Monday, March 7, 2016

දැන් අප යා යුත්තේ යහපාලනයටත් වඩා හොඳම තැනකටය



දේශපාලනික කරුණු කාරණා ලිවීමේ දී ඇතැමුන් කෝපයට පත්වන බව මම දනිමි. එම කෝපය ඔවුන් මුදාහරින්නේ ඉතාම අසභ්‍ය ආකාරයටය. විරෝධතාවක්, විවේචනයක් ඇත්නම් ඒවා ශිෂ්ට සම්පන්න ලෙස තර්කානුකූලව මුදාහැරිය යුතුය. ඉතා අසභ්‍ය ආකාරයේ ප්‍රතිචාර දැක්වීම් දෙකක් මම දුටුවෙමි. පැරණි ඊමේල් ලිපිනයට එය එවා තිබුණේය. එකක්, බෙන්තොට සිංහයාද? හිවලාද? යන අන්වර්ථ නාමයකින් පෙනී සිටින දේශප්‍රේමී චණ්ඩියෙකි. දේශප්‍රේමී චණ්ඩි මෙතරම් අශිෂ්ට වූයේ කෙසේද කියා මම නොදනිමි. %මම^ කියවන පාඨකයන් අතරේ එවැනි මනෝ ව්‍යාධි සෑදුන රෝගියෝද සිටිති. කුණුහරුප දේශප්‍රේමීන් බුරුතු පිටින් බිහි වී සිටින යුගයක දෙදෙනෙකු පමණක් කුණුහරුප ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මම සතුටුවෙමි. %මම^ කියවන විචාර බුද්ධියක් සහිත පාඨකයන් %මම^ ලිපි පෙළ අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබීම පිළිබඳව මම ඔවුනට ස්තූතිවන්ත වෙමි. සාධනීය අර්ථ පූර්ණ විවේචන මම බොහෝ සෙයින් අගයමි. කිසිදු බියවීමකින් තොරව ඔබගේ අදහස් බ්ලොග් පිටුවේ දක්වන ලෙස මම ඉල්ලමි. ඔබගේ අදහස් තුළින් මම ඉගෙන ගන්නෙමි. අපිට පෙනෙන්නේ, අපි දකින්නේ අපි කැමති පැති පමණි. අපේ කැමැත්ත සාධාරණීකරණය සඳහා සාධක සොයන අතර, අකමැත්ත විවේචනය සඳහාද අපි සාධක සොයමු. සියලු සාධක ලැබෙයි. කැමැත්ත අකමැත්ත නියෝජනය සඳහා ඕනෑතරම් සාධක සොයාගත හැකිය. එසේ නම් අප සිතිය යුත්තේ අපගේ කැමත්ත ඇති වන්නේ කෙසේද කියාය.
මම රාජපක්ෂවරුන්ගේ පාලනයට අකමැතිය. එම අකමැත්ත හේතු සාධක නොමැතිව වෛරය මුල්කරගෙන ඇති වූවක් නොවේ. ඉතා අශිෂ්ට ඒකාධිපති පාලනයක් කරා යමින් තිබූ ගමන ජනවාරි අට වැනිදා නවතා දැම්මේය. දිනනකම් ජනාධිපති පුටුවේ සිටිය හැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය. %සිරස^, %සියත^ වැනි මාධ්‍යය ආයතන ගිනිබත් කළේය. මාධ්‍ය‘වේදීන් මරා දැම්මේය. හතර හන්දි කැඩුවේය. බය කළේය. රාජපක්ෂ පුතුන් රටෙහි හැසිරුණේ මුළු රටම තමන්ගෙ ඉඩමක් ලෙස සිතමිනි. රතුපස්වලදී හමුදාව යොදා ජල අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කළ සිවිල් ජනයාට වෙඩි තබා පාසල් යන වයසේ ශිෂ්‍ය‘යන්ද ඝාතනය කළේය. ධීවර උද්ඝෝෂණ නිදහස් වෙළෙඳ, කලාප උද්ඝෝෂණද වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදු කරමින් අශිෂ්ට මර්දනයක් මුදාහළ හැටි අපට මතකය. සියලු දේශපාලන පක්ෂද කඩා විසුරුවේය. රජයේ මාධ්‍ය ඉතාමත් නරක අතිපක්ෂග්‍රාහී ලීලාවෙන් හැසිරුණේය. එය පවුලේ නාළිකාව වූයේය. සියලු තැන්හි බලය පැතිරුවේ රාජපක්ෂවරුන්ය.  