Friday, March 4, 2016

සාරියට ඇප දීපු විදිහට සිවුරට ඇප දෙන්න කියන එක නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්නේ




ඔන්න  මම  කියවන අයට පරණ  මම  ලිපි ආපහු කියවන්න පුළුවන්. මම බ්ලොක් පිටුවක් ආරම්භ කළා. Mamatharunaya.blagspot.com හරහා පරණ ලිපි කියවලා ඔබට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබගේ අදහස් මගේ ලිවීමට හරිම වැදගත්. මෝඩ අදහස්, බුද්ධිමත් අදහස් කියලා මම වර්ග කරන්නෙ නෑ... ඔබට දැනෙන, ඔබට නිවැරදි යැයි හිතෙන අදහස්වලට මම ගරු කරනවා. අදහස් ගැටීමෙන් තමයි නව අදහස් පහළ වෙන්නෙ. දැන් ප්‍රවණතාවයක් තියෙනවා නේ මතවාදී වශයෙන් ගැටෙන්න තර්කයක් ගොඩනගන්න බැරි අය, කුණුහරුප කියන. එයාලා ප්‍රතිචාර දක්වන්නේ කුණුහරපවලින්...  අපේ ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා, වහාම නිදහස් කරපියව්  කියලා කුණුහරුප වැලක් කියනවා. කුණුහරුප කියලා තර්ජනය කරලා ජාතිය රකින්න පුළුවන්නම්, කුණුහරුප කියකියා ඉමු. මේ කුණුහරුප කියකියා ජාතිය, ආගම රකින වැඩේ මානසික රෝගයක් තරමට වර්ධනය වෙලානේ... කුණුහරුප කියලා ජාතික වීරයෝ වෙන්න පුළුවන්ද? මම දැක්කා එක මන්ද බුද්ධික ස්ත්‍රියක් ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමාට ඉතාම පහත් විදිහට බණින වීඩියෝවක් ෆේස්බුක් එකට දාලා තියෙනවා. රටේ දේශපාලනඥයෝ සම්බන්ධයෙන් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි ඒ විවේචන ශිෂ්ට සම්පන්න වෙන්න ඕනේ. කුණුහරුපයෙන් බණින එක ශිෂ්ට සම්පන්නද? අපේ දේශප්‍රේමය දැන් කුණුහරුපයක් වෙලා තියෙන්නේ. දේශප්‍රේමියා කියන්නේ  මගේ ලේ කකියනවා යකෝ. කියලා. කුණුහරුප වැල් කියන අයට නෙමෙයි.
චින්තනමය වශයෙන්, බුද්ධිමය වශයෙන් මේ අය මොනතරම් අඩු තැනකද ඉයන්නෙ. මේ වගේ කුණුහරුප කියන අය නිරෝගී සමාජයක් තුළ නම් ප්‍රතික්‍ෂේප කරනවා. හැබැයි මේ වගේ ලෙඩ්ඩුන්වත් වීරයෝ කරන අයත් ඉන්නවා. අන්තිමට අපිට ජාතිය, ආගම කියලා ඉතුරු වෙන්නේ කුණුහරුපයක්. බුදු දහම ගැන යම් තරමකහෝ අවබෝධය තියෙන භික්ෂුවක් හෝ ගිහියෙක් මේ වගේ උන්මත්තක විලාසයෙන් හැසිරෙන්නෙ නෑ... හැසිරෙන්න නෑ නෙමෙයි, හැසිරෙන්න බෑ... බොහෝ අයට තියෙන්නෙ බුදු දහම ගැන දැනුමක් විතරයයි... අවබෝධයක් ඇත්තේම නෑ... එහෙම අවබෝධය තිබුණ නම් බස්වල, ටයර්වලට බිම දිගාවෙලා අඩයක් වෙන්න භික්ෂුවකට බෑ... ජාතිය, ආගම විනාශ කරන්නේ ජාතිය, ආගම රකින්න කෑගහන අයම තමයි... සිංහලේ ස්ටිකරයක් වාහනේ පිටි පස්සෙ ඇළෙව්වා කියලා සිංහලේ ටී ෂර්ට් එකක් ඇන්ඳාම ජාතිය රැකෙනවද? දෙමළ මිනිස්සුත්,  දෙමළේ  කියලා ස්ටිකර් ගහගෙන ටී ෂර්ට් ඇන්ඳොත් අපේ සිංහලේ කට්ටිය මොකද කියන්නේ?
මේ කාලේ පිරිමි හරිම ආසයි පොරවල් වෙන්න... පොරවල් වෙන්න ක්‍රම හොයහොයා ඉන්නේ... සිංහලේ ගහගත්තාම අමුතු පොරත්වයක් එනවා කියලා මේ අය හිතනවා... ගෑනු ඉස්සරහා කැප්පෙටිපොළ, පුරන්අප්පු වෙන්න තමයි මේ අය දඟලන්නේ... හොඳට බැලුවොත් පේනවා වැඩිපුරම සිංහලේ වෙලා තියෙන්නේ පිරිමි. ගෑනු ඉස්සරහා බලු වෙන, පච වෙන ගොඩක් පිරිමින්ට එහෙම නොවෙන්න වීරත්වයක් ඕනි වෙනවා.
