Friday, March 18, 2016

අපගේ බෞද්ධකම හා ශිෂ්ටත්වය නැවත ප්‍රශ්න කළ යුතුව තිබේ






  

රටක් තුළ බොහෝ සිදුවීම් සිදුවෙයි. ජනමාධ්‍ය එම සිදුවීම් වාර්තා කරයි. එම වාර්තා කියවන ජනයා සිදුවීමේ ස්වභාවය අනුව, තමන් දරන ආකල්පය අනුව හැඟීම් බර වෙයි, කෝප වෙයි, අඬා වැලපෙයි, විරුද්ධ වෙයි, හරි කියයි, වැරදියි කියයි. ඉන්පසු තවත් සිද්ධියක්  පැමිණි පසු පරණ සිද්ධිය අමතක කර දමයි. අපගේ ජන ප්‍රජාව සිද්ධීන්ට වේගයෙන් සංවේදී වනවා හා සමානව අමතක කර දැමීමද සරල ලෙස සිදු කරයි.
කුලියාපිටිය දරුවාගේ සිද්ධියද එසේමය. දැන් ප්‍රශ්නය විසඳුනා යැයි සිතයි. අශිෂ්ට නරුම දෙමවුපියන් නිසා කුලියාපිටියේ දරුවාට ත්‍රිත්ව විද්‍යාලයේ දොරටුව විවෘත වී තිබේ. එංගලන්තයේ පුරවැසිභාවය ලබාදීම පිළිබඳ කතාබහක්ද ඇසෙයි.
මේ සිදුවීම නිසා දෙමවුපියන්ගේ අශිෂ්ට නරුමකම පමණක් නොව, රටේ අධ්‍යාපන ඇමතිගේ ස්වභාවයද ඊට දෙවෙනි නොවන වග පෙන්වා දුන්නේය. අධ්‍යාපන ඇමති මෝඩයෙක් කියා අපි නොසිතන්නෙමු. ඔහුට අවශ්‍ය වී තිබුණේ තමාට මනාප සලකුණු කරන අශිෂ්ට නරුම දෙමවුපියන්ගේ පර්ශ්වය ගෙන &මමත් උඹලගේ පැත්තේ* කියන්නටය. එසේ කරන්නට ගොස් අධ්‍යාපන ඇමති ඓතිහාසික නෑමක් නා ගත්තේය. අධ්‍යාපන ඇමතිවරයෙක් මනාප රැක ගැනීමට මේ තරම් අඥාන මානව විරෝධී ප්‍රකාශ කළ යුතුද? දරුවා මවගේ ඇකයේ බුදියන නිසා දරුවා මවගෙන් වෙන් කළ යුතුය. පරිවාස භාරයට ගත යුතුය. ඒ මවට ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අධ්‍යාපන ඇමතිවරයා කරන උපකල්පනය නිසා මවට ඒඩ්ස් රෝගය වැලඳී තිබුණද, දරුවා මවගෙන් වෙන් කරන්නේ මොන නීතියට අනුවද? මොන සදාචාරයට අනුවද? යහපාලනය කියන්නේ මෙවැනි අඥාන මෝඩ මානව විරෝධී වැඩවලටද?
අධ්‍යාපන ඇමතිවරයා පමණක් නොව, ඕනෑම ඇමතිවරයෙක් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර දෙවරක් නොව සියවරක් සිතිය යුතුය. තමන්ට අදාළ සිදුවීම පිළිබඳ නිවැරදි විශ්ලේෂණයකට යා නොහැකි නම්, උපදේශකවරුන්ගේ පිහිට පැතිය යුතුය. මනාප රැකගන්නට අධ්‍යාපන ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් බරපතළකම  ඔහුටම වැටහෙනවා ඇත. මනාප දුන් ජනයාත් රැකගෙන අදාළ සිද්ධියට ප්‍රතිචාර දැක්විය යුතු දියුණු ක්‍රම‘වේදයක් ගැන අධ්‍යාපන ඇමතිතුමාට දැනුමක් නොතිබුණේය. දේශපාලන යනු තව දුරටත් හොඳ නරක, හරි වැරදි ලෙස දෙපස නියෝජනය කරන ක්‍රියාදාමයක් නොවන බව තේරුම් ගත යුතුය. මෛත්‍රීට වඩා මහින්ද හොඳයි, මහින්දට වඩා මෛත්‍රී හොඳයි යන ආකාරයේ සරල දේශපාලන තියරි අදට ගැළපෙන්නේ නැත. මෙකල දේශපාලඥයා ජනයාට ඉදිරියෙන් නොව, පසුපසින් සිටියි.