පැවතිය හැකි වූයේ රාජපක්ෂ පාලනයට එහෙයි කියාගෙන බය පක්ෂපාතීව සිටින අයට පමණි. මා සඳහන් කළේ පසුගිය ආණ්ඩුවට විරුද්ධවීමට ඇති හේතු සාධකය. පක්ෂ වන්නන්ටද ඒ සඳහා හේතු තිබේ. අවුරුදු තිහක් තිබූ යුද්ධය අවසාන කළේ මහින්ද මහත්තයාගේ අභීත නායකත්වයෙනි. කොටි ත්‍රස්තවාදීන් අදටත් සිටියා නම් නිදහසේ පාරේ බැස යාමට නොහැකිය. කොහෙන් බෝම්බ පුපුරයිද කියා අප දන්නේ නැත. එකල බසයේ, කෝච්චියේ ගියේ මරනය අතේ තබාගෙනය. එතරම්ම ජීවිතය අවිනිශ්චිතය. මහින්ද මහත්තයා මරබිය නැති කළේය. ඊළම රාජ්‍ය විනාශ කළේය. ඒකීය රට රැක්කේය. බටහිරට දණ නොනැමුවේය. රට සංවර්ධනය කළේය. පාලම්, බෝක්කු, කාපට් පාරවල්, වරාය, ගුවන් තොටුපළ, ක්‍රීඩාංගණ, උද්‍යාන, ව්‍යායාම මංතීරු හැදුවේය. රට ලස්සන කළේය. මේ රාජපක්ෂවරුන්ගේ පාලනයට පක්ෂ වීමට ඇති හේතු සාධකය.
රාජපක්ෂ පාලනයට පක්ෂ වන්නා  රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව ඇති සියල්ල මගහරියි. අදාළ කර නොගනියි. ගණන් නොගනියි. පක්ෂවීමට ඇති කරුණු පමණක් හිසට ගෙන රාපක්ෂවරුන්ගේ පාලනය සාධාරණීකරණය කරයි. රාජපක්ෂ පාලනයට විරුද්ධ වන්නා එම ක්‍රියාවලියේ විරුද්ධාර්ථයෙන් සිතයි. මෙහිදී  අප සිදුවීම් කිරා මැන ගත යුතුය. විචාර බුද්ධිය භාවිත කළ යුතුය. විශ්ලේෂණාත්මකව සිතිය යුතුය.
මහින්ද මහත්තයා රට බේරාගත් නිසා සියලු නොපනත්කම් ඉවසා සිටිය යුතුද? රට බේරාගත් නිසා පවුලේ උදවියට රටේ ජාතික ධනයෙන් පිස්සු කෙළින්නට ඉඩදිය යුතුද? රට බේරාගත් නිසා සැමට පොදු විය යුතු නීතිය තමන්ගේ විරුද්ධවාදීන් මර්දනයට යොදා ගැනීමට ඉඩදිය යුතුය. කෙසේ හෝ ඒකාධිපතියෙකු බිහිවීමේ ගමන ජනවාරි අට වැළකුනේය. එය එසේ නොවුණේ නම්, අනාගතයේදී ලංකා රාජ්‍ය බොහෝ අඳුරු වීමට ඉඩ තිබුණි. ජනවාරි අට රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් කරන විට යහපාලන පාලකයන් රට දැහැමින් සෙමින් පාලනය කරනු ඇතැයි කියා අපි නම් නොසිතුවෙමු. ඒ මොහොතේ අප සිතුවේ පවතින ක්‍රමය නවතා දැමිය හැකි ක්‍රමයකි.
දැන් රාජපක්ෂවරුන්ගේ පාලනය අනුමත කරන පිරිස අසන ප්‍රශ්නයක් තිබේ. යහපාලනය හොඳද කියාය. පැතූ වෙනස මේකද කියාය. ශිෂ්‍යයන්ට, රැකියා විරහිත උපාධි ධාරීන්ට පෙර ලෙසම කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ලවෙයි. බඩු මිලද ඉහළ යයි. ජීවත් වීමද අමාරුය. රට බෙදන බවද, රණවිරුවන් පාවා දෙන බවද පැවසෙයි.

