Friday, March 18, 2016

මේ ස්ටිකර් දේශප්‍රේමයෙන් රට ජාතිය බේරාගැනීමේ සටනට තරුණයන් පෙළගැසිය යුතුය.







අපේ රටේ දේශපාලන පක්ෂ බදා වැලඳගෙන සිටින දේශපාලන සත්වයන් සිතන්නේ තමන් කැමති දේශපාලන නායකයන් රාජ්‍ය සතු සම්පත් කොල්ල කෑවාට කමක් නැත කියාය. ඔවුන්ගේ විරෝධය එල්ල වන්නේ තමන් අකමැති, තමන් විරුද්ධ දේශපාලඥයන් රාජ්‍ය සතු සම්පත් කොල්ල කෑවොත් පමණි. එහෙත් නිරෝගී දේශපාලන සත්වයෝ කුමන දේශපාලඥයා රාජ්‍ය සතු දේපොළ කොල්ලකෑවද විරෝධය පාති, හඬ නගති. එහෙත් මේ මොහොතේ ලංකේය භූතලය අරක්ගෙන සිටින්නේ තමන් කැමති දේශපාලන නායකයන් හොරා කෑ විට හුරේ දමන රෝගී දේශපාලන සත්වයෝය.
මා මෙලෙස පවසන්නේ අප නිවසේ සිදුවූ සිදුවීමක්ද හේතු වෙනි. බිරිඳගේ පියා රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටියේය. එහිදී ජෙ.වී.පී.නායක අනුර කුමාර සහෝදරයා යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ සී.එස්.එන්.නාලිකාව ආරම්භ කිරීමට යෝෂිත රාජපක්ෂ මිලියන දහස් ගණනක් උපයා ගත්තේ කෙසේද යන්නය. පියාගේ ජනාධිපති වැටුපෙන්ද? එසේත් නැතිනම් මැදමුලන කුඹුරුවල ආදායමෙන්ද කියා ඔහු අතිශය සාධාරණ ප්‍රශ්නයක් ඇසුවේය.
මේ ප්‍රකාශයත් සමග බිරිඳගේ පියා කෝපයට පත්විය. මුන් ඒ කාලේ මිනී මරලා, බස් ගිනි තියලා, රාජ්‍ය දේපොළ විනාශ කරලා මුළු රටම ගිනි තිබ්බා...   ඒවටත් මුන්ට දඬුවම් දෙන්න ඕනේ. දැන් කටකයිවාරු ගහනවා කියා කෝපයෙන් කෑ ගැසුවේය.
ඔහුට කරුණු කාරණා පහදා දෙනවාට වඩා ඉබ්බගෙන් පිහාටුවක් ඉල්ලා ගැනීම පහසු නිසාත්, මෙවැනිම අදහස් දරන රෝගී දේශපාලන සත්වයන්ද මෙකල බහුලව සිටින නිසාත් මගේ පිළිතුර   ප්‍රකාශ කරන්නට තීරණය කළෙමි.
හරි හෝ වැරදි ජෙ.වී.පී.ය විසින් සිදු කළේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ විප්ලවයකි. රට සමාජවාදී පාලනයක් කරා ගෙනයාමේ අරගලයකි. එහිදී රාජ්‍ය බලය හිමි පංතිය හා අරගලකරුවන් අතර ගැටුමක් ඇති වීම ස්වාභාවිකය. මන්ද බලය හුවමාරුව සිදු වන්නේ සර්වජන ඡන්දයේ ප්‍රතිඵලයක් ලෙස නොව, අවියේ ගැටුමේ ප්‍රතිඵලයක් නිසාය. සිදු  නොවියයුතු බොහෝ අඩුපාඩු අත්වැරදීම්, අනබෝධයන්, දුර්වලතා හැත්තෑ එකේ අරගලයෙත්, අසුඅට අසුනමය අරගලයෙත් තිබුණේය. විප්ලවාදීන් පැතූ සමාජවාදී රාජ්‍ය සිහිනයක් වූ අතර, ජීවිත හා දේපොළද විනාශ වුණේය. විප්ලවවාදීන් සටන් කළේ ස්වකීය ආත්ම ලාභය සඳහා නොවේ. හරි හෝ වැරදි උතුම් අරමුණක් ඔවුන්ට තිබුණේය. අසාධාරණ අයුක්ති සහගත ධනවාදී පාලය පෙරළා දමා (එය ධනවාදද? නැද්ද? යන්න වෙනම සාකච්ඡාවකි.) සාධාරණ යුක්ති සහගත සමාජවාදී පාලනයක් ගොඩනැගීමය.
