Tuesday, January 26, 2016

විද්‍යුත් තිර මාධ්‍ය අනාගතය

විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා

හරියටම මීට අවුරැදු දාසයකට, දාහතකට කලින් ජංගම දුරකථන හැමෝගේම අතේ තිබුණේ නෑ. දෙදහ අවුරැද්දෙන් පස්සේ තමයි ජංගම දුරකථන වේගයෙන් වෙළෙඳ පොළට ආවේ. අද මනුෂය සම්බන්ධතා තීරණාත්මක විදිහට වෙනස් කරන්න මේ තාක්ෂණික උපකරණවලට පුළුවන්වෙලා තියෙනවා. මගේ ජීවිතේ අවුරැදු විස්ස, විසිපහ කියන්නේ අපේ සමාජයේ සංක්‍රාන්ති සමයක්. සෙල්ලම් ගෙවල් හදලා, සෙල්ලම් බත් උයාගෙන කාපු අවසාන පරම්පරාවත් අපි... අපි අතීතයටවත්... වර්තමානයටවත් අයිති නැති මිනිස්සු... අතීතයත් එක්ක ඉන්න බෑ.... වර්තමානයත් එක්ක හරියට සෙට් වෙන්න බෑ... අලුත් අවුරැද්දට අලුත් ඇඳුම් ඇඳගෙන, කැට ගහපු, ඔන්චිලි පැදපු අපිට අතීතයේ ඉන්න බෑ...  ෆේස් බුක්, ස්කයිප්, ටච් ෆෝන්, ටැබ්, ලැප්ටොප් හොඳට පාවිච්චි කළාට හරියට සෙට් වෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඉන්න කොල්ලන් කෙල්ලන්ට වගේ ඒක දැනෙන්නේ නෑ. අපේ අම්මලා, තාත්තලා අතීතයට ආයිති මිනිස්සු. එයාලට වර්තමානය තේරැම් ගන්න බැරිවීම පුදුමයක්... මේ තාක්ෂණය මැජික් එකක් කියලා හිතෙන තරමට පුදුමයක්... එයාලා කොල්ලෝ, කෙල්ලෝ ටච් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, පාවිච්චි කරන දිහා පුදුමවෙලා බලනවා... සමහරැ ආමාරැවෙන් මේ තාක්ෂණය එක්ක සෙට් වෙනවා. අපිට මේ තාක්ෂණය පුදුමයක් නෙමෙයි... අපේ පරම්පරාවේ දෙමාපියෝ ළමයි ඉස්සරහා යම් තාක්ෂණය නිසා ලැජ්ජා වෙන්නෙ නෑ... දරැවෙකුට මේ කොම්පියුටර් තාක්ෂණය, අන්තර්ජාලය ගැන කියලා දෙන්න තරම් දැනුමක් අපේ පරම්පරාවේ දෙමාපියන්ට තියෙනවා. හැබැයි අපේ අම්මලා, තාත්තලාට ඒ දැනුම ඇවිත් තිබුණේ නෑ. ඒ හින්දා ටච් ෆෝන්, ටැබ් ඔබ ඔබා අපේ පරම්පරාවේ අය දෙමව්පියන්ට නොතේරෙන දෙයක් දන්න බව පෙන්නුවා.  හැබැයි දැන් කෙල්ලෝ, කොල්ලෝ වගේ අපිට ඇගෙන්ම සෙට් වුණේ නෑ ඒවට.

ඉස්සර හිතින් ආදරය කරන කෙල්ලව දකිනකම් කොල්ලෝ ඇස් කැඩෙනකම් බලන් ඉන්නවා. සෙනඟ අතරින් ඒ සුන්දර මුහුණ මතුවෙනකම් ගැහැනු මූණු අතරේ ඇගේ මුහුණ හොයනවා. සෙනඟ අතරින් ඒ සුන්දර දිගැටි මුහුණ මතුවෙනවා. නිල්පාට පුංචි ඇස් එකිනෙක ගැටෙනවා. අඩුමතරමේ තත්ත්පර පහක්... ආපහු ඇය සෙනඟ අතරින් නොපෙනිලා යනවා. සමහර දවස්වලට මම ඇයට හෙරෙන් සැඟවී බලා සිටිනවා... ඇය සෙනඟ අතරින් පැමිණ වෙනදා මා සිටින තැන දෙස උනන්දුවෙන් බලනවා. එය මොනතරම් සතුටක්ද... මම සෙනඟ අතරින් ඈ අසලට එනවා. ඇය ලැජ්ජාවෙන් මුහුණ හංඟාගෙන බස් එකට නගිනවා. සතියකට එය ප්‍රමාණවත් නිසා ඇය නැගයන බසය දෙස මා බිම සිට බලා සිටිනවා. හැමදාමත් ඔහොම බල බලා ඉඳලා හරියනවද? අදවත් අහපන් කියලා මිතුරන් මට කියනවා.