පාලකයන් කොහේද ජනතාවද එසේය. ජනතාව කෙසේද පාලකයන් එසේය කියන්නේ ඒ නිසාය. රටක පාලකයන් විය යුත්තේ පුළුල් විභවයක් සහිත මිනිසුන්ය. දැනුමෙන් ප්‍රඥාවන්ත භාවයෙන් පිරිපුන් මිනිසුන්ය. අධ්‍යාපනය වැනි ඇමතිකමක් දිය යුත්තේ  එවැනි පුද්ගලයෙකුටය. ඡන්දයෙන් පත්නොවන්නේ නම්, ජාතික ලැයිස්තුවෙන් හෝ එවැනි ප්‍රඥාවන්ත දියුණු ලෝක දෘෂ්ටියක් සහිත මිනිසෙක් පත්කර අධ්‍යාපන ඇමති ධුරය බාරදිය යුතුය. දියුණු රටවල අධ්‍යාපනය, සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර බාර දෙන්නේ දියුණු මනසක් සහිත මිනිසුන්ටය. අපේ රටේ ඇමති ධුර බෙදා දෙන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවය. හිතවත්කම අනුවය.
රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ ඊට එරෙහිව නැගී සිටි ප්‍රකට ප්‍රවෘති වෙබ් අඩවියක් දැන් යු.එන්.පී. ආණ්ඩුවේ රෙදි අපුල්ලන්නට පටන් ගෙන තිබේ. ඔවුන් කොන්දේසි විරහිතවම යු.එන්.පී.යේ කුණු රෙදි අපුල්ලන්නට පටන් ගෙන තිබේ. මේ ප්‍රවෘති වෙබ් අඩවිය අධ්‍යාපන ඇමතිවරයා ගොඩදැමීම සඳහා කුලියාපිටිය දරුවාවද, එම දරුවාගේ අම්මාවද අශිෂ්ට ලෙස විවේචනය කර ලිපියක් පළකර  තිබෙනු මම දුටුවෙමි. එම ලිපියට අනුව දරුවාගේ මව මිනිසුන් කිහිපදෙනකු හා නිදිවැදුන කසිප්පු ඡාවාරමේ  නිරත වන කාන්තාවකි. &මම තොට එඩ්ස් බෝ කරනවා* කියමින් තර්ජනය කරන ගැහැනියකි. දරුවාද මොන්ටිසෝරියේදී අන් දරුවන් හපාකන සූරන චරිතයකි. ඒ නිසා මෙම  දරුවා මවගෙන් වෙන්කළ යුතුය. දරුවා හොඳ මිනිහෙක් කිරීමට මවගෙන් වෙන්කළ යුතු යැයි එම ලිපියේ පවසා තිබිණි.