එසේ සිදුවූ අරගලයත්, රාජ්‍ය නායකයන්ගේ පුතුන් රාජ්‍ය සතු මුදල් අයතා ලෙස පරිහණය කිරීමත් සැසඳිය හැකිද? ජෙ.වී.පී.තරුණයෝ අරගල කළහ. එසේ කළේ අගනුවරේ පාරවල් වසා පොදු ජනයා පීඩාවට පත්කරමින් කාර් රේස් පදින්නට නොවේ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සෙවීමට රූපවාහිනි චැනල් ආරම්භ කිරීමටද නොවේ. පියවරුන්ගේ බලයෙන් මත්වී රාජ්‍ය සතු සම්පත් භාවිත කරමින් පිස්සු කෙළින්නටද නොවේ. ජෙ.වී.පී.අරගල සම්බන්ධව අපට  විවේචනයක් තිබුණද, අරගලය වෙනුවෙන් දිවි පිදූ දහස් ගණන් තරුණ තරුණියෝ අපගේ වීරයෝය. ඔවුහු කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සමාජවාදය වෙනුවෙන් දිවි පිදුවෝය. ක්‍රෑරතර වදහිංසාවට ලක්වෙමින් සමාජවාදී සිහිනය තුළම මියැදුනෝය. එකල ජීවත්වූ රටවැසියෝද මේ අරගලය නිසා බොහෝ පීඩා වින්දහ. ඒ නිසා සාමාන්‍ය ජනයාට ජෙ.වී.පීය සමග ඇත්තේ වෛරයකි. තරහකි. විචාර බුද්ධියක් ඇති ජනතාවෝ පීඩාකාරි ජෙ.වී.පී. අතීතය  අමතක කරමින් නූතන දේශපාලන භාවිතයට සහය දෙති. අතීත දෘෂ්ටියෙන් අනුර කුමාරලා දෙස නොබලති. එහෙත් චින්තනමය වශයෙන් අඩුපාඩු ඇත්තෝ... විචාර බුද්ධිය අහිමිව ගිය ඇත්තෝ ජෙ.වී.පී.ය අසූඅට  අසුනමය කාලයෙහිම තබා රණවිරු යෝෂිත නිදහස් කරන්න යැයි කෑගසති. යෝෂිත අප ඔබ සමග යැයි කියති.  සිරිසේන, අපේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරපිය කියමින්ද, කුණුහරුපවැල් කියමින්ද, වීඩියෝ ෆේස්බුක් අප්ලෝඩ් කරති. කුනුහරුප කියමින් බැණ වදින බුද්ධිමය අඩුපාඩු සහිතව උපන් ස්ත්‍රීහුද මෙකල බහුල වෙති. වැරැද්ද කුමක් වුවද ඔවුනට ඇති එකම දුක තමන් කැමති පුද්ගලයාට දඬුවම් කිරීමය. එය   පුදුම චින්තනමය විකෘර්තියකි. රාජ්‍ය සතු දේපොළ අයතා ලෙස පරිහරණ කර ඇත්නම්, ඊට එරෙහිව හඬ නැගීමේදී යෝෂිතද, නාමල්ද,  දහම්ද, චතුරිකාද යන්න අපට අදාළ නැත. යම් දිනෙක සමාජවාදී පාලනයක් තුළ අනුර කුමාරගේ දරුවන් රාජ්‍ය දේපොළ අයතා ලෙස පරිහරණය කළොත්, ඊටද විරෝධය පෑ යුතුය. දඬුවමට යටත් කළ යුතුය. විචාර බුද්ධියක් සහිත තරුණයාගේ දේශපාලන භූමිකාව විය යුත්තේ එයයි. එසේ නොමැතිව උන්මන්ත ජාතිවාදී අන්ධභාවයෙන් පෙළෙමින්, හරක් හංවඩු ගසන්නා සේ සිංහලේ ස්ටිකර් ගසා ගනිමින්, ස්ටිකර් දේශප්‍රේමියන් වීම නොවේ. මේ ස්ටිකර් දේශප්‍රේමයෙන් රට ජාතිය බේරාගැනීමේ සටනට තරුණයන් පෙළගැසිය යුතුය.
