Thursday, June 7, 2018

ගොඩ නැගෙන හැම මනුෂ්‍ය සම්බන්දයක් ම ගොඩනගලා තියන මනුෂ්‍ය සම්බන්දකම් වල ආකෘති ඇතුළට වැටෙනවා . ආකෘති ඇතුලේ මනුෂ්‍ය සම්බන්දකම් ඇතිවෙනවද ගොඩනැගෙන මනුෂ්‍ය සම්බන්දකම් ආකෘති ඇතුළට දානවද කියන එක .කිකිළිද බිත්තරේද වගේ ප්‍රශ්ණයක් ....එක ගැනියෙක් එක පිරිමියෙක් ගේ සම්බන්දයකට ප්‍රේමය කියනවා .ඔය ප්‍රේමය උත්කෘෂ්ටයි පරමයි පිවිතුරුයි කියන්න ඕනේ තරම් සංකල්ප වචන සාහිත්‍ය තියනවා .සිදුහත් යසෝදරා සම්බන්දයත් අන්න ඒ වගේ කථාවක් සාහිත්‍යක් .මිනිස්සු ඒවට ආසයි .සිදුහත් ගිහි ගෙයින් ගියාට පස්සේ යසෝදරා වෙනත් පුරුෂයෙක් සමග සම්බන්දය තිබුණා කියලා හිතන්නවත් අපි කැමති නෑ.මොකද අර වගේ පරම පිවිතුරු සම්බන්දකම් ඇත්තට නැති නිසා ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න අපි කැමතියි ........ජිවිතේ කියන්නෙම ඇත්තට නැති දේවල් ඇත්තට තියනවා කියලා බොරුවට හිතන්න කැමති වීම .ඇත්තට තියනවා කියලා බොරුවට හිතාගෙන ජීවත් වීම .එක වෙලාවකට මට මේ ඇක්ට් එක දරා ගන්න බැරි තරම් අමාරුයි ..මිනිස්සු කොහොමද අප්පා මේ තරම් බොරුවක් ඇත්තයි කියලා හිතාගෙන බොරුවට ජීවත් වෙන්නේ
මීට අවුරුදු දොළහකට විතර කලින් මගේ බඩේ ලැප්රස්කොපි පරීක්ෂණයක් කලා .ඒක ශල්‍යකර්මයක්ම තමා සම්පුර්ණයෙන් සිහිනැති කරලා කැමරා හයිකරපු අඩු බඩ ඇතුළට දාල කරණ වැඩක් .මරණය කියන්නේ මොනවගේ අත්දැකීමක්ද කියන එක මට පොඩිකාලේ ඉදන්ම අද වෙනකම් තියන ප්‍රශ්නයක් .ඔලුව පිස්සු වැටෙනකම්ම ඕක හිතනවා .ඉතින් මම හිතුවා මට සිහිය නැති කලාම එක්කොආපහු සිහිය එන එකක් නෑ කියලා .මේ ශරීරයෙන් අයින් වෙලා පාවී පාවී පරීක්ෂණය කරණ විදිහ බලන්න පුළුවන් වගේ දේවල් හිතහිතා ට්‍රොලියෙන් ශල්‍යගාරය ඇතුළට ගියා .ඔයාට අපි සිහිය නැති කරනවා කියලා අතේ තිබුණ කැනියුලා එකට මොනවාද විද්ද .සිහිය නැතිවෙන්නේ නැතුව ඉන්න පුලුවන්ද කියලා.ත් හිතුවා .මොන .අත දිගේ මොනවාද හීතලට යනවා වගේ දැනුනා .එකපාරට කළු උනා. ඊටපස්සේ මොනවත් දන්නේ නෑ. පැය හයක් විතර බඩ ඇතුලේ වැඩේ යනවා. මම මෙලෝ දෙයක් දන්නේ නෑ .මට හිතෙනවා මරණයත් ඒ වගේ. එකපාරට කළු වෙනවා එච්චරයි .නැවත ඉපදෙන කථා .සුවර්ගය .අරවා මේවා සේරම ජිවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ඕනේ කරණ කතන්දර කියලා මට හිතෙනවා .නැවත සිහිය එනකොට මම ආපහු මේ ලෝකෙට ඇතුල් වෙනවා .එතකොට මම ඉන්නවා කියලා දැනෙනවා .එකපාරට කළු වෙනවා වැඩේ එතනින් ඉවරයි .....