අධ්‍යාපන ඇමතිවරයා ගොඩදැමීමේ කොන්ත්‍රාතුව බාරගෙන තිබෙන බව එම ලිපිය කියවන ඕනෑම ගොනෙකුට තේරෙයි. එම ලිපිය මව හා දරුවා සම්බන්ධයෙන් පවසන සියල්ල සත්‍ය යැයි අපි සිතමු. එහෙත් දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමි කරන්නට අශිෂ්ට නරුම දෙමවුපියන්ට බලයක් ලැබුණේ කෙසේද? හොරුන්ගේ, මිනීමරුවන්ගේ, ගණිකාවන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අයිතිය හිමි නැතිද? හූරන, කොනිත්තන,  හපාකන දරුවන් පාසල්වලින් එළවා දැමිය යුතුද? අශිෂ්ට දෙමවුපියන්ගේ හැසිරීම යන්තම් හෝ විවේචනය නොකරන මේ වෙබ් අඩවිය පාසල් අහිමි  දරුවාවත්, ඇගේ මවත් විවේචනය කරන්නේ අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශය නිවැරදි බව සනාථ වන අකාරයෙනි. රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ රජ්‍ය මාධ්‍ය හැසිරුණු ආකාරයට අද මේ ප්‍රකට ප්‍රවෘති වෙබ් අඩවිය හැසිරීම කනගාටු දායකය.

කුලියාපිටිය දරුවා බාර ගැනීමට බෞද්ධ ලෙස නාමකරණය කරන ලද එකම බෞද්ධ පාසලක් හෝ ඉදිරිපත් නොවුණේය. අවසානයේ දරුවා බාර ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි. එය බෞද්ධ පාසලක් නොවේ. කුල, ගෝත්‍ර, උස් පහත් භේදය තුට්ටුවකට මායිම් නොකර සුනීත සෝපාකලාට  බුදු රජාණන් වහන්සේ මහා කරුණාව දැක්වූ සේක. බුදුන් වහන්සේගේ ධර්මයට අනුව බුද්ධාගම්කාරයෝ වූ බොහෝ දෙනා තුළ එම කරුණා ගුණය නම් නොමැත්තේය. සිංහලේ කොටාගෙන අන්‍ය ජාතීන් තමන්ට වින කරන්නට බලාගෙන සිටිනවා යැයි පවසමින් ජාතිවාදී චූන් ගන්නවා හැරුණු විට, මෙවැනි ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ගේ සංවේදිකමක් නම් නොමැත්තේය. මහා ලොකු බෞද්ධ යැයි නාමකරණය කරන ලද එකදු පාසලක්වත් කුලියාපිටියේ දරුවාට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් නොවුණේය. හිත් උණු නොවුණේය. දැන් අපගේ බෞද්ධකම හා ශිෂ්ටත්වය නැවත ප්‍රශ්න කළ යුතුව තිබේ. මෙවැනි අශිෂ්ටත්ව සහිතව රට ජාතිය ආගම රැක ගැනීමෙන් පලක් නැත. මනුෂ්‍යත්වය ආදරය නොකරන මානව විරෝධී හැඟීමෙන් යුතු ජන කොට්ඨාසයක් ලෝකයටම අවශ්‍ය නැත. කුමන කරුණක් නිසාවත් කුලියාපිටියේ අශිෂ්ට නරුම දෙමවුපියන් සාධාරණීකරණය නොකළ යුතුය. ඔවුන්ට සෑම විටම මතවාදීව පහරදිය යුතුය. ලැජ්ජාවට පත්කළ යුතුය. කොන් කළ යුතුය.
