Tuesday, January 26, 2016

විද්‍යුත් තිර මාධ්‍ය අනාගතය

විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා

හරියටම මීට අවුරැදු දාසයකට, දාහතකට කලින් ජංගම දුරකථන හැමෝගේම අතේ තිබුණේ නෑ. දෙදහ අවුරැද්දෙන් පස්සේ තමයි ජංගම දුරකථන වේගයෙන් වෙළෙඳ පොළට ආවේ. අද මනුෂය සම්බන්ධතා තීරණාත්මක විදිහට වෙනස් කරන්න මේ තාක්ෂණික උපකරණවලට පුළුවන්වෙලා තියෙනවා. මගේ ජීවිතේ අවුරැදු විස්ස, විසිපහ කියන්නේ අපේ සමාජයේ සංක්‍රාන්ති සමයක්. සෙල්ලම් ගෙවල් හදලා, සෙල්ලම් බත් උයාගෙන කාපු අවසාන පරම්පරාවත් අපි... අපි අතීතයටවත්... වර්තමානයටවත් අයිති නැති මිනිස්සු... අතීතයත් එක්ක ඉන්න බෑ.... වර්තමානයත් එක්ක හරියට සෙට් වෙන්න බෑ... අලුත් අවුරැද්දට අලුත් ඇඳුම් ඇඳගෙන, කැට ගහපු, ඔන්චිලි පැදපු අපිට අතීතයේ ඉන්න බෑ...  ෆේස් බුක්, ස්කයිප්, ටච් ෆෝන්, ටැබ්, ලැප්ටොප් හොඳට පාවිච්චි කළාට හරියට සෙට් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඉන්න කොල්ලන් කෙල්ලන්ට වගේ ඒක දැනෙන්නේ නෑ. අපේ අම්මලා, තාත්තලා අතීතයට ආයිති මිනිස්සු. එයාලට වර්තමානය තේරැම් ගන්න බැරිවීම පුදුමයක්... මේ තාක්ෂණය මැජික් එකක් කියලා හිතෙන තරමට පුදුමයක්... එයාලා කොල්ලෝ, කෙල්ලෝ ටච් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, පාවිච්චි කරන දිහා පුදුමවෙලා බලනවා... සමහරැ ආමාරැවෙන් මේ තාක්ෂණය එක්ක සෙට් වෙනවා. අපිට මේ තාක්ෂණය පුදුමයක් නෙමෙයි... අපේ පරම්පරාවේ දෙමාපියෝ ළමයි ඉස්සරහා යම් තාක්ෂණය නිසා ලැජ්ජා වෙන්නෙ නෑ... දරැවෙකුට මේ කොම්පියුටර් තාක්ෂණය, අන්තර්ජාලය ගැන කියලා දෙන්න තරම් දැනුමක් අපේ පරම්පරාවේ දෙමාපියන්ට තියෙනවා. හැබැයි අපේ අම්මලා, තාත්තලාට ඒ දැනුම ඇවිත් තිබුණේ නෑ. ඒ හින්දා ටච් ෆෝන්, ටැබ් ඔබ ඔබා අපේ පරම්පරාවේ අය දෙමව්පියන්ට නොතේරෙන දෙයක් දන්න බව පෙන්නුවා.  හැබැයි දැන් කෙල්ලෝ, කොල්ලෝ වගේ අපිට ඇගෙන්ම සෙට් වුණේ නෑ ඒවට.