පව්... මම නම් මේ අයව හිමින් සීරුවේ අධ්‍යයන කරනවා. නළුවෙකු වෙලා ප්‍රසිද්ධ වීමේ ආශාවට සමාන ආශාවකුත් මේ අයට තියෙනවා. තරුණයෝ ජාතිවාදී වුණාම හරිම කැතයිනේ... තරුණයෝ සමාජවාදී උනාම හරි ලස්සනයිනේ... මොන හේතුවෙක් නිසාවත් ජාතිවාදී, ආගම්වාදී මිලේච්ඡ තරුණයන්ව ප්‍රමෝට් කරන්න එපා... එවැනි අය ප්‍රතික්ෂේප කරන්න... මොකද මේ ජාතිවාදය වහක්..  පළිබෝධනාශක අනතුරු සහතියි. ප්‍ර‘වේශමෙන් පරිහණය කරන්න  කියනවා වගේ මේ ජාතිවාදී තාරුණ්‍යයත් අනතුරු සහිතයි, ප්‍ර‘වේසමෙන් තමයි පරිහණය කරන්න ඕනේ... මේ ජාතිවාදී උන්මත්තකයන්ව හොඳින් නිරීක්ෂණය කළොත්, බුද්ධිමය වශයෙන් ඔවුන්ගෙ පවතින අඩුපාඩුව හොඳට පේනවා.
රණවිරුවන්ටත්, හාමුදුරුවන්ටත්, දොස්තරටත්, ගුරුවරුන්ටත්, වැසිකිළි සෝදන මනුස්සයන්ටත් රටේ නීතිය පොදුයි.  රණවිරුවා රට බේර ගත්තා, ඒ නිසා රටේ නීතිය එයාට අදාළ නෑ.^ කියලා කියන්න පුළුවන්ද? දොස්තර මිනිස්සුන්ගේ ජීවිත බේරගන්නවා කියලා එයාට රටේ පොදු නීතියෙන් ගැලවෙන්න පුළුවන්ද? හාමුදුරුවෝ බුද්ධ චීවරය දරාගෙන ඉන්නවා කියලා රටේ නීතියෙන් බේරෙන්න පුළුවන්ද? බෑ... හිරුණිකාට එවලේම ඇප දුන්නා... ඥානසාර හාමුදුරුවන්ට එහෙම ඇප දුන්නෙ නෑ.... කියන තර්කය, වැරැද්ද නිර්දෝෂී කරන තර්කයක් නෙමෙයි නේ... ඥානසාර හාමුදුරුවෝ උසාවියට පැනලා දේශන පැවැත්තුවා.. ස්වාමියා නැති සොවින් තැවෙන එක්නැලිගොඩ බිරිඳට බැන්ණා... හිරුණිකාට ඇප දුන්නනේ... ඒ හින්දා ඇප දෙන්න කියන වැරැද්ද තුළ වැරැද්ද ඉල්ලා සිටීමක් නේ... ඉදිරියටත් මිනිස්සු වැරදි කරකර හිරුණිකාට ඇප දීපු විදිහට ඇප දීලා එළියට ගන්න කියලා කිව්වොත් හරිද?  රටේ නීතිය ක්‍රියාත්මක වීමේ විශාල අවුලක් තියෙනවා. හිරුණිකාට ඇප ලබාගන්න විදිහේ වැරැද්දක් තියෙනවා නම්, ඒ වැරැද්දයි ප්‍රශ්න කරන්න ඕනේ.. එහෙම නැතුව සාරියට ඇප දීපු විදිහට සිවුරට ඇප දෙන්න කියන එක නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්නේ.
ඇඹිලිපිටියේ තරුණයාගේ ඝාතනයට චෝදනා එල්ලවෙලා තියෙන්නෙ පොලීසියටනේ... දැන් රණවිරු තර්කයට අනුව පොලීසියට චෝදනා කරලා දඬුවම් දෙන්න බෑ... ඇයි පොලීසියත්, රණවිරුවොත් එක්නැලිගොඩ කොටියෙක්ද නැද්ද? එයාව කවුද මැරුවේ... කොහොමද මැරුවේ කියන එක උසාවියෙදි ඔප්පු වෙයි. උසාවියේ වැඩවලට ඥානසාර හාමුදුරුවන්ට මැදිහත් වෙන්න තියෙන අයිතිය මොකක්ද? නින්දෙන් නැගිටලා වගේ එක පාරටම ඥානසාර හාමුදුරුවෝ හෝමාගම උසාවියට වඩින්නේ ඇයි? හොඳට බැලුවොත් පේනවා මේවා සැලසුම් සහගත වැඩ කියලා... රජ ජාතිය රැකීමට එහාගිය දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටීමක් හොඳින් නිරීක්ෂණය කළොත් පේනවා..
 මම  හරහා අද දේශපාලනය ගැන ලිව්වේ එය ලිවීම මේ මොහොතේ අත්‍යන්‍ය නිසා... විශාල තරුණයෝ පිරිසක් මේ ජාතිවාදී උවමනාව වෙනුවෙන් පාවිච්චි වෙන හින්දා.

No comments:

Post a Comment