මේ අවස්ථාවේදී රන්ජන රාමනායක ඇමතිවරයාගේ හැසිරීම අපි අගය කළ යුත්තේ කුලියාපිටිය ගැමියාගේ භාෂාවෙන්ම ගැමියාට පිළිතුරු දී තිබෙන නිසාය. පොර වෙන්නට, ලකුණු දා ගන්නට හෝ යහපාලනය තුළ ගේමක් ඉල්ලන මිනිසෙකුට සිටින්නේ රංජන් රාමනායක පමණි. ඔහු හොරු ඇල්ලීමේ සටන නවතා නැත. මහජන දිනයට පැමිණෙන අසරණ මිනිසුන්ට පිහිට වෙමින් මුදල් ලබාදෙයි. කාට හෝ මේවා සෝබන වැඩ ලෙස පෙනීමට පුළුවන. සෝබන වැඩකින් හෝ යුක්තිය ඉටුවෙනවානම් හෝ මිනිසුන්ගේ දුකට පිහිටක් වනවා නම් ප්‍රශ්නයක් නැත. රන්ජන් ඇමතිතුමා සෝබනයට හෝ පොර වෙන්නට කරන වැඩ අනිත් ඇමතිවරුත් කරනවා නම්, මරුයැයි මට සිතෙයි. රංජන් ඇමතිතුමා වඩා ගන්නේ සෝදා නහවා පිරිසිදු කරගත් වඩාගත් විට හිනාවෙන දරුවන් පමණක් නොවේ. නොයෙක් අබල දුබල රෝග පීඩාවට ලක්වූ දරුවන්ද වඩාගෙන හුරතල් කරයි. මේ මොහොතේ රන්ජන් ඇමතිතුමාගේ දේශපාලන හැසිරීම බොහෝ කොටම සාධනීය වෙයි. මානව හිතාවදී වෙයි. කවර මට්ටමේ විවේචන තිබුණද, මේ මොහොතේ රංජන් රාමනායක නම් මනුෂ්‍යයාගේ ක්‍රියාකාරකම් දෙස මානම හිතවාදී දෘෂ්ටියෙන් දකින කල මගේ සිත සතුටින් පිරෙයි. ක්‍රම‘යේ වෙනසක් සිදුවන තුරු අපට අවශ්‍ය රංජන් රාමනායක වැනි මිනිසුන්ය.

මේ දරුවාට අවශ්‍ය අනුකම්පාව නොව, සාධාරණයයි.




වසර දෙදහස් පන්සීයක ශ්‍රේෂ්ඨ අතීතයක් ගැන අපි දොඩවමු. සිංහලේ කොටාගත හැකි සෑම තැනකම කොටා ගනිමු. අලවා ගනිමු. දේශප්‍රේමයෙන් මුසපත්ව රට ජාතිය  ආගම වෙනුවෙන් බෙරිහන් දෙමු. එහෙත් තමා තුළ සිටින අශිෂ්ට ගෝත්‍රික ම්ලේච්චයා නොහඳුනන්නෙමු.
කුලියාපිටියේ දරුවාව තම පාසලෙන් ඉවත් කරන ලෙස වීරයන් සේ කෑ ගැසූ චණ්ඩි පියවරුන් සහ එයට අත්පොලසන් දුන් නිවට මව්වරු පිරිසකගේ පිළිකුල් සහගත දර්ශන පෙළක් අන්තර්ජාලය ඔස්සේ මම නැරඹුවෙමි.
දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැතැයි වෛද්‍යවරුන් පවසද්දිත්, එය පිළිගැනීමට තරම් ශිෂ්ට මනසක් නොතිබූ මේ දෙමව්පියෝ දරුවා පාසලෙන් ඉවත් කර නොගතහොත් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගන්නා බවට  තර්ජනය කළහ. සුපුරුදු ලෙස දේශපාලඥනයා ම්ලේච්ච දෙමවුපියන්ගේ පැත්ත ගනිමින් දරුවාව පාසලෙන් ඉවත් කර, වෙනත් පාසලක් සොයා දෙන බව පැවසීය. ම්ලේච්ච ගෝත්‍රිකයෝ අත්පොලසන් දුන්හ.