ඉස්සර හිතින් ආදරය කරන කෙල්ලව දකිනකම් කොල්ලෝ ඇස් කැඩෙනකම් බලන් ඉන්නවා. සෙනඟ අතරින් ඒ සුන්දර මුහුණ මතුවෙනකම් ගැහැනු මූණු අතරේ ඇගේ මුහුණ හොයනවා. සෙනඟ අතරින් ඒ සුන්දර දිගැටි මුහුණ මතුවෙනවා. නිල්පාට පුංචි ඇස් එකිනෙක ගැටෙනවා. අඩුමතරමේ තත්ත්පර පහක්... ආපහු ඇය සෙනඟ අතරින් නොපෙනිලා යනවා. සමහර දවස්වලට මම ඇයට හෙරෙන් සැඟවී බලා සිටිනවා... ඇය සෙනඟ අතරින් පැමිණ වෙනදා මා සිටින තැන දෙස උනන්දුවෙන් බලනවා. එය මොනතරම් සතුටක්ද... මම සෙනඟ අතරින් ඈ අසලට එනවා. ඇය ලැජ්ජාවෙන් මුහුණ හංඟාගෙන බස් එකට නගිනවා. සතියකට එය ප්‍රමාණවත් නිසා ඇය නැගයන බසය දෙස මා බිම සිට බලා සිටිනවා. හැමදාමත් ඔහොම බල බලා ඉඳලා හරියනවද? අදවත් අහපන් කියලා මිතුරන් මට කියනවා.

හිතට ශක්තිය ගෙන ඈ යන බසයට මම නගිනවා.  සෙනඟ අතරේ සිරවෙමින් මම ඇය අසලට යනවා. සෙනඟට පින් සිදුවෙන්න ඇයත්, මාත් අතරේ පරතරය අඩි භාගයක් වෙනවා. ඇගේ සියුමැලි කන්පෙත්ත මගේ අතෙහි ගෑවෙනවා. ඇය එක්වරක් හිස ඔසවා මාදෙස බලනවා. වචන නැති මම ගොළු වෙනවා. දෙවියනේ ඇයි වචන එන්නේ නැත්තේ. නුගේගොඩ සිට මහරගමට එනගමන් මම වචන හොයනවා. ඇගේ ළැම වේගයෙන් ගැහෙනවා. ඇය ඒ මේ අත බලනවා. දෙවියනේ කෝ වචන... වචන නැති මම මහරගම පහුවෙලා හෝල්ට් දෙක තුනකින් පස්සේ ඇය බසයෙන් බැස පලා යනවා. ඇය දුක්බරව බසයෙන් බැස යන මා දෙස වීදුරැවෙන් බලනවා. “ඊයේ නම් වැඩේ හරි නේද? අපි දැක්කා ළං වෙලා ඉන්නවා. ඇහුවද ?* කියා මිතුරන් අහනවා. මම අහන්න බැරි වුණා කියනවා. අවුරැදු දෙකහමාරක් මම ඇය දෙස බලමින් සිටිනවා. A/L පංතියේ අවසාන දිනය පැමිණෙනවා. ඇය හමුවෙන අවසන දිනය අදයි. අදින් පසු ඇය මගේ දර්ශන පථයෙන් ඉවතට යනවා. මම ඇය අසලට යනවා. පංතියේදී, පාරේදී, බසයේදී මා දෙස හොරුහින් බැලූ ඇය අසලට මම යනවා. කෙසේ දෝ පිට කොල්ලෙක් ඈ අසලට එනවා. ඇගේ අත අල්ගෙන ඔහු බසයට නගිනවා. ඉන්පසු මම ඇයව දැක්කේ නෑ අද වෙනකම්... ඔයා අහයි එයා කොච්චරකල් බලාගෙන හිටයද? ඇයි ඔයා ඇහුවේ නැත්තේ... ඇගේ මිතුරියක් මාස ගණනකට පස්සේ මට එහෙම කියනවා. ඇය නොඑන බව දැන දැනම වෙනදා මෙන් මම ඇය එනකන් බලා සිටිනවා. නොඑන කෙනෙක් එනතුරැ බලා සිටීම මොනතරම් ආශ්වාදයක්ද ? ඔයා දන්නවාද මම එයා එනකම් මෙතනටවෙලා කොච්චරවෙලා බලන් හිටියද කියලා. අඩුම ගානේ මම එයාගේ කට හඬවත් අහලා නෑ. මං බිරිඳට එහෙම කියනවා. අදත් එහෙනම් එයා එනකම් බලාගෙන ඉඳලා යමුද? මාත් ඉන්නම් කියලා බිරිඳ කියනවා.
මම දන්නේ නෑ.. අද ඉන්න කොල්ලෝ, කෙල්ලෝ මෙහෙම ආදරේ කරලා තියෙනවද කියලා. සමහර විට ඉන්නත් පුළුවන්. දැන් තියෙන තාක්ෂණයත් එක්ක අපි කාටවත් හැංගෙන්න බෑ. අවුරැදු දහයේ, දහ අටේ කොල්ලෝ ටිකක් ෆේස් බුක් එකේ ටයිප් කර කර කෙල්ලෝ හොයනවා. “ආ ඔය ඉන්නේ ඒක නියමයි. පට්ට... පට්ට... මචං...* කිය කියා කෙල්ල ගැන විස්තර හොයනවා. කාපු බීපු තැන්, කාපූ බීපු දේවල්, කාපු තැන්, බීපු තැන්, නිදාගත්ත තැන් සේරම ෆේස් බුක් එකේ තියෙනවා. උදේට හම්බ වෙන ත්‍රිමාන ශරීරයට රූට ද්විමාන රෑපයක් විදිහට ස්කයිප් තාක්ෂණයෙන් කාමරයට එනවා. එදා වගේ පොඩ්ඩක්වත් බාධා නෑ. රැපියල් විසි පහේ රීලෝඩ් එකකින් පෙම්වතිය කාමරයට ගෙන්න ගන්න පුළුවන්. ශරීර ස්පර්ශයක් නැති ශරීර සමග ගනුදෙනුවක්.... වියදම අඩුයි... සතුට වැඩියි.