මහින්ද රාජපක්ෂ මහතා කොටින්ගෙන් රට, ජාතිය බේරාගත් නිසා ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ සියලු අකටයුතුකම් ඉවසිය යුතු බව දේශප්‍රේමීන් ගෙන එන මතයකි. රාජපක්ෂ පුත්‍රයන්ද රට ජාතිය බේරාගත් අනුහසි න් සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කළ යුතුය. රට ජාතිය බේරාගත් අප්පච්චිට කෘතගුණ දැක්විය හැක්කේ එසේය. මේවා නම් අරුම පුදුම තර්කය. බුද්ධිමය අඩුපාඩුය. චින්තනයේ විකෘර්තිය නූතන බොහෝ තරුණයෝ ජාතිවාදයෙන් හිස හිරිවට්ටාගෙන සිටින නිසා වඩා නිවැරදි කුමක්ද? වඩාත් වැරදි කුමක්ද? යන්න තේරාගැනීමට අපොහොසත් වෙති. හරි වැරදි යනුවෙන් බෙදීම පරනය. හරි හෝ වැරදි කියා දෙයක් සොයනවාට වඩා නිවැරදි වන්නේ වඩා නිවැරදි කුමක්ද යන්න සොයා බැලීමය. යහපාලන අප්පුහාමිලාගේ යහපාලනයක් නැති බව ඕනෑම ගොනෙකුට තේරෙයි. යහපාලනය තුරුල්ලේ සැඟවී සිටින හොරු යෝෂිතලා මෙන් හිරේ දමන්නේද නැත. හිරුනිකාලාට ඉස්සරහා දොරොන් ඇතුළු වී පස්ස දොරෙන් ඇප ලබාගෙන ගෙදර යන්නටද පුළුවන්ය. බිරිඳගේ පියා පවසන්නේ පවතින්නේ යහපාලනයක් නම්, යහපාලනයේ රැකවරණය ලබන හොරුද FCID කැඳවා ප්‍රශ්න කර දඬුවම් කළ යුතු බවය.
නිදහස ලබා අවුරුදු හැට අටක් ගත වුවද එවැනි සාධාරණ රාජ්‍ය පාලනයක් ගොඩනගා ගැනීමට අපි අසමත් වීමු. එසේ බලන කල අප සුද්දාගෙන් නිදහස ලබා අසමත් රාජ්‍ය පාලනයක් නිර්මාණය කර ගනිමින් නිදහස සමරන ජාතියක් බවට පත් වී සිටිමු. යහපාලනය තුළ යහපාලනයේ ගුලි වී සිටින ගෙවලයන්ට දඬුවම් නොලැබෙන බව ස්ථිරය. එය වඩාත් තේරුම් ගත හැකි ලෙස පවසන්නේ නම් මෛත්‍රීපාල ජනාධිපතිතුමා තම පුතු දහම්ට රාජ්‍ය දේපොළ අයතා ලෙස භාවිත කළා කියා දඬුවම් කරාවි යැයි සතනවා තරම්ම විහිළුවකි. සාධාරණ සමාජයක් තුළ විහිළුවක් නොවිය යුතු සත්‍ය අසාධාරණ සමාජයක් තුළ විහිළුවකි. යෝෂිතට නීතිය ක්‍රියාත්මක වීමට මෛත්‍රී ජනාධිපති විය යුතු සේම, දහම්ලාට දඬුවම් දෙන්නට මහින්ද හෝ ඔහුගේ අනුගාමිකයෙකු බලයට පත්විය යුතුව තිබේ. එළාර රජතුමාගේ යුක්තිගරුකභාවය