රවටති.... දරුවෝ දෙමවුපියන් රවටති... හාමුදුරුවෝ බණ අසන්නන් රවටති... බණ අසන්නෝ හාමුදුරුවන් රවටති..... පූජකයෝ යදින්නන් රවටති... යදින්නෝ පූජකයන් රවටති.. සියලු තැන්හිම රැවටීම අනිවාර්යය සාධකයි.
අපට උගන්වන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබේ යන්නය. ඒ ඇත්ත ඔබ පිළිගන්නා නිසා ඔබ රැවටීම හඳුනාගන්නා බවය. ප්‍රේමය යනුවෙන් ඇත්තට යමක් තිබේ. එය ඔබ පිළිගැනීමෙන් ඔබ සිතන බොරුව, රැවටීම නිර්මාණය කර ගනියි. ඇත්ත යනුවෙන් යමක් නොමැති නම් බොරුවක් නිර්මාණය නොවේ. රැවටීම බිහිවන්නේ ඇත්ත යනුවෙන් යමක් තිබෙන නිසාය. සත්‍ය අතහැර දැමීමේ බොරුවද අතහැර දැමීමක් වන්නේය.
ඔබ රැවටුණු බව නොසිතන්න... මන්ද ඔබ ඇත්ත යනුවෙන් සිතා රැවටී සිටින්නේද මහා බොරුවකට බැවිනි. අප ජීවත්වන්නේ රැවටීම අනිවාර්ය වූ ලෝකයකය.

No comments:

Post a Comment