ඉස්සර නම් කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නවා ගෙදරට අහු උනොත්, ගෙවල්වල කාමරයට දාලා දොර වහනවා. හැබැයි කාමරේ ඇතුළේ ඉන්ටනෙට් ගන්න පුළුවන්. කොම්පියුටර් හරි, ජංගම දුරකථනයක් හරි තිබ්බොත් දොර වැසිල්ලෙන් වැඩක් කෑ. කාමරය ඇතුළේ දොරවල් වහගෙන කොල්ලෝ, කෙල්ලෝ තනි තනිවම වෙබ් කැමරා ඉස්සරහා හැසිරෙන හැටි ගැන දෙමව්පියෝ දන්නේ නෑ... මීට අවුරැදු දහයකට, දොළහට කලින් පෙම්වතුන් හමු වුණේ මහ පාරේ බස් හෝල්ට් එකේ, ටියුෂන් පන්තියේ, ඉස්කෝලේ, චිත්‍රපට ශාලවේ... කොළඹ අග නගරවල හිටපු පෙම්වතුන් විහාර මහාදේවි පාක් එකේ, මහජන පුස්තකාලේ, අදත් පෙම්වතුන් මේ තැන්වල හම්බවෙලා, හවසට වෙන්වෙලා යනවා... ආදරණීය මතකයන් සිතට තුරැලු කරගෙන. ජංගම දුරකථන නෑ  කතා කරන්න, එස්.එම්.එස්. යවන්න විදියක් නෑ. නැවත මූණ දකිනකම්, හම්බවෙනකම් ආදරය පුරවගෙන ඉබලන් ඉන්නවා. ආදරය දරා ගන්න බැරි වුණාට, රූ එළිවෙනකම් ලියුම් ලියනවා. හැබැයි අද එහෙම හිතේ ආදරය පුරවගෙන ඇදේ පෙරළි පෙරළි මනෝලෝකවල ඉන්න ඕනෙ නෑ. ඇදේ බුදියගෙන ජංගම දුරකථනය තුරැලු කරගෙන එළිය වැටෙනකම් කතා කර කර ඉන්න පුළුවන්... මනුෂ්‍ය ශරීරය වෙනුවට හඬ සවනත් එන ජංගම දුරකථනය තුරැලු කර ගන්නවා. ස්කයිප් වලින් රූපය එනවා. ඉස්සර විහාර මහාදේවි පාක් එකේ ඉන්නකොට පෙම්වතා ‍පෙම්වතියගේ මූණට ළං වෙච්ච ගමන් සිකියුරිටි ගාඩ් විසිල් එකක් ගහගෙන දුවගෙන ඇවිල්ලා බනිනවා. ස්කයිප් එකෙන් එනකොට මොන සිකියුරිටි ගාඩ්ද විසිල් ගහන්න ඉන්නේ...

