Monday, April 4, 2016

අල්ලා ගැනීමෙන් තොරව අතහැර දැමීය නොහැක





සියල්ල අත්හැරීමට පුරුදුවන්න කියා පැවසූ කල, අප එය හිතට ගෙන සියලු දේ අතහැරීමට සිතන විට අත්හැරීම තදින් අල්ලා ගන්නේය. සියලු දේ අත්හැරියත් අතහැරීම යන්න අල්ලා ගෙන සිටින නිසා අත්හැරීම සම්පූර්ණ නොවෙයි. භාවනා කරන විට සියලු සිතීම්වලින් බැහැර වී භාවනාව ගැන සිතන්නට පටන් ගනියි. මේ භාවනාවෙන් මම සෝවාන් වෙයිද? අනාගාමී වෙයිද? රහත් වෙයිද? භාවනාව සාර්ථකවීමට භාවනාව ගැන සිතීමද අත්හැරිය යුතුය. සියල්ල අතහැරීම යනු සියල්ල අතහැරීමද අතහැර දැමීමද වෙයි. එය ගැන සිතීම කෙතරම් වූ දුෂ්කර කටයුත්තක්ද? අතහැරීම යනු සියල්ල අතහැරීමද? අතහැර දැමීමයි කී කල්හි අප   සියල්ල අතහැර දමා , අතහැර දැමීම  යන්න අල්ලා ගන්නේය. ඉන්පසු එයද... එයද... එයද අල්ලා ගන්නේය. අල්ලා ගැනීමෙන් තොරව අතහැර දැමීය නොහැක. අත්හරින්නට සිතන්නේ අල්ලාගෙන ඇති නිසාය. අල්ලා නොගත්ත කල්හි අතහරින්නට දෙයක් නැත.
අල්ලා ගැනීමෙන් තොර ජීවිතයක් ඔබටද,   මේ මටද නැත. මමද ඔබ මෙන් සියල්ල අල්ලාගෙන සිටිමි. ඔබ නරකයි, මම හොඳයි කියා දෙයක් නැත. අප සියල්ලෝම නරක යටපත් කර හොඳ පෙන්වමින් සිටින බොරුකාරයෝ වෙති. ඇත්තට මිනිස්සු බිය වෙති. සත්‍ය බිය ජනකය. හිතරිදවයි   සත්‍ය බිය උපදවන්නේ සත්‍ය සත්‍ය ලෙස දකින විටය. උදාහරණයක් ලෙස මෙසේ සිතුවහොත් සත්‍ය යනු මේ ශරීරය විනාශ වන බවයි. මැරෙන බවයි. එහෙත් අපි එසේ නොසිතා ජීවත් වීම බොරුවකි. මරණයේ සත්‍ය ගැන හිතුවොත් ජීවිතේ බොරුව අහිමි වෙයි. ජීවිතේ බොරුව ගැනම සිතුවොත් මරණයේ සත්‍ය අහිමි වෙයි. මැරෙන බව සිතීම ජීවත් වීමට පහසුවක් වන්නේ සත්‍ය විසින් බොරුව දියාරු කර දමන නිසයි. කම්මැලියන්ටද මේ කිසිවක් වැඩක් නෑ.... අපි කවදාහරි මැරෙනවා නේ කියා කිසිවක් නොකර ඇදේ නිදාගෙන කකා බිබී සිටිය හැකිය. මරණයේ සත්‍ය අවශ්‍ය කම්මැලියන්ට නිකමුන්ට නොවේ. ජීවිතයේ බොරුව පසුව පස හඹා යන මිනිස්සුන්ටය. වැඩ අධිකව  මම හරි බිසී  කියන අයටය. අනෙකාගේ ශ්‍රමය සූරාකමින් අධිසුඛෝපභෝගී ජීවත ගත කරන අයටය. අපිට කිසිම සැපක් නෑ කියා බස්වල කෝච්චිවල රස්සාවට යන ගෑනු මිනිස්සුන්ටය.
දුක හෝ සතුටට අවසානයක් නැත, දුකද සතුටද පැටව් ගසන්නේය. ජීවිතයේ දුක හෝ සතුටට අවසන් කරගත් පෘතග්ජනයන් ලොව නැත. සතුට අවසාන වූවානම් අප ධනය පිටුපස හඹායන්නේ නැත. ධනය ලැබෙන විට සතුට ලබාගත හැකි මාර්ග තව තව විවර වන්නේය. ජීවිතයේ අවසානය. මරණය වුවද දුකේ අවසානය මරණය නොවේ. මරණයෙන් පසු දුක ආගමික උත්තරවලින් ගොඩනැගී තිබේ. මරණයෙන් පසු දුක පිළිබඳව විද්‍යාත්මක පිළිතුරු නැත.

No comments:

Post a Comment