එම දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැත්නම්, එම දරුවා පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් ඇතිවන ගැටලුව කුමක්ද? මේ දෙමවුපියන් නූගතුන් හෝ මෝඩයන් විය නොහැකිය. මෙය මෝඩකම පිළිබඳව ප්‍රශ්නයක් නොවේ. මෙය නරුමකමකි. මානව දයාවෙන් යුතුව සිතීමට ඇති නොහැකියාවයි, සංවේදී නොවීමයි. ආදරබර කරුණාවන්ත හදවත් නොමැති වීමයි. කුමන රෝග සම්බන්ධයෙන් වුවද අප වෛද්‍යවරුන්ගේ උපදෙස් ඉක්මවා  යන්නේ නැත. වෛද්‍යවරුන් පවසන රෝගද, ප්‍රතිකාරද අපි පිළිගන්නෙමු. වෛද්‍යවරු සැක නොකරති. මෙම දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැතැයි පවසන්නේ රටේ පිළිගත් වෛද්‍ය  විද්‍යාව සහ වෛද්‍යවරුය. එසේ පවසද්දිත් මේ අමානුෂික දෙමවුපියෝ මේ අසරණ දරුවාව පාසලින් ඉවත් කර ගන්නා ලෙස පවසන්නේ ඇයි? ඒඩ්ස් රෝගය සුළඟින් බෝවන රෝගයක් නොවේ. අපි නොදැනුවත්ව සමාජය තුළ අප සමග  ගනුදෙනු කරන ඒඩ්ස් රෝගීන් සිටිය හැකිය. ඒඩ්ස් රෝගය නොවැලඳුන මේ අහිංසක දරුවා වෙනුවෙන් මේ තරම් විරෝධයක් පෑමට හේතුව කුමක්ද?
දැන් අප එම විරෝධය පෑ දෙමවුපියන්ට ම්ලේච්චයෝද, ගෝත්‍රික‘යෝද, අශිෂ්ටයෝද කියා විවේචනය කරන කල්හි අපේ සිතින් ද ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් විට අප හැසිරෙන්නේ කෙසේද යන්නය. අපගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට මෙවැනි දරුවෙක් ඇතුළත් වුවහොත් අප සාදරයෙන් ආදරයෙන් ඒ දරුවා පිළිගන්නේද යන්නය. අනෙකාට ගෝත්‍රිකයා යැයි පවසන බොහෝ දෙනෙකුද මෙවැනි ප්‍රශ්න ඉදිරියේ ගෝත්‍රිකයෝම වෙති. තමා තුළ සිටින ගෝත්‍රිකයා නොහැඳින අනෙකාට ගෝත්‍රිකයා යැයි කීම පහසුය. ම්ලේච්චයා කීම පහසුය.
මම මෙය ලිවීමට පෙර මා මෙවැනි තත්ත්වයකට මුහුණ දුනහොත් හැසිරෙන්නේ කෙසේද කියා සිතා බැලුවෙමි. එසේ සිතා මා ගැන නිවැරදි තීරණයක එළඹි පසු මම එම දෙමවුපියන්ට ගෝත්‍රිකයන් අශිෂ්ටයන් යැයි  ලිවීමට ධෛර්යය ලැබුවෙමි. මාද එසේ වෙමින් අනෙකාට ගෝත්‍රිකයා යැයි පැවසීම සුදුසු නොවේ.
රටක් වශයෙන්ම අපි බරපතළ අමානුෂිකත්වයක් කරා ගමන් කරමින් සිටින්නෙමු. සමස්තයම ගෝත්‍රිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන මොහොතක ඇතැම් සිද්ධි කරළියට ගෙන අනෙකාට ගෝත්‍රිකයා යැයි කියා තමගෙ ගෝත්‍රිකකම වසා ගනිමින් සිටියි. මේ අමානුෂික අසාධාරණ අයුක්ති සහගත ක්‍රමය  තුළ අප සියල්ලන්ම ගොදුරු බවට පත්ව තිබේ. තනි තනිව ගැලවිය නොහැකිය. දැන් අප ගැලවෙන්නේ අනෙකාට ගෝත්‍රිකයා කියා තමන් හොඳ ශිෂ්ට මිනිසෙකු බව පෙන්වීමෙනි. මෙය ලියන මා තුළද ගෝත්‍රිකයෙක් සිටියි. ක්‍රමය විසින් ආරාධනා කරන්නේ ගෝත්‍රිකයාටය. පැවැත්ම තිබෙන්නේ ආත්මාර්තකාමී අසාධාරණ මිනිසාටය. එසේ නොවන මිනිසුන්ට පැවැත්ම සහතික කර ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ වුවද කුලියාපිටිය දරුවාට සිදුකර තිබෙන අසාධාරණය නම් බරපතළය. එය කුමන පැත්තකින් හෝ සාධාරණීකරණය කළ නොහැකිය. මා වඩාත් කම්පනයට ලක් වූයේ එක් පියෙක් සිංහයෙකු සේ නැගිට මේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා ලෙස හඬ නගද්දී දෙමවුපියන්ගේ අත්පුඩි තැලීම දුටු විටදීය. තමන්ට සිටින දරුවෙකු වැනි දරුවෙක්ගේ අධ්‍යාපනය අහිමි කිරීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන දෙමවුපියන්ට අමානුෂික අශිෂ්ටයන් යැයි පැවසනු මිස ඔවුන් හැඳින්වීමට වෙනත් වචනයක් තිබේද?