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ. හිස පහතට නවාගෙන ටච් ෆෝන්... ටැබ්... ලැප්ටොප්... හිස පාත් කරලා.  මනුෂ්‍ය‘යෙක් සමග ඇස් ගැටෙන්නේ නෑ. අවට සිදුවෙන දේ පේන්නේ නෑ. හිනාවෙන්නේ නෑ. ෆෝන්එක දිහා බලබලා, ටැබ් දිහා බලබලා තනිවම හිනා වෙනවා. තනිවම කතා කරනවා. තනියම සිංදු අහනවා. බඩ දරැ අම්මලා, වයසක ආච්චිලා බස් එකේ  හිටගෙන යනවා. කොන්දොස්තර කෑගහලා බඩ දරැ අම්මලාට නම් සීට් එකක් අරන් දෙනවා. ආච්චිලා හිටගෙන යනවා. දහඅටේ ගැටයා වාඩි වෙලා ෆේස් බුක් යනවා.

මනුෂ්‍යයාට මේ විදියට හැසිරෙන්න බලපාන්නේ තිර මාධ්‍ය. මේ සංවේද සංස්කෘතිය (Sensate Culture) මගින් භෞතික ලෝකයේ දැනෙන සංවේදන ඇරෙන්න වෙනත් කිසිම දෙයක් දැනේනේ නැති, අධ්‍යාත්මික දේවල් නැති, හිසි ආත්මයක් සහිත ජන කොටසක් නිර්මාණය වෙනව කියලා කියනවා. මේ විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා. මෙතනදී තරැණ තරැණියන්ට වැරුද්ද පැටවීම තේරැමක් නැති දෙයක්.. සිදුවන දේ සම්බන්ධව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්.

-මම

හැමදේම පරණ වෙනකොට අවුරැද්ද විතරක් අලුත් වෙනවා

එන්න එන්න හැමදේම පරණ වෙනකොට අවුරැද්ද විතරක් අලුත් වෙනවා. අලුත් අවුරැදු සුබ පැතුම්වල අඩුවක් නෑ. හැමෝම සුබ පතා ගන්නවා. ඒක හරිම යාන්ත්‍රික වැඩක් කියලා මට හිතුණා. හැඟීම් නැතිව ප්‍රකාශ කරන හිස් වචන.... එස්.එම්.එස්. ඒත් සමාජයක් ඇතුළේ සංස්කෘතික ජීවිත ගතකරන මිනිස්සුන්ට අලුත් අවුරැදු සුබ පැතුම අවශ්‍ය දෙයක්. සංස්කෘතිය කියන්නේ මිනිස්සු නිර්මාණය කරගන්න දෙයක්. මිනිස්සු හදාගන්න දෙයක්. කාලය ගත වීමත් දැන් සංස්කෘතියක්. අලුත් අවුරැද්ද උපන් දිනය, වෙසක්, පොසොන්, නත්තල් මේ හැම දේකටම නිශ්චිත කාලරාමු මිනිස්සු විසින්ම හදාගෙන... ස්වභාවදහම තුළ කාලය යනුවෙන් දෙයක් තියෙනවද කියන එක දාර්ශනික ගැටලුවක්. ස්වභාවදහම තුළ අවුරැදු, මාස, දින, පැය ගණන් නෑ.

ඉරිදා, සඳුදා, අඟහරැවාදා කියලා ස්වභාවදහම තුළ ලියවෙන්නේ නෑ. එහෙනම් කවුද අවුරැදු, මාස, දිනවලට නම් දාලා හැදුවේ. මිනිසා... මිනිසා තමයි කාලයට අර්ථකථන දුන්නේ. එළිනෙවා... රූ වෙනවා... සෘතු වෙනස් වෙනවා... ස්වභාදහම වෙනස් වෙනවා. මේවා තමයි මිනිසාට කාලය ගැන සංකල්පයක් ඇති කළේ. ඒ අනුව තමයි කාලය මනින ක්‍රම මිනිසා හදාගත්තේ. වර්තමාන දින දර්ශනය සූර්යාගේ ගමනට ගැළපෙන විදිහට රෝමයේ ජූලියස් සීසර්ගෙ කාලයේදී හදපු එකක්නේ. ඒක පහළොස් වන ශත වර්ෂයේදී පාප්තුමාගේ අණ පරිදි ලෝකයේ පිළිගත් දින දර්ශනය බවට පත්වුණා.

