Friday, March 18, 2016

මේ දරුවාට අවශ්‍ය අනුකම්පාව නොව, සාධාරණයයි.




වසර දෙදහස් පන්සීයක ශ්‍රේෂ්ඨ අතීතයක් ගැන අපි දොඩවමු. සිංහලේ කොටාගත හැකි සෑම තැනකම කොටා ගනිමු. අලවා ගනිමු. දේශප්‍රේමයෙන් මුසපත්ව රට ජාතිය  ආගම වෙනුවෙන් බෙරිහන් දෙමු. එහෙත් තමා තුළ සිටින අශිෂ්ට ගෝත්‍රික ම්ලේච්චයා නොහඳුනන්නෙමු.
කුලියාපිටියේ දරුවාව තම පාසලෙන් ඉවත් කරන ලෙස වීරයන් සේ කෑ ගැසූ චණ්ඩි පියවරුන් සහ එයට අත්පොලසන් දුන් නිවට මව්වරු පිරිසකගේ පිළිකුල් සහගත දර්ශන පෙළක් අන්තර්ජාලය ඔස්සේ මම නැරඹුවෙමි.
දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැතැයි වෛද්‍යවරුන් පවසද්දිත්, එය පිළිගැනීමට තරම් ශිෂ්ට මනසක් නොතිබූ මේ දෙමව්පියෝ දරුවා පාසලෙන් ඉවත් කර නොගතහොත් තම දරුවන් පාසලෙන් ඉවත් කර ගන්නා බවට  තර්ජනය කළහ. සුපුරුදු ලෙස දේශපාලඥනයා ම්ලේච්ච දෙමවුපියන්ගේ පැත්ත ගනිමින් දරුවාව පාසලෙන් ඉවත් කර, වෙනත් පාසලක් සොයා දෙන බව පැවසීය. ම්ලේච්ච ගෝත්‍රිකයෝ අත්පොලසන් දුන්හ.
එම දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැත්නම්, එම දරුවා පාසලේ අධ්‍යාපනය ලැබීමෙන් ඇතිවන ගැටලුව කුමක්ද? මේ දෙමවුපියන් නූගතුන් හෝ මෝඩයන් විය නොහැකිය. මෙය මෝඩකම පිළිබඳව ප්‍රශ්නයක් නොවේ. මෙය නරුමකමකි. මානව දයාවෙන් යුතුව සිතීමට ඇති නොහැකියාවයි, සංවේදී නොවීමයි. ආදරබර කරුණාවන්ත හදවත් නොමැති වීමයි. කුමන රෝග සම්බන්ධයෙන් වුවද අප වෛද්‍යවරුන්ගේ උපදෙස් ඉක්මවා  යන්නේ නැත. වෛද්‍යවරුන් පවසන රෝගද, ප්‍රතිකාරද අපි පිළිගන්නෙමු. වෛද්‍යවරු සැක නොකරති. මෙම දරුවාට ඒඩ්ස් රෝගය වැලඳී නැතැයි පවසන්නේ රටේ පිළිගත් වෛද්‍ය  විද්‍යාව සහ වෛද්‍යවරුය. එසේ පවසද්දිත් මේ අමානුෂික දෙමවුපියෝ මේ අසරණ දරුවාව පාසලින් ඉවත් කර ගන්නා ලෙස පවසන්නේ ඇයි? ඒඩ්ස් රෝගය සුළඟින් බෝවන රෝගයක් නොවේ. අපි නොදැනුවත්ව සමාජය තුළ අප සමග  ගනුදෙනු කරන ඒඩ්ස් රෝගීන් සිටිය හැකිය. ඒඩ්ස් රෝගය නොවැලඳුන මේ අහිංසක දරුවා වෙනුවෙන් මේ තරම් විරෝධයක් පෑමට හේතුව කුමක්ද?
දැන් අප එම විරෝධය පෑ දෙමවුපියන්ට ම්ලේච්චයෝද, ගෝත්‍රික‘යෝද, අශිෂ්ටයෝද කියා විවේචනය කරන කල්හි අපේ සිතින් ද ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් විට අප හැසිරෙන්නේ කෙසේද යන්නය. අපගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට මෙවැනි දරුවෙක් ඇතුළත් වුවහොත් අප සාදරයෙන් ආදරයෙන් ඒ දරුවා පිළිගන්නේද යන්නය. අනෙකාට ගෝත්‍රිකයා යැයි පවසන බොහෝ දෙනෙකුද මෙවැනි ප්‍රශ්න ඉදිරියේ ගෝත්‍රිකයෝම වෙති. තමා තුළ සිටින ගෝත්‍රිකයා නොහැඳින අනෙකාට ගෝත්‍රිකයා යැයි කීම පහසුය. ම්ලේච්චයා කීම පහසුය.
මම මෙය ලිවීමට පෙර මා මෙවැනි තත්ත්වයකට මුහුණ දුනහොත් හැසිරෙන්නේ කෙසේද කියා සිතා බැලුවෙමි. එසේ සිතා මා ගැන නිවැරදි තීරණයක එළඹි පසු මම එම දෙමවුපියන්ට ගෝත්‍රිකයන් අශිෂ්ටයන් යැයි  ලිවීමට ධෛර්යය ලැබුවෙමි. මාද එසේ වෙමින් අනෙකාට ගෝත්‍රිකයා යැයි පැවසීම සුදුසු නොවේ.
