Monday, April 4, 2016

ප්‍රශ්න තිබෙනතාක් පිළිතුරුද, පිළිතුරු තිබෙනතාක් ප්‍රශ්නද අවසන් නොවෙයි





ප්‍රශ්නයකින් තොරව පිළිතුරකට පැවතිය හැකිද? පිළිතුර නිර්මාණය වන්නේ ඇසෙන හෝ අසන ප්‍රශ්නයට අනුවය.
බුදු හාමුදුරුවෝ ජීවිතයේ අර්ථය කුමක්දැයි සිතුවෝය. එය ප්‍රශ්නයකි. උන්වහන්සේ පිළිතුර සොයා ගැනීම උදෙසා ගිහිගෙය අත්හැර දැමූහ. ගුරුවරු කරා ගියෝය. පිළිතුරක් නොලැබුණ තැන තමා විසින්ම පිළිතුරක් සොයා ගත්තේය. පිළිතුර නිවනය. නැවත නොඉපදීමය. උපත ලද්දෝ දුකට පත්වෙති. ඉපදීමක් නැති නම් දුකක් නැත. බෞද්ධයන් වන අපි එම පිළිතුර පිළිගෙන එතැන නතර වන්නෙමු. කතෝලිකයෝද, මුස්ලිම්වරුද සර්ව බලධාරී දෙවියන් වහන්සේ ළඟ නතර වී සිටිති. පිළිතුරු දෙවියන් ළඟ තිබේ. ප්‍රශ්න අප ළඟ තිබේ. පිළිතුර දෙවියන් වහන්සේගේ කැමැත්තය.
ප්‍රශ්නයක් නොඅසන විට පිළිතුරක්ද නැත. එහෙත් මිනිසුන්ට ප්‍රශ්න නොඅසා සිටිය නොහැකිය. ජීවිතයම ප්‍රශ්නයකි. ප්‍රශ්නද ප්‍රශ්නයකි. අපි ප්‍රශ්න අසන විට ප්‍රශ්නය යනු කුමක්දැයි නොසිතමු. පිළිතුර ගැන පමණක් සිතමු. ප්‍රශ්නද ප්‍රශ්නයක් නම් පිළිතුර ගැන කවර කතාද?
ප්‍රශ්නයට අවසානයක් නැත. එහෙත් ප්‍රශ්නයට අවසානයක් තිබිය යුතුය. බෞද්ධ අපි ප්‍රශ්නය  නිවනෙන්අවසන් කර ඇත. අන්‍යාගමිකයෝ දෙවියන් වහන්සේගෙන් අවසන් කර ඇත. අවසානය ප්‍රශ්න කිරීමට අපි බිය වන්නෙමු. ඒ අප ආගමික භක්තිකයන් වන නිසාය. තමන් විශ්වාස කරන තැනකින් ප්‍රශ්නය අවසන් කරගත හැකිය. ඒ අවසන් පිළිතුර ලැබෙන නිසාය.
ජීවිතය යනු කුමක්ද යැයි අසන ප්‍රශ්නයට අවසන් පිළිතුර සාදා අවසාන නැත. එය අතීතයේදී සෑදුවේය. වර්තමානයේ හදන්නේය. අනාගතයේදී ද හදනු ලබන්නේය. තව අවුරුදු දහසකින් හෝ පන් දහසකින් ජීවිතය යනු කුමක්දැයි කියා අසනු ලබන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කුමක් විය හැකිද? පිළිතුර ඇත්ත හෝ බොරු වන්නේ අප පිළිතුර බාර ගන්නා විදිහ අනුවය. අප පිළිතුර බාර ගන්නේ අපේ විදිහ අනුවය. දැන් ඔබ බොහෝ පිළිතුරු ළඟ ජීවිතය නතර කර තිබේ. එහෙත් සැනසීමක් තිබේද? නැත. පිළිතුරු සම්පූර්ණ වූවා කියා තෘප්තියක් නැත. මොකක්දෝ මන්දා අඩුවක් දැනේ. හිස් බවක් දැනේ. පිළිතුර පිළිගෙන නතර වුවද සතුටක් නොදැනේ. ඒ තව ප්‍රශ්න තිබෙන නිසාය. පිළිතුර බලාපොරොත්තු වන්නෝ ප්‍රශ්නද නිර්මාණය කර ගනිති. ඒ නිසා අවසානයකට නොපැමිණෙති. ප්‍රශ්න තිබෙනතාක් පිළිතුරුද, පිළිතුරු තිබෙනතාක් ප්‍රශ්නද අවසන් නොවෙයි.
ජීවිතය යනු ප්‍රශ්න හා පිළිතුර පමණක්ද? එසේ නැතිනම් ඉන් ඔබ්බෙහි පවතින යමක්ද ඔබේ ප්‍රශ්නවලට මගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. මගේ උත්තර ළඟ ඔබ නතර කරලා මට පොරක් වෙන්න ඕනෙ නෑ. සමහරු හිතනවා මං ළඟ උත්තර තියනවා කියලා.  . උත්තර දෙන මමත් ඔය ප්‍රශ්නවලටම උත්තර බලාපොරොත්තු වෙනකොට මම දෙන උත්තර සම්පූර්ණ නෑ නේද? ඇයි අසම්පූර්ණ මිනිහෙකුගෙන් සම්පූර්ණ උත්තර හොයන්නේ?

No comments:

Post a Comment