දැන් අපේ ජීවිතය තීරණය කරන්නේ ඔන්න ඔය දින දර්ශනය. අවුරැද්දට දින තුන්සීය හැට පහක් නැතුව දින දාහක් විතර දාගන්න නම්, දින දාහකින් තමයි අවුරැද්දක් ගෙවෙන්නේ. කාලයත් මිනිස්සු නිර්මාණය කර ගත්ත සංකල්පයක්. අපේ මිනිස්සු හිතන්නේ සංස්කෘතිය ස්වභාවික දෙයක් කියලා. ඒක තමයි ජාතිආගම්වලට බෙදිලා මරා ගන්නේ. මේ සේරම අපි හදාගත්ත විකාර. මිනිස්සුව හදාගන්න දේවල් වෙනුවෙන් ගහමරා ගන්නේ පිස්සුවටද... මේක මගේ රට, මේක මගේ ජාතිය, මේක මගේ ආගම, මගේ ජාතිය සුළු ජාතිය වෙනවා. සංස්කෘතිය විනාස වෙනවා. මට නම් මේවා මහ විකාර. මිනිස්සු හදාගත්ත දේවල් විනාස වෙනවා තමයි. වෙනස් නොවිච්ච සංස්කෘතියක් ලෝකෙ තියෙනවද? මිනිස්සු හදාගත්ත දේවල් වෙනවා. විනාස කරනවා. අපේ රට, අපේ ජාතිය, අපේ ආගම කිය කියා... දඟලන හැමෝම අපේ රට කියලා අනෙක් ජාතියට අපේ රට කියන හැඟීම නැති කරනවා.  අපේ ආගම කියලා අනෙකාගේ ආගම පාගලා දාන්න හදනවා. මොකද කාලය හා අවකාශය ඇතුළෙ තමන්ගෙ දේවල් ස්ථිර කර ගන්න. තමන්ගෙ මතය තමයි හරි කියලා කියන්න. මේ සංස්කෘතික ජීවිත ඇතුළෙ හරි දේ තියෙන්නෙ... සමාජයට හානියක් නොකර සමාජය අවුල් නොකර ජීවත් වෙන කෙනාට. හැබැයි මිනිස්සුන්ට එහෙම ඉන්න බෑ. එයාලා පක්ෂ, කණ්ඩායම් හදාගෙන ජාති, ආගම් බෙදාගෙන එක එක මතවාද ඔළුවට අරගෙන ඒ මත වෙනුවෙන් සටන් කරනවා. මේ වැඩේ අවසානයක් නෑ... කෙළවරක් නෑ....

මං කියකියා හිටියේ කාලය ගැන. කාලය ගැන විවිධ සංකල්ප ලෝකය පුරා ගොඩගැහිලා තියෙනවා. විවිධ දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ කාලය ගැන විවිධ විදිහට අර්ථකථන කරලා තියෙනවා. ග්‍රීක දාර්ශනිකයෝ, නූතන බුද්ධිවාදී දාර්ශිකයෝ ආගමික නායකයෝ... කාලය ගැන දක්වල තියෙන අදහස් ලිවීම තේරැමක් නැති වැඩක්. ඒකට මේ ලිපිය ප්‍රමාණවත් නෑ. මම තාමත් හිතන්නේ මිනිස්සුන්ට දැනුම නෙමෙයි අවශ්‍ය අවබෝධය. දැනුම බෙදාගන්නවට වඩා ඒ දැනුම තුළින් ලැබෙන අවබෝධය, බෙදාගන්න එක තමයි වැදගත්. දැනුම තියන මිනිස්සු පණ්ඩිතයි. කුහකයි. ආත්මාර්ථකාමීයි. හැබැයි අවබෝධය ලබාගන්න මිනිහට පණ්ඩිත වෙන්න, කුහක වෙන්න දෙයක් නෑ. මම දන්නවා සමහර මිනිස්සු ඔය අහවල් පොත කියවලා තියෙනවද ? අහවල් චිත්‍රපටය බලලා තියනවද කියලා අහනවා.