හිතට ශක්තිය ගෙන ඈ යන බසයට මම නගිනවා.  සෙනඟ අතරේ සිරවෙමින් මම ඇය අසලට යනවා. සෙනඟට පින් සිදුවෙන්න ඇයත්, මාත් අතරේ පරතරය අඩි භාගයක් වෙනවා. ඇගේ සියුමැලි කන්පෙත්ත මගේ අතෙහි ගෑවෙනවා. ඇය එක්වරක් හිස ඔසවා මාදෙස බලනවා. වචන නැති මම ගොළු වෙනවා. දෙවියනේ ඇයි වචන එන්නේ නැත්තේ. නුගේගොඩ සිට මහරගමට එනගමන් මම වචන හොයනවා. ඇගේ ළැම වේගයෙන් ගැහෙනවා. ඇය ඒ මේ අත බලනවා. දෙවියනේ කෝ වචන... වචන නැති මම මහරගම පහුවෙලා හෝල්ට් දෙක තුනකින් පස්සේ ඇය බසයෙන් බැස පලා යනවා. ඇය දුක්බරව බසයෙන් බැස යන මා දෙස වීදුරැවෙන් බලනවා. “ඊයේ නම් වැඩේ හරි නේද? අපි දැක්කා ළං වෙලා ඉන්නවා. ඇහුවද ?* කියා මිතුරන් අහනවා. මම අහන්න බැරි වුණා කියනවා. අවුරැදු දෙකහමාරක් මම ඇය දෙස බලමින් සිටිනවා. A/L පංතියේ අවසාන දිනය පැමිණෙනවා. ඇය හමුවෙන අවසන දිනය අදයි. අදින් පසු ඇය මගේ දර්ශන පථයෙන් ඉවතට යනවා. මම ඇය අසලට යනවා. පංතියේදී, පාරේදී, බසයේදී මා දෙස හොරුහින් බැලූ ඇය අසලට මම යනවා. කෙසේ දෝ පිට කොල්ලෙක් ඈ අසලට එනවා. ඇගේ අත අල්ගෙන ඔහු බසයට නගිනවා. ඉන්පසු මම ඇයව දැක්කේ නෑ අද වෙනකම්... ඔයා අහයි එයා කොච්චරකල් බලාගෙන හිටයද? ඇයි ඔයා ඇහුවේ නැත්තේ... ඇගේ මිතුරියක් මාස ගණනකට පස්සේ මට එහෙම කියනවා. ඇය නොඑන බව දැන දැනම වෙනදා මෙන් මම ඇය එනකන් බලා සිටිනවා. නොඑන කෙනෙක් එනතුරැ බලා සිටීම මොනතරම් ආශ්වාදයක්ද ? ඔයා දන්නවාද මම එයා එනකම් මෙතනටවෙලා කොච්චරවෙලා බලන් හිටියද කියලා. අඩුම ගානේ මම එයාගේ කට හඬවත් අහලා නෑ. මං බිරිඳට එහෙම කියනවා. අදත් එහෙනම් එයා එනකම් බලාගෙන ඉඳලා යමුද? මාත් ඉන්නම් කියලා බිරිඳ කියනවා.
මම දන්නේ නෑ.. අද ඉන්න කොල්ලෝ, කෙල්ලෝ මෙහෙම ආදරේ කරලා තියෙනවද කියලා. සමහර විට ඉන්නත් පුළුවන්. දැන් තියෙන තාක්ෂණයත් එක්ක අපි කාටවත් හැංගෙන්න බෑ. අවුරැදු දහයේ, දහ අටේ කොල්ලෝ ටිකක් ෆේස් බුක් එකේ ටයිප් කර කර කෙල්ලෝ හොයනවා. “ආ ඔය ඉන්නේ ඒක නියමයි. පට්ට... පට්ට... මචං...* කිය කියා කෙල්ල ගැන විස්තර හොයනවා. කාපු බීපු තැන්, කාපූ බීපු දේවල්, කාපු තැන්, බීපු තැන්, නිදාගත්ත තැන් සේරම ෆේස් බුක් එකේ තියෙනවා. උදේට හම්බ වෙන ත්‍රිමාන ශරීරයට රූට ද්විමාන රෑපයක් විදිහට ස්කයිප් තාක්ෂණයෙන් කාමරයට එනවා. එදා වගේ පොඩ්ඩක්වත් බාධා නෑ. රැපියල් විසි පහේ රීලෝඩ් එකකින් පෙම්වතිය කාමරයට ගෙන්න ගන්න පුළුවන්. ශරීර ස්පර්ශයක් නැති ශරීර සමග ගනුදෙනුවක්.... වියදම අඩුයි... සතුට වැඩියි.