අපි යහපාලනේ සියල්ල අනුමත කරන වහලුන් නොවෙමු. යහපාලනය සියලු අගතීන් විවේචනය කිරීමටද, විරෝධය පෑමටද අප සූදානම්ය. අපගේ විරෝධය, විවේචනය නැවත රාජපක්ෂවරුන්ගේ පාලනයෙන් කැන්දා ගෙන ඒමට මග පාදන්නේ නම්, එම විරෝධයේ විවේචයේ පලක් තිබේද? දැන් අප යා යුත්තේ යහපාලනයටත් වඩා හොඳම තැනකටය. එතනට යනවානම් යහපාලන පාලකයන් ගෙදර යවන සටනට අපි ශක්තිය දෙන්නෙමු.
යහපාලනය සම්බන්ධ විවේචනය, විරෝධය අවස්ථාවාදී ජාතිවාදය සමග ගැටගැසී තිබෙයි. රණවිරුවෝ පාවා දෙති, හිරේ දමති, බටහිරට ගැති වෙයි. රට බෙදයි. දෙමළෙන් ජාතික ගීය ගයයි. යහපාලනයට විරෝධය දක්වන්නන් ප්‍රමුඛව ගන්නේ ඉහත සඳහන් හේතු සාධකය. ඉහත සඳහන්  හේතු පොදු ජන මනස කෝපයෙන් අවුළන්නට සමත් වන්නේය. විචාර බුද්ධිය අහිමි කරන්නේය. බඩේ බත් නැති එකා වුවද, රට ජාතිය ගැන මාරාන්තිකව සිතන්නේය. පට්ට හොරෙකු වුවද රට ජාතිය රකිනවා නම්, යහපති යැයි සිතන්නේය. දෙමළෙන් ජාතික ගීය කිව්වාට වඩා සිංහලයාට හිතන්නට ප්‍රශ්න තිබේ. දෙමළෙන් ජාතික ගීය කිව්වාට වඩා සිංහලයාට හිතන්නට ප්‍රශ්න තිබේ. දෙමළෙන් ජාතික ගීය කිව්වට වඩා ඩෙංගු මදුරුවා රටට ප්‍රශ්නයකි. ඩෙංගු සෑදී ළමා ළපටි වැඩිහිටියන් මිය යනවාට වඩා දෙමළෙන් ජාතික ගීය කීම මාරාන්තික ප්‍රශ්නයකි. යුද වැදුණු හමුදා සෙබළා ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදුණු බව අපි දනිමු. අතපය අමිහිව සිටින යුද හමුදා සෙබළුන්ගේ ඡායාරූප ෆේස්බුක් අප්ලෝඩ් කරමින්, කාටද මෙයාලව මතක තියෙන්නේ කියා අසන්නට අවශ්‍ය නැත. ඇතැම්හු යුද බිමේ මාරාන්තිකව තුවාල සහිතව වේදනාවෙන් පීඩිත මස්ලේ වැදලි සහිත ජායාරූපද ෆේස්බුක් දමති.
එම ඡායාරූප නැරඹීමෙන් අප නම් සිතන්නේ, මෙවැනි අමානුෂික යුද්ධයක් නැවත රට තුළ ඇති වීම කෙසේ හෝ වළක්වා ගත යුතු බවය. යුද්ධයකට මග පාදන ජාතිවාදී විසකුරු මූලයක් සමතලා කර දැමිය යුතු බවය. යුද්ධයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලෝම දුක්වින්දෝය. විනාශ උනහ. තම ජාතියේ පිරිසගේ මරනීය වේදනාව පමණක් නොව, සියලු ජාතීන්ගේ මරණීය වේදනවා දැනෙන මානුෂිකත්වයක් රට තුළ නිර්මාණය කළ යුතුය.  මරනීය වේදනාවද ජාතීන් ආගම් අනුව වර්ග කිරීමෙන් අමානුෂික යුද්ධයකට නැවත මග පාදන්නේය. අවස්ථාවාදී ජාතිවාදී චූන්ගන්නා චූන්කාරයන්ට මේ රට කෙළිබිමක් නොකළ යුතුය.
විචාර බුද්ධියක් සහිත තරුණයන් රටකට අවශ්‍ය මේ මොහොතේය. සිංහලේ ඉස්ටිකර් අලවන මෝඩ චූන්කාරයන් මතවාදී වශයෙන්ම පරාජය කළ යුතුය. එය රටේ අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් කළ යුතු වැඩක් වන්නේය. එසේ නොකළහොත් මේ රට මහා ලේ විලක් වනු ඇත. මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදී උමතුවෙන් දොඩවන ජාතිවාදියාට අවශ්‍ය වන්නේ, සිංහල, දෙමළ යුද්ධයයි. සිංහල මුස්ලිම් යුද්ධයයි. ජීවිත දේපොළ විනාශ වන යුද්ධියයි. මේ යුද ප්‍රේමී මානසිකත්වය මානුෂික ප්‍රේමී කළ යුතුය. මේ වචන ලියන්නේ ඒ වෙනුවෙනි.


No comments:

Post a Comment