රටක් වශයෙන්ම අපි බරපතළ අමානුෂිකත්වයක් කරා ගමන් කරමින් සිටින්නෙමු. සමස්තයම ගෝත්‍රිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන මොහොතක ඇතැම් සිද්ධි කරළියට ගෙන අනෙකාට ගෝත්‍රිකයා යැයි කියා තමගෙ ගෝත්‍රිකකම වසා ගනිමින් සිටියි. මේ අමානුෂික අසාධාරණ අයුක්ති සහගත ක්‍රමය  තුළ අප සියල්ලන්ම ගොදුරු බවට පත්ව තිබේ. තනි තනිව ගැලවිය නොහැකිය. දැන් අප ගැලවෙන්නේ අනෙකාට ගෝත්‍රිකයා කියා තමන් හොඳ ශිෂ්ට මිනිසෙකු බව පෙන්වීමෙනි. මෙය ලියන මා තුළද ගෝත්‍රිකයෙක් සිටියි. ක්‍රමය විසින් ආරාධනා කරන්නේ ගෝත්‍රිකයාටය. පැවැත්ම තිබෙන්නේ ආත්මාර්තකාමී අසාධාරණ මිනිසාටය. එසේ නොවන මිනිසුන්ට පැවැත්ම සහතික කර ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ වුවද කුලියාපිටිය දරුවාට සිදුකර තිබෙන අසාධාරණය නම් බරපතළය. එය කුමන පැත්තකින් හෝ සාධාරණීකරණය කළ නොහැකිය. මා වඩාත් කම්පනයට ලක් වූයේ එක් පියෙක් සිංහයෙකු සේ නැගිට මේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා ලෙස හඬ නගද්දී දෙමවුපියන්ගේ අත්පුඩි තැලීම දුටු විටදීය. තමන්ට සිටින දරුවෙකු වැනි දරුවෙක්ගේ අධ්‍යාපනය අහිමි කිරීමෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන දෙමවුපියන්ට අමානුෂික අශිෂ්ටයන් යැයි පැවසනු මිස ඔවුන් හැඳින්වීමට වෙනත් වචනයක් තිබේද?
අහිංසක දරුවෙකු සේ අධ්‍යාපන අයිතිය පැහැරගෙන කොන් කරන මේ දෙමවුපියෝ කෝටි ප්‍රකෝටි ගණන් රටේ ජාතික ධනය හොරා කෑ උන්ටද, උන්ගේ දරුවන්ටද මේ සා විරෝධයක් නොදක්වති. ජාතික වීරයන් ලෙස ගරුබුහුමන් කරති. රටේ නායකයෝ කරති. අපව පාලනය කරන්න කියා ඉල්ලති. දෙකට තුනට නැමී වැඳ වැටෙති. අහිංසක දරුවාට එරෙහිව සිංහයෝ වෙති. මේ නම් කවර ජනතාවක් දැයි ඔබම සිතා බලන්න.
වහ වහා දැන් කළ යුතු වැඩක් තිබේ. මේ අමානුෂික අශිෂ්ට දෙමවුපියන් සමග තව දුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් වැඩක් නැත. ඒ නිසා මේ දරුවාට අධ්‍යාපනය ලැබීමට පාසලක් සොයා දිය යුතුය. ආණ්ඩුව මැදිහත් වී රටේ ජනප්‍රි පාසලකට මේ අහිංසක දරුවාව ඇතුළත් කළ යුතුය. මේ දරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා අධ්‍යාපනය ලබන තෙක් උදව්උපකාර කළ යුතුව තිබේ.
මේ අමානුෂික දෙමවුපියන්ට දිය හැකි හොඳම දඬුවම එයය. ඒ සඳහා පෙළ ගැසිය හැකි මානව දයාවෙන් යුතු මිනිසුන් සොයා ගැනීම තවමත් අසීරු නොවේ. මේ දරුවාට අවශ්‍ය අනුකම්පාව නොව, සාධාරණයයි.
කොළඹ ජනප්‍රිය පෙළේ පාසලකට මේ දරුවා ඇතුළත් කළහොත් එම පාසලේ දෙමවුපියන්ගේ හැසිරීමද බලාගත හැකි වනු ඇත. එවිට ග්‍රාමීය දෙමවුපියන්ගේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයද, නාගරික දෙමවුපියන්ගේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයද සත්‍ය වශයෙන්ම තිබෙන්නේද යන්න බලාගත හැකි වනු ඇත. නාගරික දෙමවුපියෝද ග්‍රාමීය දෙමවුපියන් ලෙස මේ දරුවා තම පාසලට ඇතුළත් කර ගන්නවාට විරුද්ධව කෑ ගැසුවහොත්  ප්‍රශ්නය තිබෙන්නේ මෝඩකම තුළ නොවන බව අවබෝධකර ගත හැකි වනු  ඇත. මේ අහිංසක දරුවාට අධ්‍යාපනය ලබාදීමට ඉදිරිපත්වන ශිෂ්ට සම්පන්න මානව දයාවෙන් යුතු පාසල කුමක්ද කියා අපි බලාගෙන සිටින්නෙමු.
 පුතේ, ඔයා එන්න අපේ ඉස්කෝලෙට  කියා ආදරයෙන් මේ දරුවා බාරගන්නා ගුරුවරුන්, දෙමවුපියන් මේ මහ පොළොවේ කොතැනක හෝ නොමැතිද? එසේ නොමැති උවහොත් ඉන් අදහස් වන්නේ කුමක්ද?

No comments:

Post a Comment