ඉස්සර නම් කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නවා ගෙදරට අහු උනොත්, ගෙවල්වල කාමරයට දාලා දොර වහනවා. හැබැයි කාමරේ ඇතුළේ ඉන්ටනෙට් ගන්න පුළුවන්. කොම්පියුටර් හරි, ජංගම දුරකථනයක් හරි තිබ්බොත් දොර වැසිල්ලෙන් වැඩක් කෑ. කාමරය ඇතුළේ දොරවල් වහගෙන කොල්ලෝ, කෙල්ලෝ තනි තනිවම වෙබ් කැමරා ඉස්සරහා හැසිරෙන හැටි ගැන දෙමව්පියෝ දන්නේ නෑ... මීට අවුරැදු දහයකට, දොළහට කලින් පෙම්වතුන් හමු වුණේ මහ පාරේ බස් හෝල්ට් එකේ, ටියුෂන් පන්තියේ, ඉස්කෝලේ, චිත්‍රපට ශාලවේ... කොළඹ අග නගරවල හිටපු පෙම්වතුන් විහාර මහාදේවි පාක් එකේ, මහජන පුස්තකාලේ, අදත් පෙම්වතුන් මේ තැන්වල හම්බවෙලා, හවසට වෙන්වෙලා යනවා... ආදරණීය මතකයන් සිතට තුරැලු කරගෙන. ජංගම දුරකථන නෑ  කතා කරන්න, එස්.එම්.එස්. යවන්න විදියක් නෑ. නැවත මූණ දකිනකම්, හම්බවෙනකම් ආදරය පුරවගෙන ඉබලන් ඉන්නවා. ආදරය දරා ගන්න බැරි වුණාට, රූ එළිවෙනකම් ලියුම් ලියනවා. හැබැයි අද එහෙම හිතේ ආදරය පුරවගෙන ඇදේ පෙරළි පෙරළි මනෝලෝකවල ඉන්න ඕනෙ නෑ. ඇදේ බුදියගෙන ජංගම දුරකථනය තුරැලු කරගෙන එළිය වැටෙනකම් කතා කර කර ඉන්න පුළුවන්... මනුෂ්‍ය ශරීරය වෙනුවට හඬ සවනත් එන ජංගම දුරකථනය තුරැලු කර ගන්නවා. ස්කයිප් වලින් රූපය එනවා. ඉස්සර විහාර මහාදේවි පාක් එකේ ඉන්නකොට පෙම්වතා ‍පෙම්වතියගේ මූණට ළං වෙච්ච ගමන් සිකියුරිටි ගාඩ් විසිල් එකක් ගහගෙන දුවගෙන ඇවිල්ලා බනිනවා. ස්කයිප් එකෙන් එනකොට මොන සිකියුරිටි ගාඩ්ද විසිල් ගහන්න ඉන්නේ...

අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අනෙකා දිහා බලන්නේ නෑ. හිස පහතට නවාගෙන ටච් ෆෝන්... ටැබ්... ලැප්ටොප්... හිස පාත් කරලා.  මනුෂ්‍ය‘යෙක් සමග ඇස් ගැටෙන්නේ නෑ. අවට සිදුවෙන දේ පේන්නේ නෑ. හිනාවෙන්නේ නෑ. ෆෝන්එක දිහා බලබලා, ටැබ් දිහා බලබලා තනිවම හිනා වෙනවා. තනිවම කතා කරනවා. තනියම සිංදු අහනවා. බඩ දරැ අම්මලා, වයසක ආච්චිලා බස් එකේ  හිටගෙන යනවා. කොන්දොස්තර කෑගහලා බඩ දරැ අම්මලාට නම් සීට් එකක් අරන් දෙනවා. ආච්චිලා හිටගෙන යනවා. දහඅටේ ගැටයා වාඩි වෙලා ෆේස් බුක් යනවා.

මනුෂ්‍යයාට මේ විදියට හැසිරෙන්න බලපාන්නේ තිර මාධ්‍ය. මේ සංවේද සංස්කෘතිය (Sensate Culture) මගින් භෞතික ලෝකයේ දැනෙන සංවේදන ඇරෙන්න වෙනත් කිසිම දෙයක් දැනේනේ නැති, අධ්‍යාත්මික දේවල් නැති, හිසි ආත්මයක් සහිත ජන කොටසක් නිර්මාණය වෙනව කියලා කියනවා. මේ විද්‍යුත් තිර මාධ්‍ය අනාගතයේ හැඟීම් විරහිත, මානුෂික සබඳතා රහිත සමාජයක් නිර්මාණය කරනවා. මෙතනදී තරැණ තරැණියන්ට වැරුද්ද පැටවීම තේරැමක් නැති දෙයක්.. සිදුවන දේ සම්බන්ධව අවබෝධයෙන් සිටීම තමයි වැදගත්.

-මම

No comments:

Post a Comment