අහිංසක දරුවෙකු සේ අධ්‍යාපන අයිතිය පැහැරගෙන කොන් කරන මේ දෙමවුපියෝ කෝටි ප්‍රකෝටි ගණන් රටේ ජාතික ධනය හොරා කෑ උන්ටද, උන්ගේ දරුවන්ටද මේ සා විරෝධයක් නොදක්වති. ජාතික වීරයන් ලෙස ගරුබුහුමන් කරති. රටේ නායකයෝ කරති. අපව පාලනය කරන්න කියා ඉල්ලති. දෙකට තුනට නැමී වැඳ වැටෙති. අහිංසක දරුවාට එරෙහිව සිංහයෝ වෙති. මේ නම් කවර ජනතාවක් දැයි ඔබම සිතා බලන්න.
වහ වහා දැන් කළ යුතු වැඩක් තිබේ. මේ අමානුෂික අශිෂ්ට දෙමවුපියන් සමග තව දුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් වැඩක් නැත. ඒ නිසා මේ දරුවාට අධ්‍යාපනය ලැබීමට පාසලක් සොයා දිය යුතුය. ආණ්ඩුව මැදිහත් වී රටේ ජනප්‍රි පාසලකට මේ අහිංසක දරුවාව ඇතුළත් කළ යුතුය. මේ දරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා අධ්‍යාපනය ලබන තෙක් උදව්උපකාර කළ යුතුව තිබේ.
මේ අමානුෂික දෙමවුපියන්ට දිය හැකි හොඳම දඬුවම එයය. ඒ සඳහා පෙළ ගැසිය හැකි මානව දයාවෙන් යුතු මිනිසුන් සොයා ගැනීම තවමත් අසීරු නොවේ. මේ දරුවාට අවශ්‍ය අනුකම්පාව නොව, සාධාරණයයි.
කොළඹ ජනප්‍රිය පෙළේ පාසලකට මේ දරුවා ඇතුළත් කළහොත් එම පාසලේ දෙමවුපියන්ගේ හැසිරීමද බලාගත හැකි වනු ඇත. එවිට ග්‍රාමීය දෙමවුපියන්ගේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයද, නාගරික දෙමවුපියන්ගේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයද සත්‍ය වශයෙන්ම තිබෙන්නේද යන්න බලාගත හැකි වනු ඇත. නාගරික දෙමවුපියෝද ග්‍රාමීය දෙමවුපියන් ලෙස මේ දරුවා තම පාසලට ඇතුළත් කර ගන්නවාට විරුද්ධව කෑ ගැසුවහොත්  ප්‍රශ්නය තිබෙන්නේ මෝඩකම තුළ නොවන බව අවබෝධකර ගත හැකි වනු  ඇත. මේ අහිංසක දරුවාට අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත්වන ශිෂ්ට සම්පන්න මානව දයාවෙන් යුතු පාසල කුමක්ද කියා අපි බලාගෙන සිටින්නෙමු.
 පුතේ, ඔයා එන්න අපේ ඉස්කෝලෙට  කියා ආදරයෙන් මේ දරුවා බාරගන්නා ගුරුවරුන්, දෙමවුපියන් මේ මහ පොළොවේ කොතැනක හෝ නොමැතිද? එසේ නොමැති උවහොත් ඉන් අදහස් වන්නේ කුමක්ද?