පෙන්වීමට මහාවංශ කතුවරයාණන් භාවිත කළ සිද්ධියක් මෙසේ ගෙන එමි. එළදෙනකගේ පැටියා එළාර රජුගේ පුතාගේ අශ්ව කරත්තයේ ගැටී මළේය. එළදෙන ශෝක බරිතව දුකට පත්වූවන්ට හඬවනු පිණිස ගැට ගසාතිබූ මිනිගෙඩිය සොලවන්නේය. එළාර රජු කරුණු කාරණාදැන තම පුතුද හරක් පැටියා මළ ආකාරයටම අශ්ව කරත්තයට යට කර මරා දමන්නේය. මේ කතාව මෙලෙසම සිදු නොවුණද, එළාර රජ සතු වූ යුක්තිගරුක සාධාරණ භාවය උක්ත කතාවෙන් පිළිඹිබු වන්නේය. දුටු ගැමුණු රජ අසාමාන්‍ය වීරයා කළ මහාවංශ කතාවරයාණන් එළාර රජතුමාට මෙවැනි වටිනාකමක් දුන්නේ ඇයි කියා අප විමසා බැලිය යුතුය. ගැහැනු ආභරණ යවා පියාව කෝචොක් කර මහා සටනකින් ඉක්බිති මහලු එළාරව ද්වින්ද සටනකට ආරාධනා කොට එළාර මරා රට එක්සේසත් කළ දුටු ගැමුණු රජතුමාගෙන් පැවත එන්නෝ  . එළාර රජුගේ ගුණ දැකීම දේශද්‍රෝහී වීමකැයි සිතති.
ඉතිහාස කතා එලෙස තබා වඩා නිවැරැද්ද හා වඩා වැරැද්ද දෙසට හැරෙමු... යහපාලනය දුෂ්ට යැයිද, පළිගන්නා සුළු යැයිද, පරගැති දේශද්‍රෝහි යැයිද, ජනයාට සහනයක් හෝ නීතියේ සාධාරණත්වයක් නොමැති යැයිද පවසමින් යහපාලනය පෙරළා දමා අප නැවත බලයට පත්කරන්නට උත්සහ කරන්නේ සාධාරණ, දුෂ්ට නොවන, ජනයාට සහන දෙන, පාලනයක්ද? නැත. දේශප්‍රේමී ස්ටිකර් සිංහලුන්, ඥානසාර බෞද්ධයන් මේ උත්සාහ කරන්නේ නැවත පවුල්වාදී අශීලාචාර රාජපක්ෂවරුන්ගේ පාලනය කැන්දාගෙන ඒමටය. යහපාලනයේ පරාජයට අපිද කැමතිය. යහපාලනයද පරාජය කළ යුතුය. ගැටලුව තිබෙන්නේ යහපාලනය පරාජය කර නැවත බලය ලබාදෙන්නට යන්නේ කාටද කියාය. එතැනට රාජපක්ෂවරු හා ඔහුගේ අනුගමිකයන් කැඳවා ගැනීම නිවැරදිද? මේ මොහොතේ වැරදි වුවද රාජපක්ෂ පාලනයට වඩා යන්තම් හෝ හොඳ පාලනය වෙනුවෙන් අපට ආයාසයෙන් ඉවසාගෙන සිටීමට සිදු වී තිබේ. ජෙ.වී.පී. යට අපි ගරු කළ යුත්තේ හරි නිසා නොව, වැරදි අඩු නිසාය. හරි හෝ වැරදි යනුවෙන් තීරණ ගන්නවා වෙනුවට හරි කීමට ළඟ වැරදි අඩු දේවල් තෝරා කිරා මැන බලා තීරණ ගත යුතුය. විචාර බුද්ධිය භාවිත කිරීම යනු එයයි.

No comments:

Post a Comment