උත්තරේ නෑ කිව්වොත්, ඒ මනුස්සයව මෝඩයෙක් විදියට සලකනවා. හැබැයි ඒ මෝඩයා අර උගතගෙන් ඇහුවොත් තමුසේ මේ පොත කියවලා තියෙනවද කියලා උගතා කිව්වොත් නෑ කියලා උගතත් මෝඩයා වෙනවා. පොත් කියවලා තියන ප්‍රමාණය අනුව මිනිස්සුන්ගෙ බුද්ධියෙ ප්‍රමාණය මනින එක තේරැමක් නැති වැඩක්. ඔය මහා උගතුන්ව ආශ්‍රය කළොත් තේරෙයි ඔවුන්ගෙ අවබෝධය බිංදුවයි කියලා. ජීවිතයේ  ගතයුතු කිසිමදෙයක් නෑ කියලා. මේ කාලේ උගත්තු මොන තරම් දේශනා තියනවද ? බණ කියනවද? සමාජය ශිෂ්ට කරන්න හදනවද ? කෝ වැඩක්වෙලා තියෙනවද? හොරා, මිනීමරැවා, දූෂිතයා කියලා දැන දැනම උන්ටම කතිරෙ ගහන මිනිස්සු ජීවත් වෙන රටක් මේක.

මේ ලිපියටත් සැලසුමක් නෑ, ලියාගෙන ආවේ කාලය ගැන... දැන් යන්නෙ වෙන කොහොවත්. මට නම් සැලසුමකට අනුව ජීවත් වෙන එක අන්තිම අමාරැ වැඩක්. ජීවිතේ ප්ලෑන් කරපු මිනිස්සු ඒ ප්ලෑන් එක්කම වයසට යනවා. පුදුමාකාර විදිහට ජීවිතේ සැලසුම් කර ගන්න මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. ඔවුන් ලිංගිකව හැසිරෙන්නෙත් ප්ලෑන් එකට අනුව. මගේ මිත්‍ර‘යෙක ඉන්නවා එයා ගාමන්ට් ෆැක්ටරියක මැනේජර් කෙනෙක්. මිනිහාගෙ ජීවිතේම ප්ලෑන්... අවුරැදු තිහ වෙද්දි අවුරැදු අටක ළමයෙක් ඉන්නවා. කාර් එකක් තියෙනවා. ගෙයක් තියෙනවා. උඹලාට තිස් පහක් වෙලත් මොනවත් නෑනේ කියලා යාළුවා කියනවා. මම හිනාවෙනවා... මිනිස්සු කාලය කළමනාකරණය කරගෙන සතුටක් ලබනවා. මගේ යාළුවට සතුට ගෙනාවේ මිනිහා මිනිහට සතුටු විදියට කාලය තුළ ජීවිතේ විවිධ අරමුණුවලට ළඟා වෙච්ච හින්දා. හැබැයි ඒ වෙනුවෙන් මිනිහා පුදුමාකාර දුකක් විඳිනවා. කාලය තුළ අරමුණු ජයගන්න දුක් විඳින්න වෙනවා. ඒ කාලය තුළ භෞතික දියුණුවක් හරි, ආධ්‍යාත්මික දියුණුවක් හරි ලබන්න නම් දුක් විඳින්නම වෙනවා.

