Monday, April 4, 2016

සිද්ධ වෙන හැම සිද්ධියකටම ලොකු අදහසක් තියෙනවා






විහාර මහාදේවි පාක් එකේ බංකුවක් උඩ තනියම වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්න අවුරුදු තිස්පහක පෙනුම තියෙන මනුස්සයෙක් හිටියොත්, ඒ මම වෙන්න පුළුවන්. ඉතිං ඒ විදිහට ගිය සතියෙ දවසකත් මම තනියම බංකුවක වාඩි වෙලා හිටියා. මට ඉදිරියෙන් අවුරුදු දහඅටේ, විස්සෙ කොල්ලො කෙල්ලො ටිකක් විනෝදයෙන් කතාබහ කරමින් හිටියා. මේ කොල්ලො කෙල්ලො අතරේ දෙමළ අයත් හිටියා. ඔය වයසෙදි මමත් ඔය විදිහටම හිටපු හැටි මතක් කරකර ඒ ළමයි දිහා බලාගෙන හිටියා. හුරුබුහුටි ලස්සන කෙල්ලො, කඩවසම් කොල්ලො, මිට්ටො, දිග දන්ඩො, බතලයො වගේ හැම යාළුවො සෙට් එකකම ඉන්න වර්ගයේ කට්ටිය එතන හිටියා. එතන පෙම්වතුන් කවුරුත් හිටියෙ නෑ. ඒ හින්දා හැමෝම හිටියෙ ලොකු නිදහසකින්. ප්‍රේමය හැමවෙලාවෙම මනුෂ්‍ය නිදහසට බාධා කරනවා. ප්‍රේම කරන්න කලින් අපි හැමෝම යාළු මිත්‍ර‘යො වගේ නිදහසේ ආශ්‍රය කරනවා. ඉතිං මමත් මේ ළමයි දිහා ආසාවෙන් බලාගෙන හිටියා. එක පාරටම සිංහල කෙල්ලක් දෙමළ කෙල්ලක් එක්ක ටිකක් ඈතට ගියා. ඊට පස්සේ අනිත් එවුන් ටික ලොකු කේක් එකක් අරගෙන මේස උඹ තියලා ඉටිපන්දම් පත්තු කළා. අර සිංහල කෙල්ල දෙමළ කෙල්ලව එතනට එක්කගෙන එනකොට එතන බර්ත් ඩේ පාටියක්. අර දෙමළ දැරිවිගෙ උපන් දිනය. %හැපි බර්ත් ඩේ^ සිංදුව කියලා අර දෙමළ දැරිවි කේක් එක කපලා හැමෝටම කැවුවා. ඊට පස්සෙ ඉතිං ජංගම දුරකථනවලින් ෆොටෝ ගැහුවා හිටු කියලා. අපි දන්නවනෙ දැන් ෆොටෝ ගහන්නෙම ෆේස් බුක් දාන්න කියලා. සේරම ඉරියව් නියෝජනය වෙන්නේ ෆේස් බුක් වෙනුවෙන්නෙ. අර දෙමළ දැරිවිගෙ මුහුණෙ අයිසින් ගාලත් ෆොටෝ ගන්නවා. එතන සෙල්ෆි වැස්සකුත් වැස්සා. හුරුබුහුටි කෙල්ලෝ එහෙට මෙහෙට මූණ ඇද කරකර කෝලන් විදිහට සෙල්ෆි ගහන කොටත් අමුතු ගතියක් තියෙනවා. ෆේස් බුක් ෆොටෝ සේරම ගහලා ඉවර උනාට පස්සේ එහාට මෙහාට දුවදුවා එක එකාගෙ මුහුණුවල අයිසින් ගාන්න පටන් ගත්තා. ජාතිභේද මොනවත් නෑ.... දෙමළෙන් කෑගහනවත් ඇහෙනෙවා. සිංහලත් ඇහෙනවා. මුල ඉඳන් වීඩියෝ කරගත්ත නම් ෂෝට් ෆිල්ම් එකක්.. රට ඒකීයද, සන්ධීයද, ෆෙඩරල්ද ඒ මොනවත් නෑ යාළු මිත්‍රකම්වලට. සේරමලා අයිසින් ගගා දුවනවා. ඊට පස්සේ ටැප් එකෙන් හෝද ගන්නවා. ආපහු ගානවා. විනෝදයට ජාතිභේද මොනවත් නෑ. මුළු ශරීරයම කළු ලෝගුවකින් වහගෙන ඇස් දෙකත් කළු දැලකින් වහගෙන ලෝකය දිහා බලන මුස්ලිම් තරුණියො දෙන්නෙක් මේ තරුණ තරුණියන්ගෙ විනෝදය දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. සංස්කෘතිය, ආගම, විනෝදය නිදහස අහිමි කරලා. ඇඳුම හිර කූඩුවක් වගේ. එයාලා එයාලගෙ ශරීරය සම්පූර්ණයෙන්ම වහගෙන ලෝකයෙ ලස්සන බලනවා. අනෙකාගෙ ලස්සන දිහා බලනවා. හැබැයි එයාලගෙ ලස්සන බලන්න අනෙක් අයට අයිතියක් නෑ. සිංහල දෙමළ අයට ආගමෙන්, සංස්කෘතියෙන් තියන නිදහස ගොඩක් මුස්ලිම් තරුණියන්ට අහිමියි. සමහර මුස්ලිම් තරුණයො තමන්ගෙ පෙම්වතියව ඇඳුම ඇතුළෙ හිරකාරියක් කරගෙන හරි ආඩම්බරයෙන් පාරෙ යනවා. %මම අනික් ගැහැනුන්ගෙ ලස්සන දිහා බැලුවට මගේ කෙල්ලගෙ ලස්සන දිහා උඹලට බලන්න බෑනෙ^ කියන්න වගේ. හැබැයි නිදහස් මනසින් ලෝකය දිහා බලන ගොඩක් මුස්ලිම් සහෝදර සහෝදරයො ඉන්නවා මේ දේවල් තුට්ටුවකට නොසලකන. ඔවුන් හරිම නිදහසේ ජීවත් වෙනවා. මට මේ වගේ හිතුණෙ අර මුස්ලිම් තරුණියො දෙන්න බලාගෙන හිටපු විදිහ හින්දා. එහෙම නැතුව මම බොදු බලේ මානසිකත්වයෙන් මුස්ලිම් විරෝධීව හිතලා නෙමෙයි. අපේ ගැහැනුන්ගෙ ඇඳුම ගැන උඹ වදවෙන් එපා කියලා මුස්ලිම් කට්ටිය මට ඊමේල් එවන්න එපා. මානව නිදහස ගැන අදහසක් මම කිව්වෙ.
ඉතිං අර කොලු කෙළි සෙට් එක අයිසින් ගාගෙන නටලා මොකද දන්නවද කළේ... එතන හිටපු එක දෙමළ කොල්ලෙක් ඉතුරු වෙච්ච කේක් කෑලි පාක් එකේ තනකොළ කපකපා හිටපු ආරක්ෂක අංශයෙ සහෝදරයන් ළඟට ගිහිල්ලා දීපු එක.
සිද්ධ වෙන හැම සිද්ධියකටම ලොකු අදහසක් තියෙනවා. නිකම් බැලුවට බෑ.... හොඳට හිතලා බැලුවොත් තියනවා.

No comments:

Post a Comment