මං කිව්වනේ කාලය ගැන විවිධ මත තියනවා කියලා. පශ්චාත් නූතනවාදීන් කියනවා මේ තොරතුරැ තාක්ෂණයේ, ජනසන්නිවේදනයේ බලපෑම හින්දා කාලය හා අවකාශය සංකෝචනය වෙලා කියලා. ඒ කියන්නේ අකුලලා... කුඩා කරලා... ඇයි එහෙම වෙන්නේ. මේ සමාජය හරිම වේගවත්... සන්නිවේදනය වේගවත්... ලංකාවේ හයිවේ හදන හින්දා, පාරවල් කාපට් කරන හින්දා ගමනාගමනයත් වේගවත් වෙලා. වේගය වැඩි වුණාම  කාලය ගතවීම දැනෙන්නේ අඩුවෙන්. ඉස්සර ගාලු පාරෙන් මුහුද බලබලා ගාල්ලට යනකොට මොනතරම් කාලයක් දැනුනද? හයිවේ එකේ ගාල්ලට යනකොට එහෙම දැනෙන්නෙ නෑ. ඒක නින්දෙන් ගාල්ලේ. ඈත අතීතයේ මිනිස්සු පයින් යනකොට, කරත්තෙවලින් යනකොට කාලය මොන තරම් දැනෙන්න ඇතිද? ඒ අනුව මනුෂ්‍ය අවකාශය විතරක් නෙමෙයි, ඒ අවකාශය ඇතුළෙ තියන සියලු සම්බන්ධතා සංකෝචනය කරලා. මට මතකයි අනූව දශකය... අසූව දශකය... ඒ දශක දිග වැඩියි. මතකයන් වැඩියි. හැබැයි දෙදාහේ දශකය වේගයෙන් ගෙවිලා ගියා. දැන් ඊට වඩා වේගයෙන් කාලය ගතවෙනවා කියලා දැනෙනවා. අපේ අම්මලා, තාත්තලා අතීතය ගැන මොනතරම් දේවල් කියනවද? අපේ ආච්චිලා, සීයලා ඊටත් වඩා දේවල් කියනවා. ඒ කාලෙත් එකම විදියට අද වගේම ඉර පායලා බැහැලා ගියා. හැබැයි ඒ කාලේ අවකාශය ලොකුයි. මිනිස්සු පැය ගණන් කතා කරකර හිටියා. මළ ගෙවල්වල දවස් හත යනකම් නිදිමැරැවා. අද මළ ගෙවල්වල දොළහ, එක වෙද්දි හැමෝම මාරැ වෙනවා. වැඩ වැඩියි. මනුෂ්‍ය සම්බන්ධතා පවත්වන්න වෙලාවක් නෑ. පෙම්වතා ගැන, පෙම්වතිය ගැන ෆැන්ටසි නෑ. කොහේ හිටිත් වේගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. තනිවෙලා හිතහිතා ඉන්න දෙයක් නෑ. පෙම්වතුන් හම්බවෙන වේගයෙන්ම වෙන්වෙලා යන්නෙත් ඒකයි. විරහ වේදනාවේ කාලයත් දැන් වේගයෙන් සංකෝචනය වෙනවා. පාරට බැස්සම මොන තරම් ලස්සන කෙල්ලොද? එක පෙම්වතියක් වේගයෙන් මාරැ වෙනවා. කසාද බැදපු එවුන් හොරෙන් මාරැ වෙනවා. සියල්ල වේගවත්. ස්වභාවික හැරයාම්, වෙන්වීම්, ප්‍රතික්ෂේප වීම් හරිම වේගවත්. දැන් මිනිස්සු අනෙකා වෙනුවෙන් දුක් වෙන්නේ නෑ. බුදු දහමේ අනිත්‍යතාව තේරැම් අරගෙන නෙමෙයි. මේ වේගයත් එක්ක දුක්වෙවී ඉන්න බෑ. ඒකටත් වෙලාවක් නෑ.

මේ කාල අවකාශය තුළ පවතින වේගය අනාගතයේ වෙන ආකාරයේ මානුෂීය සම්බන්ධතා නිර්මාණය කරයිද? සියලු මනුෂ්‍ය සම්බන්ධතා නැති කරයිද ? තව මනුෂ්‍ය සම්බන්ධතා ඇති කරයිද ? කියලා අපි දන්නෙ නෑ.

මම